ඔලිම්පික් ඉතිහාසයේ කළු පැල්ලම්

සෑම වසර හතරකට වරක් මුළු ලෝකයේම ක්‍රීඩකයන් එකට එකතු කරමින් පවත්වනු ලබන මහා ක්‍රීඩා සැණකෙළිය කොරෝනා වසංගතය හේතුවෙන් වසරක් ප්‍රමාද වුණා. පවතින තත්ත්වය යටතේ බොහෝ විට එය ලබන මාසයේ පැවැත්වීමට නියමිතයි. මේ නිසා අපි හිතුවා ඔලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබඳව ලිපි කීපයක් ඔබ වෙත ගෙන එන්න. අපි අද කතා කරන්න යන්නේ ඔලිම්පික් ඉතිහාසයේ කළු පැල්ලම් පිළිබඳව.

 

1. තරඟ තීරකයාට පහරදීම

ගමේ ගොඩේ කරන තරඟ වලදි නම් තරඟ තීරකයාට පහරදීම ඇතැම් අවස්ථාවල වෙන දෙයක්. ගොඩක් වෙලාවට සමහර තැන් වලදී රෙෆා හොරා කියන එක සටන් පාඨයක් බවටත් පත් වෙලා තියෙනවා. ඇතැම් අවස්ථාවල තරඟ තීරකයා වැරදි බවට ජාත්‍යන්තර තරඟවලදී පවා පසුව ඔප්පු වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ තරඟ තීරකයා පිළිබඳව ඇති වෙන ප්‍රශ්න පිළිබඳව තරඟකරුවන් විසින් සන්නිවේදනය කරන ආකාරයයි. ඔලිම්පික් තරඟාවලියක් තුළ ඇතිවුණ කණගාටුදායක සිදුවීමක් විදිහට 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී කියුබානු ජාතික ටයිකොන්ඩෝ ක්‍රීඩක ඇන්ජෙල් මැටෝස් විසින් තරඟ තීරක චකීර් චෙල්බෙට්ට පහරදීමේ සිදුවීම සැළකීමට පුළුවන්. මෙම සිදුවීම දැඩි ලෙස ආන්දෝලනයට ලක්වූ අතර ලෝක ටයිකොන්ඩෝ ෆෙඩරේෂණය මගින් මෙම ක්‍රීඩකයාට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පනවනු ලැබුවා.

 

2. අසරණ පරවියෝ

ඔලිම්පික් ගිනි සිළුව දැල්වීම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භය සනිටුහන් කරනවා. ඊට පෙර සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ ලෝක සාමය අපේක්ෂා කරමින් සාමයේ සංකේතය වන පරවියන් මුදා හැරීමයි. 1988 දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී කුමක් හෝ හේතුවක් නිසා පරවියන් මුදාහැරුණේ ඔලිම්පික් ගිනි සිළුව දැල්වීමෙන් පසුවයි. එහි ප්‍රතිඵලය වූයේ පරවියන් කීප කීපදෙනෙකු ගින්නට හසුවී දැවී අළුවීමයි. කෙසේ නමුත් මෙම අවාසනාවන්ත සිදුවීම විකාශනය කිරීමෙන් වැළකීමට අදාළ මාධ්‍ය ආයතන වගබලාගෙන තිබුණා.

 

3. මරණයෙන් කෙළවර වුණු තහනම් උත්තේජක

1960 වර්ෂයේ රෝමයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඓතිහාසික ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් බවට පත්වුණා. සුප්‍රකට බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලී ප්‍රථම වරට සහභාගී වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වූයේ එයයි. ඊට අමතරව මෙම ක්‍රීඩා උළෙල මුළු මහත් යුරෝපය පුරාම සජීවීව විකාශය කිරීමට සමත් වීම ලෝක තාක්ෂණයේ තවත් එක් ජයග්‍රහණයක්. නමුත් මේ සියළු ධනාත්මක කරුණු උඩුයටිකුරු කරමින් ඩෙන්මාර්ක ජාතික බයිසිකල් ශූරයෙකු වූ ක්නුඩ් ජෙන්සන් තරඟයක් අතරතුර ඇද වැටී මිය ගියා. පසුව හෙළි වූයේ ඔහු තහනම් උත්තේජක භාවිතා කර තිබූ බවයි. මෙම සොයා ගැනීම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොහෝ වෙනස්කම් වලට හේතුවක් බවට පත් වුණා.

 

4. ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්ජනය කිරීම

1980 මොස්කව් නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්ජනය කිරීමට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජිමී කාටර් තීරණය කළේ සෝවියට් රුසියාව විසින් ඇෆ්ගනිස්ථානයේ ස්ථානගත කර තිබූ හමුදා ඉවත් කර ගැනීමට අපොහොසත් වී ඇති බව පවසමින්. ජිමී කාටර් ගේ මෙම තීරණයට ඇමරිකානුවන් 55% ක් පමණ එකඟ වූ බව කියවුණත් බොහෝ ඇමරිකානු ජාතික ඔලිම්පික් ක්‍රීඩකයන් එම තීරණයට එකඟතාවයක් දැක්වූයේ නැහැ. ඔවුන්ගේ අදහස වූයේ මෙම ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීම අනිවාර්යෙන්ම ඇමරිකාව විසින් සිදුකළ යුතු දෙයක් බවයි.

 

5. ඇට්ලන්ටා බෝම්බ ප්‍රහාරය

1996 ඇට්ලන්ටා නගරයේ පැවති ඔලිම්පික් සියවස් අනුස්මරණය කිරීමේ උද්‍යානයේ පැවැති ප්‍රසංගයක් අතරතුර එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් දෙදෙනෙකු මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලැබුවා. මෙම සිදුවීම නිසා ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙහි ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කෙරුණා. නමුත් එම සියළු සැක සංකා සාර්ථකව කළමනාකරණය කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් වුණා.

 

6. 1976 ඔලිම්පික් වර්ජනය

1976 වර්ෂයේදී මොන්ට්‍රියල් හී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්ජනය කිරීමට අප්‍රිකානු රටවල් ගණනාවක් තීරණය කළේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් නවසීලන්තය වෙත ක්‍රියා කළ සහනශීලී ප්‍රතිපත්තිය නිසායි. 1964 දී වර්ණභේදවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා දකුණු අප්‍රිකාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තහනමට ලක්වූ අතර නවසීලන්තයේ ජාතික රග්බි කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයක් සඳහා එක්ව තිබුණා. මේ හේතුව නිසා නවසීලන්තයද ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තහනම් වීමට ලක් විය යුතු බව අප්‍රිකානු රටවල ස්ථාවරය වූ අතර එහි ප්‍රතිඵලය වූයේ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී ප්‍රතිපත්තිය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය අවධානය යොමු වීමයි.

 

7. මියුනිච් සංහාරය

ලෝකයේ එතෙක් මෙතෙක් ඔලිම්පික් ඉතිහාසය තුළ සිදු වූ ඛේදජනකම සිදුවීම ලෙස මේ මියුනික් සංහාරය හැඳින්වීමට පුළුවන්. 1972 පැවැති මෙම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට කඩාවැදුණු බ්ලැක් සැප්තැම්බර් ලෙස තමන්ව හඳුන්වා ගත් පලස්තීන ත්‍රස්තවාදී කල්ලියක් විසින් ඔලිම්පික් ගම්මානයේ නවාතැන් ගෙන සිටි ඊශ්‍රායල් ජාතික ක්‍රීඩකයන් දෙදෙනකු මරා දමා තවත් නම දෙනෙකු ප්‍රාණ ඇපයට ගනු ලැබුවා. පසුව ඔවුන් නම දෙනාවද මරා දමනු ලැබුවා (මෙම සිදුවීම පිළිබඳව විස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා)

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *