බටහිර සංගීතඥයන් අතර විශිෂ්ටයා – මෝසාර්ට්

සම්භාව්‍ය බටහිර සංගීතයට ඇලුම් කරන පුද්ගලයින්ට නම් මොසාට් කියන නම නුහුරු නුපුරුදු නමක් නෙමෙයි. මේ ලිපිය කියවන ඔයා යම් විදිහකින් මොසාට් ගැන දන්නේ නැත්නම් යූටියුබ් එකේ මොසාට් (Mozart) කියන නම පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඒ සංගීතයේ මිහිරියාවෙන් ඔබ අනිවාර්යයෙන්ම මුසපත් වේවි. අපි අද කතා කරන්න යන්නේ මොසාට්ගේ සංගීත ජීවිතයේ සුවිශේෂීතා ගැන නම් නෙමෙයි. මොකද ඒක ලිපියකින් කරන්න අමාරු වැඩක්. ඒ නිසා අපි හිතුවා මොසාට්ගේ ජීවිතයේ රසබර තොරතුරු කීපයක් ඔබ වෙතට ගෙන එන්න.

 

1. මොසාට්ගේ ආගම

බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මොසාට් කියන්නේ බැතිමත් කතෝලිකයකු කියලා. මේ කතාව සීයට සීයක් ඇත්ත නෙමෙයි. දැනට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව, අවම වශයෙන් 1784 පමණ වන විට මොසාට් ෆ්‍රී මේසන් (Freemson) ව්‍යාපාරයේ සාමාජිකයෙකු බවට පත් වී තිබෙනවා (ෆ්‍රී මේසන් කියන සංකල්පය ගැන ඔබ වැඩිදුරටත් දන්නෙ නැත්නම්, දැනට පොඩ්ඩක් අන්තර්ජාලය පීරලා බලන්න, ඉදිරියේදී අපි ඒ ගැනත් ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා). මීට වඩා සරළව කිව්වොත් එහෙම ඩාවින්සි කෝඩ් නවකතාව කියවපු අයට ඉලුමිනාටි ව්‍යාපාරය ගැන දැනුමක් ඇති. මේ අපි කියන්නේ මොසාටුත් ඒ වගේ ව්‍යාපාරයක සාමාජිකයෙක් කියලායි. එම ව්‍යාපාරයේ ඇදහීම් වල ලක්ෂණ මොසාට්ගේ සංගීත නිර්මාණ වලටත් පිවිසිලා තියෙන බව තමයි මේ පිළිබඳව ගවේෂණය කරපු විද්වතුන් පවසන්නේ.

 

2. මොසාට්ගේ නොගැළපෙන විහිළු

දැනට හෙළිවෙලා තියෙන කරුණු වලට අනුව කොතරම් විශිෂ්ටයෙකු වුණත් මොසාට් විහිළු කරද්දි ඒ විහිළු වල ස්වභාවය ගැන කිසිදු අවධානයක් යොමු කරලා නැහැලු. සරළවම කියනවා නම් ඒවා ඉතාමත්ම පහත් මට්ටමේ විහිළු. එක්තරා අවස්ථාවක තමන්ගේ ඥාතියෙකුට ලියූ ලිපියක තමන්ට අදාළ පුද්ගලයාගේ මුහුණේ මළපහ කිරීමට අවශ්‍ය බව මොසාට් විහිළුවට මෙන් සඳහන් කර තිබෙනවා. මේ ලිපි අධ්‍යයනය කරන පිරිස් නම් පවසන්නේ මොසාට් තුළ සැඟවුණු මානසික අසමතුලිතතාව මේ ලිපිවල සඳහන් වන නොගැළපෙන විහිළු මගින් නිරූපණය වන බවයි.

 

3. පිය උරුමයෙන් ලද සංගීතමය ජාන

මොසාට්‍ අත්පත් කරගත් විශිෂ්ටත්වයට එක්තරා පුද්ගලයෙකුගේ බලපෑම වැඩි වශයෙන් දායක වූ බව අවිවාදයෙන්ම පිළිගැනෙනවා. ඒ තමයි ඔහුගේ පියා වුණු ලියෝපෝල්ඩ්. සංගීතඥයකු වූ ඔහු විසින් මොසාට්ට වයස අවුරුදු තුන පමණ වන විට පියානෝ වාදනය පුරුදු පුහුණු කළ අතර එහි ප්‍රතිඵලය වූයේ වයස අවුරුදු පහ පමණ වන විට මොසාට් එහි ප්‍රවීණයකු බවට පත්වීමයි. ලියෝපෝල්ඩ්ගේ මේ පෙළඹවීම අද වන විට විවේචනයට ලක් වන අතර ඇතැම් පාර්ශව නම් පවසන්නේ දක්ෂතා සහිත ඕනෑම දරුවකුගේ දෙමව්පියෙකුගේ හැසිරීමෙන් ලියෝපෝල්ඩ්ගේ හැසිරීම වෙනස් නොවන බවයි.

 

4. මොසාට්ගේ සහෝදරිය

ලියෝපෝල්ඩ්ට දරුවන් හත් දෙනෙකු ලැබුණු අතර ඒ අතරින් පස් දෙනෙකුම ළමා වියේදීම මරණයට පත් වුණා. ඉතිරි වූයේ මොසාට් සහ මාරියා ඇනා නම් දියණිය පමණයි. මාරියාද දක්ෂ පියානෝ වාදිකාවක වූ අතර මුල් කාලයේ දී කුඩා මොසාර්ට් සමඟ ඇයද යුරෝපය පුරා සංචාර සඳහා සහභාගී වුණා. ඇතැම් අය විශ්වාස කරන පරිදි මොසාට්ටත් වඩා මාරියා දක්ෂ දැරියක්. නමුත් අවාසනාවකට මෙන් ගැහැණු දැරියක වීම නිසාම ඇයට ඇයගේ සංගීත හැකියාවන්වලින් ඉදිරියට යෑමේ අවස්ථාව ලැබුණේ නැහැ. එකල පැවති සම්ප්‍රදායට අනුව නිසි වයසට එළඹීමෙන් පසුව ඇයව විවාහ කර දුන් අතර ඉන්පසුව සංගීත දිවියට ආයුබෝවන් කියා ඇයට පවුලේ වැඩකටයුතු වලට මුල්තැන දීමට සිදුවුණා.

 

5. බිලියඩ් ක්‍රීඩාවට ප්‍රිය කළ මොසාට්

තමන්ට ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම බිලියඩ් ක්‍රීඩාවේ යෙදීමට මොසාට් දැඩි ලෙස ප්‍රිය කරනු ලැබුවා. ඔහුගේ සමකාලීනයන් පවසන ආකාරයට බිලියඩ් ක්‍රීඩාවේ යෙදෙන අතරතුරදී පවා විවිධ වර්ගයේ තනු මිමිණීම මොසාට් විසින් සිදුකළ අතර මදකට ක්‍රීඩා නතර කරන ඔහු එම තනුව සටහන් කොට යළිත් ක්‍රීඩාව ආරම්භ කරන්නට පුරුදුව සිට තිබෙනවා.

 

6. මොසාට්ගේ අවසාන සංගීත නිර්මාණය

අවමංගල්‍ය උත්සවයක් සඳහා වන ශෝකජනක සංගීත නිර්මාණයක් මොසාට්ගේ අවසාන සංගීතය නිර්මාණය බවට පත් වුණා. ඒ හා සම්බන්ධයෙන් බැඳී තිබෙන කතා ප්‍රවෘත්ති වල කියවෙන විදිහට එක්තරා වංශාධිපතිවරයෙකු සිය බිරිඳගේ අවමංගල්‍ය උත්සවය සඳහා තමයි මේ සංගීත නිර්මාණය සිදු කරන්න කියලා ඉල්ලලා තියෙන්නේ. නමුත් අවාසනාවකට වගේ මොසාට්ගේ මරණය දක්වාම එය නිමා කර ගැනීමට ඔහුට නොහැකි වුණා. අවසානයේ දී මොසාට්ගේ තවත් ගෝලයෙකු විසින් මෙම නිර්මාණය සම්පූර්ණ කළ අතර එය වාදනය කෙරුණේ මොසාට්ගේ අවමංගල්‍යය උත්සවය සඳහායි.

 

7. මොසාට් නිදන තැන

ලෝකයේ බිහිවුණු විශේෂ සංගීතඥයෙකු වුණත් මොසාට්ගේ දේහය වළ දැමුණු ස්ථානය කුමක්ද යන්න පිළිබඳව කිසිදු එකඟතාවයක් පවතින්නේ නැහැ. එවකට පැවති සම්ප්‍රදාය අනුව එම ස්ථානයේ සොහොන් කොතක් සෑදීම සිදුනොවීම නිසා කිසිවෙකුට එම ස්ථානය කුමක්ද යන්න පිළිබඳව නිශ්චිතව අදහස් දැක්වීමක් කරන්න අපහසුයි. නමුත් ඔහුගේ දේහය ශාන්ත මාක් සුසාන භූමියේ වන බව නම් නිසැක බව බලධාරීන් පවසනවා. මේ නිසා දැනට සුසාන භූමියේ තැනක ස්මාරකයක් ඉදි කොට තිබෙනවා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *