දැන් සාමාන්‍යයෙන් ඔය සාහිත්‍ය පොත් වල එහෙම තියෙන්නේ දෙන්නෙක් කසාද බඳිනවා කියන්නේ දෙන්නා එක්කෙනෙක් වෙනවා වගේ කතන්දරනේ. ඇත්තටම එහෙම වෙනවද? ඒ කියන්නේ දෙන්නගේ පුද්ගලික ජීවිත නැති වෙලා, ඒක එකක් වෙනවද? ඇත්තම කතාව තමයි එහෙම වෙන්නෙ නැහැයි කියන එක. ඇත්තටම ඔය විවාහ ජීවිත වල ප්‍රශ්න ඇති වෙන්න, විවාහ ජීවිතේ ආතල් එක නැතිවෙලා යන්න එහෙමත් එක හේතුවක් තමයි ඒ විදියට හිතන එක. ආන්න ඒ නිසා තමයි විවාහ වුණු යුවළක් වුණත්, තාමත් ලව් කරන ගමන් ඉන්න යුවළක් වුණත් එකිනෙකාගේ පුද්ගලික අවකාශයන් වලට ඇඟිලි නොගහා ඉන්න එක අවශ්‍ය වෙන්නේ. ඒක කොහොමද කරන්නේ කියන එක තමයි අපි කියලා දෙන්න යන්නේ!
1. ෆේස්බුක් පාස්වර්ඩ්!
මේක ඉතින් අතිශයින්ම සුලභව සිද්ධ වෙන වැඩක්. මොකද්ද? අනික් කෙනාගේ ෆේස්බුක් පාස්වර්ඩ් එක ඉල්ලන එක. එක්කෝ හොරෙන් හොයාගෙන අනික් කෙනාගේ ෆේස්බුක් එකට රිංගලා, කවුද මෙසේජ් කරලා තියෙන්නේ කියලා බලන එක. මේක ඉතාම වැරදි වැඩක්. අනික් එක්කෙනා ෆේස්බුක් එකේ මොනව කරනවා ඇතිද, එයාට මොක්කු මෙසේජ් එවනවා ඇතිද කියලා ෂුවර් නැති නම්, ඒක හොයාගන්න කල් නින්ද යන්නෙත් නෑ වගේ නම් කරන්න තියෙන්නේ දෙන්නත් එක්කම එක ෆේස්බුක් එකක් හදාගන්න එක. පුන්සිරි සහ කමලා ඒන්ජල් කියලා නම දාගන්න තියෙන්නේ. දැන් කාටවත් කරදරයක් නෑනේ. එහෙම නැතුව අනික් කෙනා පුද්ගලික ෆේස්බුක් එකවුන්ට් එකක් මැනේජ් කරනවා නං, ඒකට හොරාට එබෙන්න, ඒකේ පාස්වර්ඩ් ඉල්ලලා ගේම කෝල් කරන්න යන්න එපා.
2. ෆෝන් එකේ මොනවද තියෙන්නේ?
දැන් කාලේ අපි හැමෝම ගාව ස්මාට්ෆෝන් තියෙනවනේ. හැබැයි ඉස්සර තිබුණු මොබයිල් ෆෝන් එක වගේ නෙවෙයි. ස්මාට්ෆෝන් එක කියන්නේ පර්සනල් දෙයක් විදියට තමයි සැළකෙන්නේ. හරියට ඩයරියක් වගේ. අපි වෙන කෙනෙක්ගේ ඩයරියක් අවසරයක් නැතුව කියවන එක සදාචාර සම්පන්න නැහැ. ආන්න ඒ වගේ තමයි දැන් කාලේ ස්මාට්ෆෝන් එකකුත්. අන්න එතකොට, වයිෆ් හරි හස්බන්ඩ් හරි එහා මෙහා වෙනකල් ඉඳලා ස්මාට්ෆෝන් එක හොරෙන් අරන් චෙක් කරන එක, එහෙම නැතිනම් ඒක චෙක් කරන්න ඉල්ලලා ඩිමාන්ඩ් කරන එක ඒ තරම් සුදුසු දේවල් නෙවෙයි.
එතකොට ස්මාට්ෆෝන් එකේ හස්බන්ඩ් හරි වයිෆ් හරි මොනවත් රහස් තියාගෙන ඉන්නවද? දන්නෙ නෑ. තමන්ට පවුල් ජීවිතේට බලපෑමක් වෙන විදියේ දෙයක් හස්බන්ඩ් හරි වයිෆ් හරි හංගනවා කියල හිතෙනවා නම් කෙලින්ම ඒ ගැන කතා කරන්න. අහලා බලන්න. නොකිව්වත් ගැටළුවක් නෑ, තමන් අහලා තියෙන්නේ කෙලින්ම. එහෙම නැතුව ෆෝන් ඉන්වෙස්ටිගේෂන් කරන එක අප්සට් වැඩක්!
3. කවුද ඒ කතා කළේ?
අපිට කසාද බැන්දා කියලා ෆෝන් එකට එන කෝල්ස් අඩුවක් වෙන්නෙ නෑනේ. අපිට ඕන නම් තෝරාගැනීමක් කරන්න පුලුවන්, වැඩ ඉවර කරලා නිදහසේ වයිෆ් එක්ක හරි හස්බන්ඩ් එක්ක හරි ඉන්න වෙලාවට ෆෝන් එක සයිලන්ට් කරලා තියන්න. හැබැයි ඒ කොහොම වුණත්, තමන්ගේ ෆෝන් එකට එන කෝල්ස් පර්සනල් දේවල් විදියට තමයි සැලකෙන්නේ. ආන්න එහෙම තත්ත්වයක් උඩ, හස්බන්ඩ්ට හරි වයිෆ්ට හරි කෝල් එකක් ආවහම, “කවුද ඒ කතා කළේ?” කියලා සැක මූඩ් එකෙන් අහන එක හරිම අප්සට් වැඩක්. ඒක දෙන්නටම අදාළ කෝල් එකක් නම් ඒක එයා කියයි. එහෙම නැතුව හාරාඅවුස්සන්න යන්න එපා. ඒක කැතයි.
4. ඔෆිස් එකේ මොනවද වෙන්නේ?
මෙන්න මේක නම් නරක වැඩක් විතරක් නෙවෙයි, ටිකක් භයානක වැඩක්. දැන් අපි ඔෆිස් එකේ ඉඳලා ගෙදර ආවට පස්සේ දෙන්නත් එක්ක දවසේ සිදුවීම් කතා කරනවනේ. එතකොට ඔෆිස් එකේ වුණු දේවල් එහෙමත් කියවෙනවා තමයි. ඒක ගැටළුවක් නෑ. හැබැයි සමහර ඔෆිස් වල, සමහර පෝස්ට් වල ඉන්න කොට බොහොම සංවේදී තොරතුරු, රහසිගතව තියෙන්න ඕන තොරතුරු එහෙම සංසරණය වෙනවා. එහෙම ඒවට අදාළ සිදුවීම් එහෙමත් වෙනවා. ආන්න ඒවා වයිෆ්ට හෝ හස්බන්ඩ්ට වුණත් නොකියා ඉන්න එක තමයි හොඳ. මොකද, ඒ සංවේදී තොරතුරු පිටට දෙන්නෙ නෑ කියලා අපි රස්සාව ගන්නකොට අත්සන් කරන ගිවිසුමේ එහෙමත් කියලා තියෙනවා.
දැන් ඔය පසුබිමේදී අපි කියමු හස්බන්ඩ් හරි වයිෆ් හරි අනික් එක්කෙනාගෙන් එයාගේ ඔෆිස් එකේ වෙන දේවල් අනං මනං හාරාවුස්සලා අහනවා කියලා. ඒ වදේ නිසා එයා ඔෆිස් එකේ දේවල් කියන්නත් පුළුවන්. හැබැයි එව්වා ලීක් වුණොත්, ඒකෙන් ඇත්තටම එයාගේ රස්සාව ඉවර වෙන්නත් පුළුවන්. ආන්න ඒ නිසා, එයා ඔෆිස් එකේ දේවල් ගැන කියන දෙයින් සෑහීමකට පත් වෙන්න. හාරාවුස්සන්න නොයන්න!
5. ලඟ ඉන්න යාළුවට ෆෝන් එක දෙන්න!
මෙන්න මේකත් හස්බන්ඩ් කෙනෙක්, වයිෆ් කෙනෙක් කරන ආයෙ හරවන්න බැරි විදියේ වැරැද්දක්. දැන් ඔන්න හස්බන්ඩ් හරි වයිෆ් හරි යාළුවෙක් එක්ක කොහේ හරි ගමනක් යනවා. ගිහින් එන වෙලාවත් කියනවා, ගියා කියලත් කෝල් කරලා කියනවා. හැබැයි ඒත් දැන් ගෙදර එනකල් අනිකට ඉන්න බෑ. ඔන්න කෝල් කරනවා. කෝල් එකට ආන්සර් එකක් නැතිනම් පටස් ගාලා එයා එක්ක ගියපු යාළුවෙක්ගේ ෆෝන් එකකට කෝල් කරලා හස්බන්ඩ්ට නැතිනම් වයිෆ්ට ෆෝන් එක දෙන්න කියනවා. කුජීතයි නේද පිංවතුනි? ඉතින් අර යාළුවන්ට හිතෙන්නේ මේ මිනිහව හරි ගෑණිව හරි ගෙදර ඉන්න මනුස්සයට පොඩ්ඩක්වත් ෂුවර් නෑ කියල නෙවෙයිද?
ඕකෙම තවත් දිගුවක් තමයි, හස්බන්ඩ්ව හරි වයිෆ්ව හරි ෂුවර් නැති නිසා, ලඟ ඉන්න යාළුවට ෆෝන් එක දෙන්න කියල කොහෙද ඉන්නෙ කියලා යාළුවන්ගෙන් අහන එක. ඕවා ඇති මගුල් කැඩෙන්න.
6. මට කියන්න බැරි දේවල් ඔයාට තියෙනවද?
මේක ඉතින් සමහර වෙලාවට ඔය හස්බන්ඩ්ලා නැතිනම් වයිෆ්ලා, අනික් කෙනාගෙන් අහන කාරණයක්. උත්තරේ සරලයි. ඔව්, හස්බන්ඩ්ට වයිෆ්ට වුණත් කියන්න බැරි දේවල් තියෙනවා! ඒක එහෙම වුණා කියල ඔෆෙන්ඩ් වෙන්න එපා. එයා අවශ්‍ය මොහොතේ දේවල් කියනකල් ඉවසිල්ලෙන් ඉන්න.
මෙතනදී කාරණා දෙකක් ගැන අපි හිතන්න ඕන. එකක් තමයි අපි කියමු හස්බන්ඩ් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඉන්නවා කියල. එතකොට වයිෆ් ඒ ගැන ඇහුවොත්, නොකියා ඉන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ ඒ වගේ අවස්ථාවකදී මොකද වෙලා තියෙන්නේ කියලා කියන්න ඕන කියන එක තමයි. මොකද හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියන්නේ ගේම් එකක් සෙල්ලං කරන එක ටීම් එකක්. එතකොට ටීම් එක ඇතුළේ රහස් නැති තරමට ගේම් එක ස්ට්‍රෝන්ග්!
හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. අපි හිතමු වයිෆ් යම් රහසක් හස්බන්ඩ්ට නොකියා ඉන්නවා. ඒක නොකියා ඉන්නෙ ඇත්තටම ඒ රහස තමන්ගේ නොවෙන නිසා. තමන්ගේ යාළුවෙක්ට අයිති රහසක් නිසා. අන්න එතකොට ඒ රහස කියන්න කියලා බල කරන එක වැරදියි.
7. මගේ ගාවින් හෙල්ලෙන්නෙපා!
මෙන්න මේක දෙයාකාරයකට වෙනවා. එකක් තමයි, හස්බන්ඩ්ට හරි වයිෆ්ට හරි මලාට තනියෙන් ගමනක් වත් යන්න බැරි වීම. ආයෙ යාළුවො එක්ක සෙට් වෙන්න හරි, යාළුවොත් එක්ක ෂොපින් කරන්න හරි යන්න හැදුවත් වලිගෙ වගේ අනිකා සෙට් වෙනවා. ඒක ආදරේද? නෑ පිංවතුනි, ඒකට කියන්නේ ඔබ්සෙෂන් කියලා. උදාහරණයක් විදියට ගත්තොත්, හස්බන්ඩ්ගේ යාළුවෝ බොන තැනට වෙලා එකෙක්ගේ වයිෆ් විතරක් ඉන්නකොට ඒ බොන සෙට් එකම හරියට දෙයක් නිදහසේ කතාකරගන්නවත් බැරුව අසරණ වෙන්නෙ නැද්ද? තමන්ගේ යාළු කෙල්ලො සෙට් එකත් එක්ක නිදහසේ ෂොපින් කරන්න ගියහම, හස්බන්ඩා අර කෙල්ලො ටිකට සෙට් වෙලා මෝඩ ජෝක් දදා ඉන්නකොට වයිෆුයි වයිෆ්ගෙ යාළුවොයි හැමෝම අපහසුතාවයට පත් වෙන්නෙ නැද්ද? ආන්න ඒක නිසා තමයි එහෙම හැසිරෙන්න එපා කියන්නේ!
මේකේ දෙවෙනි සිස්ටම් එක තමයි, දෙන්නත් එක්ක කොහේ හරි වෙඩිමකට එහෙම ගියාට පස්සේ වයිෆ් ආයෙ හස්බන්ඩ්ට චූ කරන්න වොෂ්රූම් එකටවත් යන්න නොදී ඉන්න එක. වයිෆ් එතන වෙන කාවවත් දන්නෙ නැති නම්, හස්බන්ඩ් එයා ගාවට වෙලා ඉන එක හරි. ඒක හොඳ දෙයක්. හැබැයි එහෙම නැතුව දෙන්නම දන්න අය ඉන්න තැනකත් එහෙම ඉඳිකට්ටයි නූලයි වගේ ඉන්න ඕන නෑ. දෙන්නට පොඩ්ඩක් වෙනවෙනම සමාජශීලී වෙන්න පුළුවනිනේ.
ඇත්තටම මුල් කාලෙදී මේ වගේ ඒවා වෙනකොට, ගොඩක් අය ඒක සාධාරණීකරණය කරනවා ආදරේ නිසා තමයි මෙව්වා මෙහෙම වෙන්නෙ කියලා. හැබැයි පස්සෙ පස්සෙ ඒක වාතයක් වෙනවා.
ඒ ඇරෙන්න හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. දැන් කෙල්ල හරි කොල්ල හරි එක පාරක් හරි හොර කොටුවක් එහෙම පැනලා මාට්ටු වුනාට පස්සේ ඉතින් මෙව්වා සිද්ධ වෙන එක නවත්තන්න බෑ. ආන්න එතකොට මුල ඉඳන් විශ්වාසේ රැකගෙන වැඩ කරලා, විශ්වාසේ හදාගන්න වෙනවා!
Leave a Reply