කවදා හරි ප්‍රයෝජනයක් වෙන්න නියමිත සර්වයිවල් ස්කිල්ස් (Survival Skills) කීපයක් ඉගෙන ගනිමුද?

Survival Skills කියලා කියන්නේ කවදාහරි ජීවිතේ රැකගන්න උදවු වෙන තාලේ කුසලතාවයන් වලට. උදාහරණයක් විදියට අපි හිතමු ඔන්න අපි කැලේක අතරමං වෙනවා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන ගිණිමැලයක් ගහගන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් බේරිලා ඉන්න තැනක් හොයාගන්න. එතකොට වතුර හොයාගන්න. වතුර නිකම්ම හොයාගත්තත් බෑ. එහෙම නිකම්ම තියෙන වතුර බිව්වොත් දන්නෙ නැති බැක්ටීරියා ආසාදන අනං මනං එන්න පුළුවන්. සෞඛ්‍යාරක්ෂිත විදියට කොහොමද ඒක කරන්නෙ කියලා දැනගන්න ඕන. මෙන්න මෙව්වා තමයි ඔය සර්වයිවල් ස්කිල්ස් කියන්නේ. හැබැයි ඒවා අපිට ප්‍රයෝජනවත් වෙන්නේ මෙහෙම ජීවිතේ බේරගන්න අවස්ථාවන් වලදීම විතරක් නෙවෙයි. උදාහරණයක් විදියට කිවුවොත්, අපි විවිධ ගැට වර්ග ගැන දැනගෙන ඉන්න එකේ ප්‍රයෝජනය ඕනෑම මොහොතක ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි හිතුවා, එහෙම අවස්ථාවක ප්‍රයෝජනයක් වෙන විදියේ සර්වයිවල් ස්කිල්ස් කීපයක් හඳුන්වලා දෙන්න.

 

1. ගැට

සාමාන්‍යයෙන් අපේ එදිනෙදා කටයුතු ගත්තත්, මේ ගැට කියන එක ඉතාම වැදගත් තැනක් ගන්නවා. හා නැද්ද? රෙදි වැලක් බඳින්න වුණහම අපිට ගැට අවශ්‍ය වෙනවා. කඹයක් වතුර බාල්දියේ බඳින්න ගැට අවශ්‍ය වෙනවා. සපත්තුවේ ලේස් ගැටගහන්නත් ගැට අවශ්‍ය වෙනවා. මේ වගේ ගැට ගැසීම් අවශ්‍ය වෙන අවස්ථාවන් සෑහෙන්න ප්‍රමාණයක් ලැයිස්තුගත කරන්න පුළුවන්. හැබැයි අපි හැමෝම දන්න විදියට එක ගැටයයි, ගැට දෙකයි සිස්ටම් එක, මේ හැම අවස්ථාවකටම හරියන්නෙ නෑ. උදාහරණ විදියට කිවුවොත්, සමහර ගැට හිර නොවෙන්න ඕන, ඒත් ලණුව ගැලවිලා නොඑන්නත් ඕන. තවත් සමහර ගැට හිරට තිබුණට ඉතාම පහසුවෙන් ලිහාගන්න පුළුවන් වෙන්න ඕන. තවත් සමහර ගැට දෙන්නෙක් තුන්දෙනෙක් එකතුවෙලා ට්‍රයි කළත් ලිහාගන්න බැරි වෙන්න ඕන. ඉතින් මේ විවිධ අවශ්‍යතාවයන්ට අනුව විවිධ ගැට වර්ග තියෙනවා. ආන්න එව්වයින් මූලික ගැට වර්ග හෝ ඉගෙනගෙන ඉන්න එක වටිනවා. 

 

2. මූලික ප්‍රථමාධාර

මේකත් යන්නේ සර්වයිවල් ස්කිල් එකක් විදියට තමයි. දැන් ඔය ප්‍රථමාධාර කිව්වහම ගොඩක් දෙනෙක් දන්නේ පැනඩෝල් දෙකක් දෙන්න, සිද්ධාලේප ඩිංගක් අතුල්ලන්න, වැඩිම වුණොත් අර ඩෙටෝල් ප්ලාස්ටරයක් දාගන්න තමයි. හැබැයි මූලික ප්‍රථමාධාර කිව්වහම එතනින් එහාට තව දේවල් තියෙනවා. ඒ කියන්නේ තමන්ට හරි වෙන කාට හරි ටිකක් ලොකු තුවාලයක් වුණොත්, ඒ තුවාලේ පිරිසිදු කරලා, බෙහෙත් දාලා හොඳින් ප්ලාස්ටර් කරන එක ඉගෙන ගන්න ඕන. එතකොට සිහිය නැතිවෙලා ඉන්න කෙනෙක්ට කොහොමද ප්‍රථමාධාර දෙන්නේ කියලා ඉගෙන ගන්න ඕන. විජලනයට කොහොමද ප්‍රතිකාර කරන්නේ, පාචන තත්ත්වයක් ආවොත් මොකද කරන්නේ වගේ දේවල් දැනගන්න ඕන. එහෙම එව්වා විතරක් නෙවෙයි, කෙනෙක්ගේ හදවතට රුධිර සැපයුම නතර වෙලා, ඒ කියන්නේ කාඩියැක් ඇරෙස්ට් එකකට ගිහින් මැරෙන්න යනකොට CPR දෙන්නේ කොහොමද වගේ එව්වත් හරි නම් මේ ප්‍රථමාධාර වලදිම ඉගෙන ගන්න ඕන දේවල්. 

 

4. ගිනි ඇවිලීම

සමහරුන්ට නම් ඉතින් සංකේතාත්මක ගිනි ඇවිලීම් ගැන හොඳ පුරුද්දක් තියෙන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ ඒ ගැන නෙවෙයි, ඇත්තටම ගිනි පත්තුකිරීම ගැන. දැන් ගින්දර කියන්නේ හානිදායක වෙන්න පුළුවන් දෙයක් වුණත්, ඇත්තටම මිනිසාගේ මිතුරෙක්. අපිට කෑමක් හදාගන්නත් ගින්දර ඕනේ, වතුර ටිකක් රත් කරගන්නත් ගින්දර ඕනේ. උණුසුම ලබාගන්නත් ගින්දර ඕනේ. ගෙදර ඉන්නකොට නම් මේ ගින්දර ලබාගන්නවා කියන්නේ සිම්පල් වැඩක්. හැබැයි අපි කිසිම හවුහරණක් නැති ඝන කැලේක එහෙම අතරමං වුණොත් කොහොමද ගින්දර ලබාගන්නේ? ආන්න ඒ නිසා කොහොමද සුළං ආදියෙන් නිවෙන්නෙ නැති විදියට ගින්නක් අවුළුවා ගන්න තැනක් සකස් කරගන්නේ, ගිනි අවුළුවන්න යෝග්‍ය දේවල් මොනවද, අතේ ගිනිපෙට්ටියක් හෝ ඒ වගේ දෙයක් නැති නම් කොහොමද ගිනි අවුළුවා ගන්නේ, ඊට පස්සේ ඒ ගින්න ආරක්ෂිතව කොහොමද නිවන්නේ කියන කාරණා අපි ඉගෙන ගත යුතුයි.

 

4. වතුර හොයාගෙන බොමු

අපි ඔය අතරමං වෙනවා වගේ සීන් පොත් වල, ෆිල්ම් වල විතරක් දකින නිසා, ඒ තරම් හිතන්නෙ නෑ. හැබැයි ඉතින් ඒවා අපිට වුණත් වෙන්න බැරි දේවල් නෙවෙයිනේ. ආන්න ඒ නිසා එහෙම දේකදී ජීවිතය ගලවා ගන්න ක්‍රම සහ විධි දැනගෙන ඉන්න ඕන. එයින් එකක් තමයි වතුර හොයාගන්න එක. මොකද කෑම නැතුව දින කීපයක් ජීවත් වෙන්න පුළුවන් වුණත්, වතුර නැතුව ඒ තරම් අල්ලගෙන ඉන්න ලැබෙන්නෙ නැති නිසා. සාමාන්‍යයෙන් අපි ඔය හයික් එකක් එහෙම ගිහින් අතරමං වුණොත්, පහසුවෙන්ම වතුර ලබාගන්න පුළුවන් ගලාගෙන යන වතුර පාරවල් වලින් තමයි. සාමාන්‍යයෙන් සරුසාර ගස් කොළං කියන්නේ වතුර ලඟපාත තියෙන බවට සංඥාවක්. සත්තුන්ගෙන් අඩි පාරවල් වලිනුත් වතුර පාරවල් හොයාගන්න පුළුවන්. වතුර ගලාබසින්නේ උස් බිමක ඉඳලා පහත් බිමකට කියන එකත් මෙතනදී මතක තියාගන්න ඕන.

 

හැබැයි තව එකක්. වතුර හොයාගත්තු ගමන් සත්තු වගේ ඒකට කට තියලා බොන්න යන්න එපා. නොදන්න ආසාදන ඇතිවෙන්න පුළුවන්. වතුර උණුකරලා බොන්න. නැතිනම් වතුර පිරිසිදු කරන දෙයක් පාවිච්චි කරන්න.

 

5. ඉන්න තැනක් හදාගමු

කවදා හරි කෑම්පින්ග් කරලා තියෙනවද? ඒ කියන්නේ අර ටෙන්ට් ගහලා ලස්සනට තියෙන කෑම්පින් සයිට් එකකට ගිහින් ඉන්න එක නෙවෙයි. තමන්ම ටෙන්ට් අරගෙන ගිහින්, ටෙන්ට් එක ගහලා කෑම්පින්ග් කරලා තියෙනවද? එහෙම කරලා තියෙනව නම් දන්නවා ඇති, ටෙන්ට් එකක් හරියට ගහන එකත් ඉගෙන ගන්න ඕන ආට් එකක් කියලා. 

 

ඒ විතරක් නෙවෙයි, අපි බැරිවෙලාවත් කැලේක එහෙම අතරමං වුණොත්, තාවකාලිකව ඉන්න තැනක් අවට තියෙන දේවලින් අටවගන්න එකත් සර්වයිවල් ස්කිල් එකක්. ඒකට ගොඩක් වෙලාවට අවට තියෙන ලී දඬු, වැල්, කොළ අනං මනං යොදාගන්න පුළුවන්. වඩාත් ආරක්ෂිතව ගහක් උඩ වුණත් ලී දඬු දෙකක් කරුවක දෙපැත්තේ බැඳලා, ඒ මැද්දේ තාවකාලිකව රාත්‍රිය ගත කරන්න තැනක් හදාගන්න පුළුවන්.

 

6. පිහියක් පාවිච්චි කරමු

දැන් ඔය කෑම්පින් යනකොට එහෙම සමහරු දඩයම් පිහි එහෙම අරගෙන ගියත්, එහෙම පිහියකින් ගොඩක් අය ගන්න ප්‍රයෝජනේ ඇපල් කෑල්ලක් වගේ කපාගන්න එක තමයි. හැබැයි ප්‍රායෝගික ජීවිතේදී පිහියකින් සැලසෙන ප්‍රයෝජන දහසකුත් එකක් තියෙනවා. ඒකට හන්ටින්ග් පිහියක් වෙන්න ඕන නෑ. සාක්කුවේ නිතර දාගෙන යන දුනුපිහිය වුණත් ප්‍රයෝජනවත්.

 

ගෙදරදී වුණත් ඔය සෙලෝටේප් කරපු පැකේජ් එකක් ලිහා ගන්න, ලණුවක් කපා ගන්න වගේ දේකට ඔය දුනුපිහිය ප්‍රයෝජනවත්. එතකොට මොකක් හරි දෙයක් හිල් කරගන්න වගේ දේකටත් තියුණු උලක් තියෙන දුනුපිහියක් ප්‍රයෝජනවත්. ඒ විතරක්ද? හදිසියේ වාහනේ වතුරකට එහෙම වැටුණොත්, නැතිනම් හදිසි අනතුරකට ලක් වුණොත්, සීට් බෙල්ට් කපන්න පවා දුනුපිහිය ප්‍රයෝජනවත්. ඉතින් මේ විදියට පිහියක් පාවිච්චි කරන්න පුළුවන් ආකාර ඉගෙන ගෙන ඉන්න එක වටිනවා.

 

7. මාලිමාව සහ සිතියම් පාවිච්චිය

මේක ඇත්තටම ලොස්ට් ආට් එකක්. ඉස්සර ජීපීඑස්, ස්මාට්ෆෝන් නැති කාලෙත් මිනිස්සු පාරවල් හොයාගෙන ගමන් ගියානේ. එතකොට නං සිතියමක් සහ කොම්පාසුවක් නැතිනම් මාලිමාවක් තියෙන එක සෑහෙන්න වටිනවා. ඒත් තවදුරටත් මිනිස්සු ඒවැයින් ප්‍රයෝජන ගන්නෙ නෑ. මොකද, ස්මාට්ෆෝන් එකේ රියල් ටයිම් අප්ඩේට් වෙන මැප් එක පෙන්නන නිසා, ඒකේ පහසුවට ඇබ්බැහි වෙලා. ඒත් අපිට සංචාරයකදී එහෙම ෆෝන් චාර්ජ් කරගන්න තැන් නැතිව, යන එන මං හොයාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මැප් එකකටයි කොම්පස් එකකටයි චාර්ජ් අවශ්‍ය නෑ. සූදානම් ශරීරේ කියලා සිතියමකුයි කොම්පාසුවකුයි ගෙනියන්නත් පුළුවන්. හැබැයි ඒ එක්කම කොම්පාසුව ආධාරයෙන් සිතියම් කියවන්නත් ඉගෙන ගන්න ඕන. 

 

දැන් පැහැදිළියි නේද මේ සමහර පැවැත්ම සඳහා අවශ්‍ය කුසලතා කැලේක අතරමං වෙනවා වගේ විශේෂිත අවස්ථාවකට විතරක් වැදගත් වුණත්, තවත් සමහර කුසලතා ගෙදරක ඉන්නකොට වුණත් එදිනෙදා ජීවිතේට වැදගත් වෙනවා කියලා? අන්න ඒ නිසා තමයි මේ කුසලතා දැනගෙන ඉන්න එක ජීවිතේට වැදගත් වෙන්නේ. මේ අපි ලැයිස්තු ගත කළේ සර්වයිවින්ග් ස්කිල්ස් විදියට ගන්න පුළුවන් පොදු ඒවා කීපයක් විතරයි. තව සෑහෙන්න දේවල් තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *