භූතානය ගැන තොරතුරු දැනගනිමු

සමාජ මාධ්‍ය ජාලාවල භූතානය ගැන විශිෂ්ට ගණයේ කුඩා කුඩා පෝස්ට් සංසරණය වන බව ඔබ දැකලා ඇති. ඉන්දියාවට සහ චීනයට අතර මැදි වෙලා හිමාල කඳු පන්තිය තුළ පිහිටා තිබෙන මේ කුඩා රාජ්‍යය අද වෙනකොට ලෝකයේම ප්‍රකට රාජ්‍යයක් බවට පත්වෙලා තියෙනවා. අපි අද ඔබට ඒ රාජ්‍යයේ වගතුග ගැන කියන්නයි යන්නේ. භූතානයේ සමහර ප්‍රතිපත්ති අපේ රටටත් අතිශයින්ම වැදගත් බව නොකියාම බැහැ.

 

1. භූතානයේ සුවිශේෂී සංචාරක ප්‍රතිපත්තිය

කිසිදු නීති රීතියකින් තොරව සංචාරකයන් සිය රටට ඇදී ඒම මගින් තමන්ගේ රටේ සංස්කෘතියට සහ වටිනාකම් වලට හානි සිදු විය හැකි බව භූතාන වැසියන් සහ පාලකයන් හඳුනාගෙන තිබෙනවා. මේ නිසා ඔවුන් ඔවුන්ටම අනන්‍ය වූ සංචාරක ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබෙනවා. මෙම ප්‍රතිපත්තිය හැඳින්වෙන්නේ වැඩි අගයක් අඩු බලපෑමක් සහිත සංචාරක ප්‍රතිපත්තිය ලෙසයි. භූතානයට පැමිණීම සඳහා විදේශීය සංචාරකයන්ට විශේෂ මුදලක් ගෙවීමට සිද්ධ වෙනවා. භූතානය තුළ රැයක් ගත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 200ක මුදලක් සංචාරකයෙකු විසින් අනිවාර්යයෙන්ම ගෙවිය යුතු වෙනවා. වැඩි වශයෙන් සංචාරකයන් ඇදී යන වකවානුවකදී මෙම අගය ඇමෙරිකානු ඩොලර් 250 ක් දක්වා ඉහළ යනවා. මේ නිසා භූතානය තුළ සංචාරය කිරීමට අඩු ආදායම්ලාභී සංචාරකයෙකුට අවස්ථාව ලැබෙන්නේ අල්ප වශයෙන්. නමුත් මේ ගෙවීම සඳහා ඉඳුම් හිටුම්, ආහාර සහ සංචාරක මග පෙන්වන්නෙකුද ඇතුළත් වෙනවා.

 

2. මිහිබට පාරාදීසය

භූතානය 1970 දක්වා බාහිර සංචාරකයන් සඳහා විවෘත වූයේ නැහැ. මේ නිසාම අද දක්වාම සංචාරකයන් භූතානය තුළ පවතින නොයිඳුල් සංස්කෘතික වටිනාකම් පිළිබඳව අතිශයින් විශ්මයට පත් වනවා. යම් දිනක ඔබ භූතානය කරා ගියහොත් හිමෙන් වැසී ගිය කඳු මුදුන් සහ සදාහරිත වන වැස්මෙන් වැසුණු නිම්න පද්ධතිය දැක ඊට දැඩි ලෙස ඇලුම් කරනවා නොඅනුමානයි. ඒ වගේම භූතාන වැසියන් අතිශයින්ම මිත්‍රශීලී ජනකායක් වන අතර ඔවුන්ගේ ආගන්තුක සත්කාරයත් ඉහළ මට්ටමේ පවතිනවා.

 

3. ජාතික සන්තුෂ්ටි දර්ශකය

භූතානය සම්මත ක්‍රමයට අනුව ආසියාවේ ඌණ සංවර්ධිත රටක් ලෙස හැඳින්වුවත් භූතාන ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදනයට වඩා ජාතික සංතුෂ්ටි දර්ශකය ලෙස හැඳින්වෙන දර්ශකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. ඒ සඳහා ඔවුන් පාදක කරගන්නේ හුදු ධනවත් වීමෙන් පමණක් කිසිදු පුද්ගලයෙකු සන්තුෂ්ටියට පත් නොවන බවයි. මෙම දර්ශකය හඳුන්වාදීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ භූතානයේ හතරවෙනි රජු වන ජිංග්මේ සිංග්යේ වංග්චුක්ය. මෙම දර්ශකය මැනීම සඳහා කාරණා හතරක් භාවිතා කරනවා. ඒවා වන්නේ තිරසර සමාජ ආර්ථික දියුණුව, පරිසරය ආරක්ෂා කර ගැනීම, සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සහ යහපත් පාලන ක්‍රමයයි. භූතානයේ මේ දර්ශකය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද පිළිගැනුණු අතර සිය සාමාජික රටවලටද අදාළ දර්ශකය මිනුම් ඒකකයක් ලෙස භාවිතා කළ යුතු බවට නිර්දේශ කරනු ලැබුවා.

 

4. නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය

ආසියාවේ ඌණ සංවර්ධිත රටක් ලෙස හැඳින්වුවද භූතාන රජය මගින් එරට සියළුම වැසියන්ට මූලික අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා නොමිලයේ ලබා දෙනවා. අධ්‍යාපනය ලැබීම රටවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස සැළකෙන අතර රටක් ලෙස සමාජ, ආර්ථික ඉලක්ක කරා යෑමේ දී එය වැදගත් තැනක් ගන්නා බව භූතාන රජය විශ්වාස කරනු ලබනවා. එපමණක් නොව පෙළපොත් පවා නොමිලේ ලබා දීම රජය මගින් සිදු කරනු ලබනවා.

 

5. කාබන් උරා ගන්නා රට

භූතානයේ සමස්ත බිම් ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක්ම වන වැස්මෙන් වැසී ඇති අතර එරට ව්‍යවස්ථාව මගින්ම රටෙන් සීයට හැටක් වනාන්තර පද්ධතියක් ලෙස තිබිය යුතු බව සනාථ කොට තිබෙනවා. මේ නිසාම ලොව අනෙකුත් රටවල් සිය කාබන විමෝචනය අඩු කිරීමට දැඩි උත්සාහයක් ගනිද්දී භූතානය කාබන් විමෝචනය ශුන්‍යය කිරීමෙන් පමණක් නොනැවතී කාබන් විමෝචනය ඍණ අගයක් දක්වා ගෙන ඒමට සමත්ව තිබෙනවා. ඉන් අදහස් කරන්නේ භූතානය මගින් වායුගෝලයට නිකුත් කෙරෙන කාබන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රටේ වන වැස්ම මගින් උරා ගන්නා බවයි.

 

6. මාර්ග සංඥා එළි නැති රට

භූතානයේ මහා මාර්ග වල මාර්ග සංඥා එළි නොමැතිවීම එරට තුළ පවතින තවත් විශේෂත්වයක්. එරට අගනුවර වන තිම්පු නුවර පවා මාර්ග සංඥා එළි ඇත්තේ නැහැ. ඊට හේතුව වන්නේ භූතානය තුළ කිසිසේත්ම මාර්ග තදබදයක් ඇති නොවීම සහ මංසන්ධිවල පොලිස් නිලධාරීන් සිටීම පමණක් ප්‍රමාණවත් වන බව භූතාන වැසියන් විසින් විශ්වාස කිරීමයි. ඇතැම් සටහන් වලට අනුව තිම්පු නගරයේ වරක් මාර්ග සංඥා එළි පද්ධතියක් හඳුන්වාදීමට උත්සාහ කොට ඇති අතර නගර වැසියන් විසින් එය අශෝභන දර්ශනයක් බවට සඳහන් කරමින් එය ඉවත් කොට පොලිස් නිලධාරියකු ඒ සඳහා යොමු කරන ලෙස ඉල්ලා තිබෙනවා.

 

7. තරණය නොකළ කන්ද

ලෝකයේ මෙතෙක් කිසිවකු විසින් තරණය නොකළ උසම කන්ද පවතින්නේ භූතානය තුළයි. ලෝකයේ හතළිස්වැනි උසම කන්ද වන ගංග්කාර් පුඑන්සෙම් (Kangkar Pünzum) වන මෙය උසින් මීටර් 7,570ක් පමණ වනවා. භූතාන – චීන දේශ සීමාවේ පිහිටා ඇති මෙම කන්ද තරණය කිරීමට අතීතයේ දී විවිධ කණ්ඩායම් උත්සාහ කර තිබුණත් එය සාර්ථක වුණේ නැහැ. 1994 දී භූතාන රජය මගින් මීටර් 6000ට වඩා වැඩි කඳු තරණය කිරීම තහනම් කිරීමට කටයුතු කළේ දේශීය ජන ඇදහිලි වලට ගරු කරමින්. මේ නිසා අද දක්වාම ගංග්කාර් පුඑන්සෙම් කන්ද මතට කිසිවෙකු නැගීමට සමත්ව නැහැ.

 

මේ ලිපිය සඳහා භූතානය පිළිබඳව අපිට ගොනුකිරීමට ලැබුණේ තොරතුරු කීපයක් පමණයි. ඉදිරියේදී අපි තවත් ලිපි කිහිපයක් භූතානය පිළිබඳව ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *