කාලයත් සමග ගිලීහී යන අපේ කුඹල් කර්මාන්තය

අපි හැමෝම කැමතියිනේ මැටි වලින් තනපු එක එක දේවල් වලට. ඒත් ඉතින් දැන් ප්ලාස්ටික්, ලී, පිත්තල වගේ භාණ්ඩ හින්දා ටිකෙන් ටික මැටි භාණ්‌ඩ සහ ඒවා නිෂ්පාදනය කරන අපේ කුඹල් කර්මාන්තය පසුබැස තිබෙන බවක් පෙන්නුම් කරනවා. ඉතින් ඒ ගිලිහීගෙන යන කුඹල් කර්මාන්තය ගැන අද අපි තොරතුරු ටිකක් කතාකරමු.

 

1. මුල් කාලය

අපේ ඉස්කෝල වල ඉතිහාස පොත්වල උගන්නන හැටියට කුඹල් කර්මාන්තය මෙරටට අරන් එන්නේ සංඝමිත්තා තෙරණියයි. කුඹල් කර්මාන්තය විතරක් නෙමෙයි, තව ගොඩක් දේවල් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ අපේ රටට ගෙන ආවා. හැබැයි ඉතින් ඊට ගොඩාක් කාලෙකට කලිනුත් අපේ රටේ මිනිස්සු මැටි භාණ්ඩ තනලා තියෙන බවට සාක්ෂි හමුවෙලා තියනවා. දොරවක කන්දෙන් ලැබුණු මැටි බඳුන් ක්‍රිස්තු පූර්ව 2,500 තරම් පැරණි බවට කාල නිර්ණය වෙලා තියනවා. ඒ විතරක් නෙමෙයි, උඩරංචාමඩම, ගල්පාය, වාරණ, ඉබ්බන්කටුව, හල්දුම්මුල්ල වගේ ගොඩාක් තැන්වලින් කරපු කැණීම් වලින් මේ මැටි බඳුන්වල කොටස් රැසක් හමුවෙලා තියෙනවා. 

 

2. දෙවන පෑතිස් රජ සමයේ

 

දෙවන පෑතිස් රජතුමන්ගේ කාලයේදි මේ මැටි කර්මාන්තය එහෙම නැත්නම් මේ කුඹල් කර්මාන්තය ගොඩාක් දියුණු තත්ත්වයේ තිබ්බ කියලා සාක්ෂි ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ගංගා නිම්න ආශ්‍රිතව ජීවත් වුණු මිනිස්සුන්ට මැටි පහසුවෙන් හොයාගන්න පුළුවන් නිසා ඒ පැතිවල මේ මැටිකර්මාන්තය අතීතයේ ඉඳලා බහුලව සිදු වෙලා තියනවා.

 

3. මැටි භාවිතා කර තනන භාණ්ඩ 

මේ මැටි භාණ්ඩ තනන්න ගොඩාක් යොදාගන්නෙ කෙයොලින් මැටි. ඊට අමතරව රතු මැටිත් භාවිතා කරනවා. මැටි ඇළෙන ගුණයෙන් වගේම හැකිලීමේ ගුණයෙනුත් අනූන නිසාත් බඳුන් තැනීමට මේ මැටි භාවිතයට ගන්නට මිනිසුන් ඉස්සර ඉඳලම පුරුදුවෙලා තියෙනවා. විශේෂයෙන් මේ මැටි භාවිතා කරලා තනන උපකරණ ගැන කිව්වොත් ගෙදර දොරේ භාවිතයට ගන්නා මුට්ටි, කළ, වළං, කෝප්ප, ගුරුලේත්තු විතරක් නෙමෙයි, ගෙවල් හදන්න ඕන උළු, ගඩොල් වගේ එකී මෙකී නොකී ගොඩාක් දේවල් හදනවා. ඒ වගේම මැටියෙන් හදාපු විසිතුරු භාණ්ඩ සහ මල් පෝච්චි වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. 

 

4. වර්තමානයේ 

වර්තමානයේත් මේ කුඹල් කර්මාන්තය සිද්ධ වෙනවා. විශේෂයෙන් දකුණු පළාතේ මාතර, ගාල්ල වගේ ප්‍රදේශවලත් කෑගල්ල වගේ ප්‍රදේශවලත් කුඹල් කර්මාන්තය වැඩියෙන් සිදු වෙනවා. අපි ඔය සඳහන් කරපු ප්‍රදේශවලත් පහසුවෙන් ඒ මැටි හොයාගන්න පුළුවන් වුණත්, නාගරීකරණය වෙනවත් එක්ක මැටි හොයාගන්න එකත් දැන් දැන් අසීරු වේගෙන යනවා කියලා තමයි පේන්නේ…

 

5. යොදාගන්නා උපකරණ 

දැන් මේ කුඹල් කර්මාන්තය කරන්නත් විවිධ නවීන උපකරණ භාවිතා කරනවා. ඒ කාලේ ඉඳලම මේ මැටි භාණ්ඩ හදන්න පාවිච්චි කළේ සකපෝරුව. ඒක අපි කවුරුත් දන්න දෙයක්නේ. ඊට අමතරව මෑත කාලයක ඉඳලා ජිගර්, පග්මිල්, බෝල්මිල්, ජෝ ක්‍රෂර් වගේ නවීන උපකරණ රැසක් වර්තමානයේ මැටි භාණ්ඩ නිෂ්පාදනයට භාවිතා කරනවා. ඒ වගේම මේ භාණ්ඩ පුළුස්සන්න දර, ගෑස්, විදුලි පෝරණු වගේ විවිධ වර්ගයේ පෝරණු භාවිතා කරනවා.

 

6. සිදු කරන ආකාරය 

අපිට ටිකක් සරලයි වගේ පෙනුනට මේ මැටි භාණ්ඩ හදන එක ලේසි පහසු කටයුත්තක් නම් නෙමෙයි. මැටි භාණ්ඩ හදන්නේ සකපෝරුව භාවිතයෙන් බව අපි කලිනුත් කිව්වා. මේ සකපෝරුවෙත් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි අත් සකපෝරුව සහ පා සකපෝරුව. අත් සකපෝරුවෙන් කරනවා නම් තව කෙනෙක් ඒක කරකවන්න ඕනේ. පා සකපෝරුවෙන් නම් තනියම පාගන්න තියෙන්නේ. ඉතින් ඔහොම හදාගත්ත මැටි වළඳ ඉන්පස්සෙ වේලනවා. ඊට පස්සේ මේක පෝරණුවක දාලා පුළුස්සනවා. ඊට පස්සේ තමයි ඔය බාහිරින් කරන ලස්සනට හැඩවැඩ දාන්නේ…

 

7. කඩාවැටීම 

වර්තමානයේ මේ මැටි කර්මාන්තය කඩාගෙන වැටෙන්න ප්‍රධානම හේතුව තමයි මේ වෙද්දි මැටිවලට ආදේශක භාණ්ඩ වෙළෙඳපොළට ඇවිල්ල තියෙන එක. ඇලුමිනියම්, ප්ලාස්ටික්, ඇස්බැස්ටස් වගේ භාණ්ඩ ගොඩාක් මැටි වලට වඩා භාවිතය ලේසි, කල් පැවැත්ම ඉහළ වගේම මිලත් අඩු ඒවා වීම හින්දා වැඩි දෙනෙක්ගේ කැමැත්ත වැඩියෙන්ම යන්නේ මේ වෙනත් ආදේශක වලටයි. ඉතින් මේ හින්දා මැටි භාණ්ඩ වල ඉල්ලුම ක්‍රමයෙන් අඩු වෙලා තියනවා වගේම කුඹල් කර්මාන්තයට යොමු වෙන්න ගොඩාක් අය මැළිවෙන්නත් එය හේතු වෙලා තියනවා. 

 

ශශින් ප්‍රබෝද්