කළුකුම් මස් (Turkey) යොදාගෙන රසට හදන්න පුළුවන් කෑ​ම

ටර්කි එහෙමත් නැත්තන් කළුකුම් මස් කියන්නෙ ගොඩක් රස ආහාරයක්. ගොඩක් වෙලාවට ක්‍රිස්මස් කාලෙට තමා ටර්කි රෙසිපි ඕන වෙන්නෙ. මේක හදන ගොඩක් විදි තියනවා. ඔයාලා ආසම විදියට මේ ටර්කි හදාගන්න පුළුවන් ක්‍රම 5ක් අද අරගෙන ආවා. බලන්න මේවා වටිනවද කියලා. 

 

1. කළුකුම් මසාලා (Turkey masala) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් ටර්කි ග්‍රෑම් 300
  2. ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
  3. රස අනුව ලුණු
  4. කහකුඩු තේ හැඳි 1/2
  5. මුදවපු කිරි මේස හැඳි 3
  6. තෙල් ටිකක් 
  7. චොප්කරගත් ළූණු ගෙඩි 2
  8. කපාගත් අමුමිරිස් කරල් 1
  9. චොප්කරගත් තක්කාලි ගෙඩි 1
  10. ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
  11. ගරම් මසාලා මේස හැඳි 1/2

 

  • ටර්කි වලට ඉඟුරු සුදුළූණු පේස්ට්, කහකුඩු, ලුණු හා මුදවපු කිරි දාලා හොඳට කලවම් කරගන්න. මේක පැයක් මැරිනේට් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා ළූණු ටික දාගන්න. ළූණු ටික මැලවෙනකොට කපාගත් අමුමිරිස් ටික දාගන්න. ටිකකින් මැරිනේට් කරගත් ටර්කි ටික දාගන්න. ඊළඟට තක්කාලි ටික දාගන්න. 
  • හොඳට කලවම් කරලා වහලා විනාඩි 20ක් විතර පිසගන්න. සැරෙන් සැරේ ඇරලා හොඳට හැඳිගාන්න. ටර්කි ටික හොඳට තැම්බුනාම ගම්මිරිස්කුඩු හා ගරම් මසාලා ටික දාගන්න. විනාඩි දෙකක් වගේ ලිපේ තියල බාගන්න.

 

2. බේක් කරගත් ටර්කි වින්ග්ස් (Baked Turkey Wings) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සෝදාගත් ටර්කි වින්ග්ස් 7-8
  2. ඔලිව්තෙල් ටිකක් 
  3. චොප්කරගත් ඉඟුරු සුදුළූණු ටිකක් 
  4. මිරිස්කුඩු තේ හැඳි 2
  5. කෑලිමිරිස් තේ හැඳි 1
  6. තුනපහකුඩු තේ හැඳි 1
  7. චොප්කරගත් පාස්ලි ටිකක් 
  8. ලුණු හා ගම්මිරිස්කුඩු 
  9. වියළි තයිම් ටිකක් 
  10. චොප්කරගත් රතුළූණු ගෙඩි 2
  11. සීසනින් පව්ඩර් මේස හැඳි 1/2

 

  • වින්ග්ස් වලට ඔලිව්තෙල් දාලා කලවම් කරන්න. ඊළඟට මේ සියල්ලම දාලා හොඳට කලවම් කරලා පැය 1/2ක් මැරිනේට් කරගන්න. 
  • මේක ට්‍රේ එකක අතුරලා ෆොයිල් එකකින් කවර් කරලා සෙල්සියස් 180° ට පැයක් වගේ බේක් කරගන්න. 

 

3. ටර්කි පෙපර් ෆ්‍රයි (Turkey Pepper Fry) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් ටර්කි ග්‍රෑම් 500
  2. චොප්කරගත් ළූණු ගෙඩි 3
  3. කරපිංචා ටිකක් 
  4. කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
  5. සූදුරු තේ හැඳි 1
  6. තුනපහකුඩු තේ හැඳි 1
  7. කහකුඩු තේ හැඳි 1/2
  8. එනසාල් ඇට 2
  9. කරාබුනැටි 2
  10. ස්ටාර් අනීස් 1
  11. කුරුඳුපොතු කෑල්ලක්
  12. ගම්මිරිස් ඇට තේ හැඳි 1
  13. ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
  14. තෙල් ටිකක් 

 

  • සූදුරු, ගම්මිරිස් ඇට වෙන වෙනම කබලෙ බැදගෙන කුඩු කරගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට එනසාල්, කරාබුනැටි, කුරුඳුපොතු ටික දාගන්න. 
  • මේ ටික ෆ්‍රයි වෙනකොට චොප්කරගත් ළූණු ටික දාගන්න. ඊළඟට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න. දැන් මේකට කපාගත් ටර්කි ටික දාලා කලවම් කරගන්න. 
  • මේකට කොත්තමල්ලි කුඩු, කහකුඩු, තුනපහ කුඩු, බැදගත් සූදුරු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. මේකට කරපිංචා ටිකත් දාගන්න. රස අනුව ලුණු දාගන්න. 
  • මේකට වතුර කෝප්ප 1/2ක් වගේ දාගන්න. දැන් මේක අඩු ගින්දරේ හොඳට තැම්බෙන්න දෙන්න. හොඳට තැම්බුනාම ගම්මිරිස්කුඩු තව ටිකක් දාලා විනාඩි 2ක් වගේ තියලා ලිපෙන් බාගන්න. 

 

4. ක්‍රිස්පි ටර්කි වින්ග්ස් (Crispy Turkey Wings) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් ටර්කි වින්ග්ස් 8
  2. ලුණු හා ගම්මිරිස්කුඩු 
  3. ගාලික් පව්ඩර් මේස හැඳි 2
  4. මිරිස්කුඩු තේ හැඳි 1
  5. කරි පව්ඩර් තේ හැඳි 1
  6. පාන්පිටි කෝප්ප 1
  7. කඩලපිටි කෝප්ප 1/4
  8. බැදීමට තෙල්

 

  • පාන්පිටි හා කඩල පිටි හැර අනික් ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකට දාලා කලවම් කරගන්න. මේකෙන් බාගයක් ටර්කි වලට දාලා කලවම් කරලා මැරිනේට් කරගන්න. 
  • ඉතුරු ටික පාන්පිටි වලට දාලා කඩල පිටිත් එකතු කරලා කලවම් කරගන්න. 
  • චිකන් වින්ග්ස් ටික මේ පිටි වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න. 

 

5. ස්පයිසි ටර්කි කරි (Spicy Turkey Curry) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ටර්කි ග්‍රෑම් 500
  2. අබ ටිකක් 
  3. තෙල් ටිකක් 
  4. ලියාගත් ළූණු ගෙඩි 3
  5. කපාගත් අමුමිරිස් කරල් 3
  6. කපාගත් තක්කාලි ගෙඩි 3
  7. චොප්කරගත් ඉඟුරු මේස හැඳි 3
  8. මිරිස්කුඩු මේස හැඳි 3
  9. කොත්තමල්ලි කුඩු මේස හැඳි 2
  10. ගරම් මසාලා මේස හැඳි 1
  11. කහකුඩු තේ හැඳි 1/2
  12. ලුණු හා ගම්මිරිස්කුඩු 
  13. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් 

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා අබ ටික දාගන්න. ඊළඟට ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න. රස අනුව ලුණු දාගන්න. කපාගත් අමුමිරිස් ටික දාගන්න. ළූණු ටික තෙම්පරාදු උනාම කපාගත් ටර්කි ටික දාලා කලවම් කරන්න.  
  • මේකට වතුර කෝප්ප 2ක් දාලා විනාඩි 30ක් තැම්බෙන්න අරින්න. ඊළඟට කපාගත් තක්කාලි ටික දාගන්න. කලවම් කරන ගමන් මිරිස්කුඩු, කොත්තමල්ලි කුඩු, ගරම් මසාලා, කහකුඩු හා ගම්මිරිස්කුඩු ටික එකතු කරන්න. 
  • හොඳට කලවම් කරලා විනාඩි 20ක් වගේ වහලා පිසගන්න. බාන්න කිට්ටුව චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාගන්න. රස බලලා අවශ්‍ය නම් ලුණු එක් කරගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *