ඉන්ධන මිල කියන්නේ අපේ රටේ වගේම ලෝකයේ ජනතාවත් මුහුණ දෙන ලොකු ගැටළුවක්. අපේ රටේ නම් පසුගිය කාලයේ ඉන්ධන මිල සෑහෙන ගැටළුවක් වුණා. අපේ රටේ මූලික වශයෙන් සෑම නිවසකටම පාහේ පෙට්‍රෝලියම් ඉන්ධන මිල වැඩිවීම බලපානවා. සමහරවිට ගෙදර වාහනයක් නැති දුප්පත් ජනයාට වුණත් වෙනත් ආහාර සහ නිෂ්පාදන වල මිල ඉහළ යෑම හරහා මේ බර සාක්කුවට දැනෙනවා.
1. වාහන වල පාවිච්චියට
දැන් දැන් බැටරි වලින් දුවන වාහන ජනප්‍රිය වෙනවා. ඒත් හෙවි වෙහිකල් එහෙම නැතිනම් බස්, දුම්රිය, නැව්, බෝට්ටු වගේම විශාල ලොරි, ට්‍රක් ආදියත් තවම බැටරි වලින් යන මට්ටමට දියුණු වෙලා නැහැ. අපේ රටේ වගේ නම් නවීන තාක්ෂණයෙන් හදපු බැටරි වාහන මිල අධික දෙයක්. ලෝකයේම වාහන වලින් තවමත් 80%කට වඩා ධාවනය වන්නේ පෙට්‍රොකෙමිකල් වලින්. ඉතින් වාහන එන්ජින් එහෙම නැතිනම් වාහනයට බලය සපයන පද්ධති වලට මූලික වශයෙන් මේ ඉන්ධන වැදගත් වෙනවා.
2. බලශක්ති උත්පාදනයට
බලශක්තිය නිපදවීමටත් සූර්යය ශක්තිය සහ සුළං ශක්තිය වැනි ප්‍රභව කෙරේ වැඩි අවධානයක් යොමු වී තියෙනවා. ඒත් වඩාත් විශ්වාසනීයව සහ අඛණ්ඩව විදුලි බලය සපයාගන්න තවමත් අපේ රටෙත් දැවිතෙල් සහ ඩීසල් වැනි උපක්‍රම පාවිච්චි කරනවා. පරමාණුක බලය වැනි ශක්ති ප්‍රභව දැවිතෙල් වලට වඩා මිලෙන් අඩුයි වගේම පරිසර හිතකාමීයි. ඒත් ඒ පරමාණුක ශක්තිය භාවිතාවෙදී ඉතා කලාතුරකින් සිදු විය හැකි අනතුරු පවා මිනිසාට මහා විනාශයක් අත් කරනවා. 2011 ෆුකුෂිමා සහ 1986 චර්නොබිල් පිපිරීමෙන් පසු පරමාණු ශක්තිය කෙරේ ලොවේ අවධානය ටිකක් අඩු වුණා.
3. ප්‍රවාහනයට පහසුව
ශක්ති ප්‍රභවයක් ලෙස ඛනිජ තෙල් ප්‍රවාහනය දැනට ලෝකයේ හොඳින් තහවුරු වුණ ක්‍රමයක්. ඛනිජ තෙල් දියරයක් නිසා මහා ගොඩබිම් හරහා ඛනිජ තෙල් ගෙනියන්න විශාල බට පද්ධති පාවිච්චි කරනවා. ඇමරිකාවේ ටෙක්සාස් වලින් හදන ඉන්ධන නල හරහා රටේ අනෙක් කෙළවරට බෙදනවා. ඒ වගේම රට රටවල් අතරත් නල හරහා ඉන්ධන ප්‍රවාහනය කරනවා. ලංකාව වැනි වරාය හරහා සැපයුම් ලබන රටවලට තෙල් නැව් වලින් තෙල් ලබාගන්නවා. බොර තෙල් දියරමය ප්‍රභවයක් නොවී ඝන හෝ වායු ප්‍රභව වුණා නම් පරිවහනය මීට වඩා අපහසු වන්නට ඉඩ තිබුණා.
4. හයිඩ්‍රොකාබන් වීමේ වාසි
බොර තෙල් කියන්නේ කළු සහ ඇතැම්විට කහ පැහැති දියරයක්. මේ හරහා අපි නිස්සාරණය කරගන්නා ඩීසල් පෙට්‍රල් ආදිය ස්වාභාවිකවම අවර්ණ හෝ ලා කහ පැහැ ගන්නවා. මේ පෙට්‍රොකෙමිකල් දියර ලෝකයේ ශීතලම පළාත් වලදී වුවත් දියර විදිහට පවතිනවා. අපි ගෙදර පාවිච්චියට ගන්නා පොල්තෙල් වැනිව එය අඩු උෂ්ණත්ව වලදී මිදෙන දියරයක් වූවා නම් ශීත තත්ත්ව යටතේදි එය පාවිච්චි කිරීමේ අපහසුතා ඇති වෙනවා. බොරතෙල් විදිහට රටින් රටට යන තෙල් ඒ අදාළ තැන්වලදි පිරිපහදු කොට ඩීසල්, පෙට්‍රල් ගුවන් යානා තෙල්, භූමිතෙල්, තාර බවට හරවගන්නට පුළුවන් වීම ඛනිජ තෙල් වල තියෙන එක වාසියක්.
5. ඛනිජ තෙල් ආයේ හැදෙන්නෙ නැද්ද?
ඛනිජ තෙල් පෘථිවියේ ඇතිවෙන්නේ වසර මිලියන සිය ගණනකට පෙර සිටයි. පෘථිවියේ සහ සාගර පතුලේ තිබුණ ජීවී කොටස් අධි පීඩනයට ලක් වී කාලාන්තරයක් තිස්සේ තිබීම නිසා මේ ඛනිජ තෙල් ඇතිවෙලා තියෙනවා. දැනට ලෝකයේ තිබෙන පහසුවෙන් ලබාගත හැකි ඛනිජ තෙල් නිධි බොහොමයක් ළිං හරහා ලබාගෙන අවසානයි. ඉතිරි වී තිබෙන්නේ ගැඹුරු මුහුදේ සහ අයහපත් වටපිටාවන් වල වඩාත් වියදම් සහගත කැණීම් හරහා ලැබෙන තෙල් පමණයි. එම නිසා ඛනිජ තෙල් මිල ඉදිරියේදී තාවකාලික අඩුවීම් හැර සමස්ථයක් ලෙස අඩුවීමක් බලාපොරොත්තු වන්නට බැහැ.
6. ඛනිජ තෙල් වලින් හදන වෙනත් නිෂ්පාදන
බොරතෙල් වලින් අපි එදිනෙදා පාවිච්චි කරන ඉන්ධන තෙල් වලට අමතරව තාර වැනි දේ ඉබේම හැදෙනවා. ඒ වගේම පොලිතීන් නිෂ්පාදන හරහා ඇඳුම් ඇසුරුම් සහ පරිවාරක ආදී දේද නිෂ්පාදනය කරනවා. කුස්සියේ නිෂ්පාදන වගේම ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි එකේ කාර් සහ වාහන නිෂ්පාදනයේදීත් විවිධ ප්ලාස්ටික් සහ පොලිතීන් වර්ග නිපදවාගන්නේ පෙට්‍රො කෙමිකල් ආශ්‍රිත දේවලින්.
7. ඔයිල් නිසා සිදුවන පරිසර හානි
පෙට්‍රෝලියම් ඉන්ධන වල තිබෙන හයිඩ්‍රොකාබන දහනය මගින් පෘථිවි ගෝලය උණුසුම් වෙනවා. එය අපේ වායුගෝලයට සිදුවෙන දැඩි බලපෑමක්. එසේම පෙට්‍රො කෙමිකල් කාන්දුවීම නිසා මුහුදටත් ජලයටත් හානි වෙනවා. යුධමය තත්ත්ව නිසා මුහුදේ ඇති තෙල් ළිං ගිනි ගැනීමත්, තෙල් නැව් හරහා තෙල් මුහුදට කාන්දු වීමත් මගින් ජලයට මේ පෙට්‍රො කෙමිකල් නිසා දැඩි බලපෑමක් එල්ල වෙනවා. එසේම මුහුදට දැඩි බලපෑමක් සිදුවන පොලිතීන් ප්ලාස්ටික් නිෂ්පාදනය වන්නේත් මේ හයිඩ්‍රොකාබන ඉන්ධන වලින්. ජල ගෝලය, ශිලා ගෝලය සහ වායුගෝලය යන තුනටම මේ තෙල් නිසා හානියක් වෙනවා.
මේ ඛනිජ තෙල් වලින් මිනිසාගේ නූතන ජීවිතයට ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඒත් ඒ වගේම පරිසර දූෂණය පැත්තෙනුත් මේ ඛනිජ තෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ලෝකයට දූෂණකාරක එකතු කරන දෙයක් වෙලා තියෙනවා.
Leave a Reply