භාවිතයට නොගන්න දේකින් ප්‍රයෝජනවත් වෙනත් දෙයක් නිර්මාණය කරමුද? ඒ ගැන ඉගෙන ගන්න YouTube එකෙන් පුළුවන්

අප්සයික්ලින් (upcycling) කියලා කියපු ගමන් එක පාරටම කෙනෙක්ගේ ඔලුවට එන්නේ නිකං බයිසිකල් පදින්න පුරුදු වෙනවා වගේ හැඟීමක්, හා නැද්ද? හැබැයි පොඩ්ඩක් මේ සීන් එකේ ඉන්න අය දන්නවා, ඇත්තටම අප්සයික්ලින් කියන්නේ භාවිතයට නොගන්න දේකින් ප්‍රයෝජනවත් වෙනත් දෙයක් නිර්මාණය කරන කලාව තමයි කියලා. මේක ලෝකේ සෑහෙන්න ට්‍රෙන්ඩ් එකක් වුණු දෙයක් වුණත්, අපිට ඇත්තටම ඕක ගොඩක් ආගන්තුක දෙයක් නෙවෙයි. අපි දැන හෝ නොදැන පුංචි කාලේ ඉස්කෝලෙ යනකොට අප්සයික්ලින් කරලා තියෙනවා. ෂුවර් නැද්ද? මතකද අපි අර පුංචි කාලේ අම්මලා අහක දාන නූල් ඔතල තිබුණු ලොකු කාඩ්බෝඩ් සිලින්ඩර් අරගෙන, ඒවා උඩින් කොළ අලෝලා පැන්සල් රඳවන හැදුවා? එතකොට මතකද ගෙදර ගේන කිරිපිටි එකේ කාඩ්බෝඩ් පෙට්ටිය උඩින් ගාණට ස්ටයිල් එකට කපලා අරගෙන, ඒක උඩ ලස්සනට විසිතුරු විදියට කොළ එහෙම අලවලා, බිත්තියේ එල්ලන්න හැකි ලියුම් කියුම් රඳවනයක් නිර්මාණය කළා? ආන්න එව්වාට කියන්නෙත්  අප්සයික්ලින් කියලා තමයි.

 

කොහොම හරි, අපි කලිනුත් කථා කළා, අපිට කරන්න පුළුවන් විනෝදාංශ ගැන. ඒකෙදිත් අපි අප්සයික්ලින් ගැන කොටින් සඳහන් කළා. ඉතින් අප්සයික්ලින් කරන්න ඉගෙන ගන්න, අයිඩියාස් ගන්න එහෙම ඕන නම්, YouTube එක කියන්නේ නියම තෝතැන්නක්. ආන්න ඒ නිසා අපි හිතුවා අප්සයික්ලින් කරන යූටියුබ් චැනල් කීපයක් ගැන අද කතා කරන්න.

 

1. I Restore Stuff – Upcycled Furniture & Decor

දැකලා තියෙනවද අර හාඩ් කවර තියෙන පරණ පොත්? දැන් ඔය පොත් වල කොළ හැලිලා, කියවන්න බැරි තැනට ඇවිල්ලා තියෙනකොට මොකද කරන්නේ, අපි එව්වා විසි කරනවද? නෑ මිත්‍රවරුනි. අපි ඒවා අප්සයිකල් කරනවා. ඒ කියන්නේ ඒවැයින් වෙන වෙන ප්‍රයෝජනවත් දේවල් නිර්මාණය කරනවා. හෑන්ඩ්මේඩ් ග්‍රීටින්ග් කාඩ් එකක ඉඳන් ඕල්ඩ් ස්කූල් ටයිප් නෝට් බුක් එකක් දක්වා දේවල් මේ හාඩ් කවර් වලින් හදාගන්න පුළුවන්. මෙන්න මේ විදියේ විවිධ ගෙදරක තියන්න පුළුවන් විවිධ විසිතුරු දේවල් අහක දාන දේවල් වලින් නිර්මාණය කරන්න කියලා දෙන යූටියුබ් චැනල් එකක් තමයි I Restore Stuff – Upcycled Furniture & Decor කියන්නේ. ඒ ඇරෙන්න ෆියුෂන් මිනරල් පේන්ට් වලින් විවිධ ගෘහ භාණ්ඩ ලස්සනට පේන්ට් කරගන්න ආට් එකත් මේකේ කියලා දෙනවා.

 

 

 

2. coolirpa

අපි ගාව තියෙන ඇඳුම් තවදුරටත් අපිට වුවමනා නොවෙන හේතු කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් අය නම් ඇඳුම් පරණ වුණහම අයින් කරනවා. තවත් කොටසක් ඇඳුම් වල ෆැෂන් එක පරණයි කියලා හිතුණහම අයින් කරනවා. තවත් ඇඳුම් අපිට ඔය තෑගි විදියට වෙනත් අයගෙන් ලැබුණහම වෙන්න පුළුවන් දෙයක් තමයි සයිස් වැඩි වීම හෝ සයිස් මදි වීම. ඔය මොන දේ වුණත් අපි කරන්නේ ඒ ඇඳුම් වෙන අයට නිකම් දීලා දාන එකනේ. හැබැයි ඔය පරණ ඇඳුම්, ෆැෂන් එක අවුට්ඩේටඩ් වුණු ඇඳුම්, සයිස් වැඩි අඩු ඇඳුම් අපිට වෙන ක්‍රමේකට පාවිච්චියට ගන්න බැරිද? බැරි නෑ. ඇඳුනුත් අප්සයිකල් කරන්න පුළුවන්. ආන්න ඒ ගැන අපිට කියලා දෙන යූටියුබ් චැනල් එකක් තමයි  coolirpa කියන්නේ. උදාහරණයක් විදියට, අඳින්න බැරි බෙල්බොටම් පෑන්ට් එකක් ටයිට් ස්කර්ට් එකක් කරගන්න බැරිද? බෝයිෆ්‍රෙන්ඩ්ගේ පරණ වුණු ෂර්ට් එකක් අලුත්ම ෆැෂන් එකක ටොප් එකක් බවට පරිවර්තනය කරගන්න බැරිද? බැහැ කියලා හිතෙනවා නම්, මේ චැනල් එක පැත්තේ පොඩ්ඩක් ගිහින් බලන්න.

 

 

 

3. Rag ‘n’ Bone Brown

දැන් ඔය අපි ගාව තියෙන සමහර පරණ ගෘහ භාණ්ඩ තියෙනවනේ. අපි කියමු මුත්තගේ කාලෙ ඉඳන් පැවත එන පරණ ඩ්‍රෙසින් ටේබල් එකක් කියලා. ඔය වගේ ඇන්ටික් බඩු වලට සෑහෙන්න මිලක් තියෙනවනේ දැන් කාලේ. හැබැයි ඉතින් බඩුව ඇන්ටික් වුණාට වැඩක් නෑ, තවදුරටත් පාවිච්චි කරන්නත් පුළුවන් වෙන්න ඕන. ඒත් එහෙම බැරි නං? කෑලි හැලෙන්න කිට්ටුයි නං? කලබල වෙන්න එපා. ඕන නං අපිටම ඒක ආයෙ ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන්. ඒක ඇත්තටම අප්සයික්ලින් කියලා ගන්න බෑ. හැබැයි Rag ‘n’ Bone Brown යූටියුබ් චැනල් එකේ විවිධ අප්සයික්ලින් අයිඩියාස් අතරේ මේ වගේ රෙස්ටොරේෂන් වීඩියෝස් එහෙමත් තියෙනවා. ඒ ඇරෙන්න අහක දාන ලී කෑලි ටිකකින් කේක් ස්ටෑන්ඩ් එකක් හදාගන්නේ කොහොමද, අහක දාන ලී කෑලි සහ අහක දාලා තියෙන යකඩ කෑලි ටිකක් එකලස් කරලා කොෆී ටේබල් එකක් හදාගන්නේ කොහොමද වගේ අනර්ඝ ෆර්නිචර් අප්සයික්ලින් අයිඩියාස් එහෙමත් මේ චැනල් එකේ සෑහෙන්න තියෙනවා.

 

 

 

4. Repurpose and Upcycle

අප්සයික්ලින් වල තියෙන විශේෂත්වය වෙන්නේ අහක දාන දෙයින් ප්‍රයෝජනවත් දෙයක් නිර්මාණය කිරීම විතරක් නෙවෙයි, ඒක බොහොම ලස්සන විශේෂ දෙයක් විදියට නිර්මාණය කරන්න පුළුවන් විදියේ ක්‍රාෆ්ට්මන්ශිප් එකක්, එහෙම නැතිනම් නිර්මාණශීලී කුසලතාවයක් ලබාගැනීමත් එතන තියෙනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි මේ Repurpose and Upcycle කියන යූටියුබ් චැනල් එක. ඒක කරන ලින්ඩ්සේ කියන්නේ, එයාට අහක දාන දේකින් යම් කිසි දෙයක් මේ තරම් නිර්මාණශීලී විදියට හදන්න පුළුවන් නම්, ඒක අනිවාර්යයෙන්ම අපිටත් හදන්න පුළුවන් කියලා තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, හිස් පේපර් ටවල් රෝලක් දෙකක් පාවිච්චි කරලා ෆෝන් එක හරි ටැබ් එක හරි මේසේ උඩ හිටුවලා තියන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක් හදන්න පුළුවන්. එතකොට ගෙදර තියෙන පරණ සිංගල් සින්ක් එක, අපිටම ඩබල් සින්ක් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්.

 

 

 

5. Upcycled

සමහර ගෑණු ළමයි ඉන්නවා නේද හෑන්ඩ්බෑග් දහයක් ගෙදර තිබ්බත් මදි? ඒක ඉතින් එක් එක් අයගේ ආසාවල්. සමහරු සපත්තු සෙරෙප්පු එකතු කරනවා, සමහරු පොත් එකතු කරනවා, සමහරු හෑන්ඩ්බෑග් එකතු කරනවා. හරි, කඩෙන් හෑන්ඩ්බෑග් අරගෙන එකතු කරනවා කියන්නේ ඒකට කොයි තරම් ගාණක් වියදම් වෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. විශේෂයෙන්ම ඔය වෙනත් තැනක දකින්න නැති විදියේ බෑග් තවත් ගණන්. හැබැයි අපිට එහෙම විශේෂ විදියේ, අමුතු බෑග් ගෙදරම හදාගන්න බැරිද? බෑ කියලා හිතෙනවා නම්  Upcycled යූටියුබ් චැනල් එක බලන්න. මේකේ තියෙන්නේ බොහොම පොඩි පොඩි වීඩියෝස්. හැබැයි අවාසනාවකට වගේ මේකේ බෑග් එකක් නිර්මාණය කරන විදිය දාලා නෑ. ඒ වෙනුවට තියෙන්නේ බෑග් එක නිර්මාණය කරලා තියෙන්නේ මොනවැයින්ද කියන එක විතරයි. හැබැයි දක්ෂයෙක්ට ඒක බලලා, තමන්ගේම ඩිසයින් එකකට බෑග් නිර්මාණය කරගන්න බැරි නෑ.

 

 

 

6. Upcycle Mania

අප්සයික්ලින් වැඩේ “මේක නං පිස්සුවක් බං” ලෙවල් එකට ආවට පස්සේ, ආයෙ කුස්සියේ විසිකරන ඩස්ට්බින් එකේ තියෙන එව්වත් අප්සයිකල් කරන්න හිතෙනවා. හැබැයි ඒකත් බැරි වැඩක් නෙවෙයි. උදාහරණයක් විදියට ස්වභාවික ඩියෝඩ්‍රන්ට් එකක් හදන්න බැරිද විසික් කරන දොඩම් ලෙලි වලින්? පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඕන නං දොඩම් ගෙඩිය කාලා විසි කරන්න යන දොඩම් ලෙලි විසි නොකර, ඒවැයින් තවත් රසවත් කෑම වර්ග හදන්නත් පුළුවන්. මේ විදියේ පිස්සු කියලා හිතෙන, හැබැයි ඉතාම නිර්මාණශීලී සහ ඊටත් වඩා ප්‍රයෝජනවත් අප්සයික්ලින් අයිඩියාස් සහ උපදෙස් තියෙන යූටියුබ් චැනල් එකක් තමයි Upcycle Mania කියන්නේ. ඒකේ තියෙන අප්සයික්ලින් අයිඩියාස් වල පරාසය ඉතාම විශාලයි. උදාහරණයක් විදියට කිවුවොත්, දොඩම් ලෙලි, කෙසෙල් ලෙලි, ලූණු පොතු අහක නොදා ඒවැයින් කරන්න පුළුවන් වීඩියෝස් බල බල යනකොට ඊලඟට හම්බුවෙන්නේ, අහක දාන පරණ ඩෙනිමකින් කොහොමද බෑග් එකක් හදාගන්නේ කියලා වීඩියෝ එකක් වෙන්න පුළුවන්!

 

 

 

7. Junk Journal ideas

බෙස්ට් චැනල් ෆෝ ද ලාස්ට්! අපේ ප්‍රියතම චැනල් එක තමයි අපි අන්තිමටම තියාගත්තේ. දැන් අපි ගොඩක් දෙනෙක් ඔය නෝට් පොත් වලට, ජර්නල් වලට ආසයිනේ. ඇත්තටම ඒවැයි අපි ලොකුවට දේවල් ලියන්නෙ කරන්නෙ නැති වුණත්, ඒවා එකතු කරන්න අපි ආසයි. හැබැයි කඩෙන් ගත්තු ප්‍රින්ටඩ් නෝට්බුක් හෝ ජර්නල් වලට වඩා, අපිටම ගෙදර නෝට්බුක් හෝ ජර්නල් බොහොම නිර්මාණශීලී විදියට හදාගන්න බැරිද? පුළුවන්. විශේෂයෙන්ම අහක දානා දේවලින්, බොහොම විශේෂ ආකාරයේ නෝට්බුක්, ජර්නල්, කාඩ්ස් වගේ දේවල් හදන විදිය කියලා දෙන යූටියුබ් චැනල් එකක් තමයි Junk Journal ideas කියන්නේ. මේකේ තියෙන අයිඩියාස් පොඩ්ඩක් බැලුවා නං, ආයෙ කවදාවත් කෙනෙක්ට කාඩ් එකක් දෙන්නවත් කඩෙන් කාඩ් ගන්න යන්න හිතෙන්නෙ නෑ. ගෙදරම හදන්න පුළුවන්. ඒ තරමට මේකේ තියෙන අයිඩියාස් ඉන්ටරෙස්ටින්ග්.

 

 

 

එහෙමනම් මොකද කියන්නේ? අදම අළුත් අප්සයික්ලින් විනෝදාංශය පටන් ගමුද? මේක තමන්ට ආසාවට දේවල් නිර්මාණය කරන විනෝදාංශයක් විදියට පටන් ගත්තට, බොහොම ලේසියෙන් ආදායම් මාර්ගයක් බවට හරවගන්නත් පුළුවන් කියලා අමතක කරන්න එපා!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *