ඩ්‍රෝන් එකක් ගමුද? ඩ්‍රෝන් එකක් ගන්න තියෙන හේතු මොනවද?

දැන් ඔය ඩ්‍රෝන යානා තියෙනවනේ. ඩ්‍රෝන යානාවක් ගන්න අදහසක් එහෙම තියෙනවා නම්, එහෙම නැතිනම් ඩ්‍රෝන් එකක් ගන්න ආසාවක් තියෙනවා නම් ඒකට උදව්වක් විදියට මේ වෙනකොට වෙළඳපොළේ ගන්න තියෙන ඩ්‍රෝන යානා ගැන අපි කිවුවා මෑතකදී. ඒ ආටිකල් එක කියවනකොට ඕනම බ්‍රෝ කෙනෙක්ට, සිස් කෙනෙක්ට නිකම් ඩ්‍රෝන් එකක් ගන්න ඕන ඕන වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඩ්‍රෝන් එකක් ගන්නවා කියන්නේ මිඩ්-රේන්ජ් ෆෝන් එකක් ගන්නවා වගේ, ටැබ් එකක් ගන්නවා වගේ දෙයක් නෙවෙයි. දැන් ටිකක් ඩ්‍රෝන් වල ගණන් අඩු වෙලා තිබුණත්, තාමත් සාමාන්‍ය වෘත්තිය මට්ටමේ වැඩක් කරන්න පුළුවන් ඩ්‍රෝන් එකක් ලංකාවට එනකොට ලක්ෂ කීපයක් වෙලා. ඉතින් ඒ වගේ ගාණකට ලංකාවේ මනුස්සයෙක් ඩ්‍රෝනයක් මිලදී ගන්නවා නං, ඒකට හොඳ හේතු තියෙන්න ඕන.

 

ඉතින් එහෙමනම් ඇත්තටම ඩ්‍රෝන් එකක් ගන්න හේතු තියෙනවද කියල බලමුද?

 

 

1. ෆොටෝග්‍රැෆි සහ වීඩියෝග්‍රැෆි වල විප්ලවීය වෙනසක් 

ඇත්තටම අපි හොඳ වෘත්තිමය DSLR එකකින් හරි මිරර්ලස් කැමරාවකින් හරි ෆොටෝස් ගන්න ගමන් නම් ඉන්නේ, ඒකට ඩ්‍රෝන් කැමරාවකුත් එකතු වෙනවා කියන්නේ අපේ ෆොටෝ ඇල්බම් වල විප්ලවීය වෙනසක් සිද්ධ වෙනවා කියන එක තමයි. වීඩියෝග්‍රැෆි සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. ඇත්තටම ඩ්‍රෝන් එකක් තමන්ගේ ඡායාරූපකරණ/වීඩියෝකරණ උපාංග උපකරණ වලට එකතු කරගත්තු ගමන්, අපේ නිර්මාණශීලීත්වයත් එක්ක අපිට යන්න පුළුවන් දුර සෑහෙන්න වැඩි වෙනවා. නිකම්ම අහසේ ඉඳන් ගන්න ඡායාරූප හෝ වීඩියෝ වලට වඩා, අළුත්ම කෝණයන්, අළුත්ම හැඩතලයන් එක්ක ෆොටෝස් හෝ වීඩියෝස් ගන්න හැකියාව උදාවෙනවා. ඉතින් ෆන් එකට ෆොටෝස්, වීඩියෝස් ගත්තත්, වෘත්තිය මට්ටමෙන් ෆොටෝස් හෝ වීඩියෝස් ග්‍රහණය කරගත්තත්, ඒ ‘විප්ලවීය වෙනස’ කියන එක ෂුවර් කරන්න පුළුවන්.

 

 

2. ෆොටෝග්‍රැෆි/වීඩියෝග්‍රැෆි බිස්නස් එකට තල්ලුවක්

උඩිනුත් කියපු විදියට වෘත්තිමය වශයෙන් ඡායාරූපකරණයේ හෝ වීඩියෝකරණයේ යෙදෙන කෙනෙක්ට, තමන්ගේ උපාංග අතරට ඩ්‍රෝන් යානාවකුත් එකතු කර ගැනීමෙන් තමන්ගේ බිස්නස් එකට හොඳ තල්ලුවක් ලබාගන්න පුළුවන්. ඒ කොහොමද? සරලයි. තමන්ගේ පෝට්ෆෝලියෝ එකට ඩ්‍රෝන් එකක් ආධාරයෙන් ලබාගත්තු නිර්මාණාත්මක ඡායාරූප/වීඩියෝ කිහිපයකුත් එකතු කරගත්තා නං, ක්ලයන්ට්ස්ලා ඒ විදියේ කොලිටි එකක වෙනස් ඡායාරූප/වීඩියෝ බලාපොරොත්තුවෙන් වැඩක් අපිටම භාරදෙන්න වැඩි හැකියාවක් තියෙනවා. ඇත්තටම උඩින් කියපු විදියට නිකම්ම අහසේ ඉඳන් ගන්න ඡායාරූප/වීඩියෝ වෙනුවට, තමන්ට තමන්ගේ ඡායාරූපකරණ/වීඩියෝකරණ ගේම් එකට වෙනස්ම මානයක් ඩ්‍රෝන් එකකින් එකතු කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න පුළුවන් හපනෙක්ට ආයෙ වැඩ නම් නෑවිත් තියෙන්නේ නෑ!

 

 

3. ට්‍රිප් එකක් යනකොට…

දැන් ඩ්‍රෝන් එකක් ගත්තා කියලා අපිට හිතූ හිතූ විදියට, හිතූ හිතූ තැන්වල ඒක උඩ අරින්න නම් ලැබෙන්නෙ නෑ. ඒක හරි. හැබැයි අපි ට්‍රිප් එකක් යනකොට එහෙම ඕක පියාසර කරවලා අපිට ෆන් එකක් ගන්න බැහැ කියලා ඒකෙන් කියවෙන්නෙ නෑ. ආයෙ ට්‍රිප් එකේ ගෘප් ෆොටෝ එක අහසේ ඉඳන් ගන්න වගේම, ඕන නම් ට්‍රිප් එකේ වීඩියෝ දර්ශන ඉහළ ඉඳන් රූගත කරලා, කෙලින්ම යූටියුබ් එකට දාන්න වුණත් පුළුවන්. නිකමට හිතන්න, මිරිස්සේ තල්මස්සු බලන්න ගිහින් ඒක බෝට්ටුවේ ඉඳන් නැතුව ඉහළාකාශයේ ඉඳන් රූගත කරන්න පුළුවන් වුණොත්, ඒක කොයි තරම් ආකර්ෂණීය වීඩියෝවක් වෙයිද කියලා. මේ කොයි දේ කළත්, ෆන් එකත් උපරිමයි ඉතින්.

 

 

4. මැප් එක හදමුද?

ඇත්තටම සිතියම් නිර්මාණයටත් ඩ්‍රෝන් එකකින් ගන්න පුළුවන් මෙහෙය අතිවිශිෂ්ටයි. ඇත්ත, අපි හැමෝටම සිතියම් නිර්මාණය කරන එකේ, හරියට කිවුවොත් දේපළක් හෝ ඉඩමක් මැප් අවුට් කරන එකේ ලොකු අවශ්‍යතාවයක් මතුවෙන්නෙ නෑ. හැබැයි දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය අපේ රැකියාව නම්? ආන්න එතකොට ඒක වෙනම කතාවක් බවට පත් වෙනවා. අපි මෙහෙම හිතමු. ඔන්න අපිට ගෙයක් විකුණන්න තියෙනවා. එතකොට අපි සාමාන්‍ය විදියට එක එක පැති වලින් ඉඳලා ගෙදර සහ ඉඩමේ ෆොටෝස් ටිකක් ගන්නවා. හැබැයි අපිට අහසේ ඉඳලත් ඒ ගෙදර සහ ඉඩම අහුවෙන්න ෆොටෝස් ගන්න පුළුවන් නම්, ඒකෙන් ගෙදර සහ ඉඩමේ වටිනාකමට අමතර ආකර්ෂණයක් ලබාදෙන්න පුළුවන් වෙන එකක් නැද්ද? 

 

 

5. නිර්මාණශීලී බොහෝ දේවල්

ඇත්තටම ඩ්‍රෝන් එකක් කියන කොට අපේ ඔළුවට ගොඩක් වෙලාවට එන්නේ ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගැනීම විතරක් වුණත්, ඇත්තටම ඒක ඩ්‍රෝන් එකකින් ගන්න පුළුවන් එක් ප්‍රයෝජනයක් විතරයි. උදාහරණයක් විදියට ගත්තොත්, වත්තට එන කැලෑ සත්තුන්ව බය කරලා පන්නන්න ඩ්‍රෝන් එකක් පාවිච්චි කරන්න බැරිද? යාළුවන්ට එක එක ප්‍රෑන්ක් කරන්න පවා ඩ්‍රෝන් එකක් හරියන එකක් නැද්ද? සමහර වෙලාවට වහලේ මොකක් හරි ගැටළුවක් වෙලා තියෙනවා නම්, වහලට නගින්නේ නැතුව ඩ්‍රෝන් එක යවලා ගැටළුව මොකද්ද කියලා හොයා බලන්න බැරි වෙයිද? මේ විදියට ඇත්තටම ඩ්‍රෝන් එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන් ජොලි වැඩ, උදවු ගන්න පුළුවන් ප්‍රායෝගික තැන්, කරන්න පුළුවන් නිර්මාණශීලී දේවල් එමටයි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න විතරයි තියෙන්නේ.

 

 

6. සෝෂල් මීඩියා වලටත් වෙනසක්!

දැන් ඔය සෝෂල් මීඩියා පරම්පරාව ඉන්නවනේ. එතනින් සමහරු ඇත්තටම සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ නිකම්ම ගෙදර ඉන්න බැරුවට නෙවෙයි. ඒ අයගේ සෝෂල් මීඩියා පරිශීලනය, සෝෂල් මීඩියා වලට අන්තර්ගතයන් එකතු කිරීම ඔස්සේ ඇත්තටම ඒ අයගේ බ්‍රෑන්ඩ් එක නිර්මාණය වීම සහ මූල්‍යමය වටිනාකමක් ලැබීමත් සිද්ධ වෙනවා. ආන්න ඒ විදියට ඔය ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික් ටොක්, යූටියුබ් වගේ මීඩියා වලට එක එක අන්තර්ගතයන් එකතු කරලා තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදන කෙනෙක්ට, තමන් ඒ එකතු කරන අන්තර්ගතයන් වඩාත් නිර්මාණශීලී විදියට ෂූට් කරගන්න ඩ්‍රෝන් එකක් උපකාරී වෙන්නෙ නැද්ද? විශේෂයෙන්ම නිර්මාණශීලීව හිතන්න පුළුවන් නම්, තමන්ගේ තරගකරුවන්ට වඩා ඉහළින් තියෙන අන්තර්ගතයන් නිර්මාණය කරගන්න ඩ්‍රෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් තමන්ගේ බ්‍රෑන්ඩ් එක වඩාත් සාර්ථකව ගොඩනංවාගන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඩ්‍රෝනර් කෙනෙක් විදියට වුණත් නමක් දිනාගන්න පුළුවන් වෙයි.

 

 

7. ඒ වගේම ෆන් එක උපරිමයි!

ඔය කියපු කොයි කතාව අතරින් වුණත්, සරලවම අපිට අමතක කරන්න බැරි තවත් කතාවක් තියෙනවා. ඒ තමයි ඩ්‍රෝන් එකක් පියාසර කරවීමේ තියෙන සුපිරි ෆන් එක. ඒ කියන්නේ ඩ්‍රෝන් එකක් කියන්නේ එක්තරා විදියකට වැඩිහිටියෙකුගේ සෙල්ලම් බඩුවක් වගේ. ආයෙ වීඩියෝ ගන්න, ෆොටෝ ගහන්න නතර නොවුණත්, පහළ ඉඳන් ඉහළාකාශයේ ඩ්‍රෝන් යානාවක් පියාසර කරවීම හිතනවාටත් වඩා සෑහෙන්න තෘප්තියක් ගෙන එන වැඩක්. ඒ ඇරෙන්න ඒකෙන් නිර්මාණශීලී දේවල් කරන එකෙත් වෙනම තෘප්තියක් තියෙනවා. ඉතින් ඒ තෘප්තිය වෙනුවෙන්, ෆන් එක වෙනුවෙන් ටිකක් ඉහළ මිලක් වුණත් වෙන් කරලා ඩ්‍රෝන් එකක් ගන්න එක පාඩුවක් වෙයිද?

 

දැන් බ්‍රෝට, සිස්ට මොකද හිතෙන්නේ? ඩ්‍රෝන් එකක් ගන්න ඕනෙද? මේ කියලා තියෙන කාරණා තමන් සම්බන්ධයෙනුත් වැලිඩ් කියලා හිතෙනවා නම්, ඩ්‍රෝන් එකක් ගන්න සල්ලි තියෙනවා නම්, ඩ්‍රෝන් එකක් ගන්න එක ආයෝජනයක් විදියට හිතෙනවා නම්, ආයෙ යන්න දැන් කාලේ ගන්න හොඳ ඩ්‍රෝන්ස් මොනවද කියන ආටිකල් එකට. දැන් තීරණයක් ගන්න පුළුවන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *