ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ නියම විදියේ ආකල්ප තියාගත්තොත්, අඩු වයසින්ම හොඳ ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න පුළුවන්!

දැන් කාලේ වෙනකොට ප්‍රොෆෙෂනල් ලයිෆ් කියන එව්වා වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ තවදුරටත් ඔෆිස් ගිහින්, තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ ටික කරලා ගෙදර එනවා කියන ආකල්පය වෘත්තීමය ජීවිතේට හරියන්නෙ නෑ. ඊට වඩා ටීම් වර්ක්, ටීම් ස්පිරිට් වගේ දේවල් ප්‍රොෆෙෂනල් ජීවිතේකට වඩාත් අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම තමයි, ඔය ලොකු ලොකු මං තමයි පොර ඇටිටියුඩ් එහෙමත් ඔය ටීම් වර්ක් ඇතුළේ හරියන්නෙ නෑ. ටීම් එකේ එකෙක් එහෙම ලොකු ලයින් එකෙන් හිටියොත්, ඒකෙන් සම්පූර්ණයෙන්ම ටීම් එකේ ස්පිරිට් එක කැඩිලා යන්න පුළුවන් වගේම, ඒ ඔස්සේ කරන්න යන වැඩේ වුණත් සම්පූර්ණයෙන්ම හබක් වෙලා ආයතනයට පාඩු වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා, දැන් කාලේ කෙනෙක්ව ජොබ් එකකට ගන්නකොට වගේම, ඒ ජොබ් එකේ එයාව දිගටම තියාගන්නවද කියලා බලන්නත්, ඒ කෙනාගේ හැකියාවන් සහ දක්ෂතාවයන් වගේම, ආකල්පත් සෑහෙන්න දුරට සලකලා බලනවා. වෙනත් වචන වලින් කියනවා නම්, හොඳ දක්ෂයෙක් වුණත් ආකල්ප ඉතාම අප්සෙට් නිසා කෙනෙක්ව ජොබ් එකෙන් ඉවත් කරපු අවස්ථාවන් වුණත් අපි දකිනවා.

 

ආන්න ඒ නිසා අපි හිතුවා නවීන වෘත්තිය ලෝකයට හරියන්න කෙනෙක්ට තියෙන්න ඕන යහපත් ආකල්ප කීපයක් පෙළගස්වන්න!

 

1. ටීම් ස්පිරිට්

මේකනේ ඉතින් ප්‍රධාන දේ. මෙතනදී අපිට මූලිකවම ඉගෙන ගන්න වෙන්නේ ටීම් එකක් විදියට වැඩ කරන විදිය ගැන තමයි. ඒ වගේම ටීම් එකක් විදියට වැඩ කරනකොට එකිනෙකා එක්ක කටයුතු කරන්නේ කොහොමද, සන්නිවේදනය පවත්වා ගන්නේ කොහොමද වගේ කාරණා ගැනත් ඉගෙන ගන්න වෙනවා. හැබැයි මෙතනදී ආකල්පයක් විදියට මූලිකවම තියෙන්න ඕන දේ තමයි ටීම් ස්පිරිට් එක. ඒ කියන්නේ, ටීම් එකක් විදියට වැඩ කරන්න පොළඹවන ආකල්පය. ටීම් ස්පිරිට් එක තියෙනකොට මනුස්සයෙක් තනියෙන් කැපී පේන්න දඟලන්නෙ නෑ. මේ වැඩේ ටීම් එකේම වැඩක් කියන දේ ඔළුවේ තියෙනවා. ඒ වගේම ටීම් ස්පිරිට් එකත් එක්ක වැඩ නොකරන එවුන්ගේ වැඩෙත් තමන්ම කරලා වැඩේ ගොඩදාන්න වගේ දේවල් හිතෙන්නෙත් නෑ. ඒ වෙනුවට හැමෝමව ඇදගෙන දිනුම් කණුවට යන විදියේ ඇටිටියුඩ් එකක් තමයි ටීම් ස්පිරිට් එකත් එක්ක තියෙන්න ඕන.

 

2. වැරැද්ද මිසක් වැරදිකාරයා වැදගත් නැත

මේකත් වැදගත් කියලා තේරෙනවනේ. සාමාන්‍යයෙන් කොතනක හරි වැරැද්දක් වුණහම ගොඩක් අය හොයන්නේ කවුද වැරදිකාරයා කියලා. එහෙම හිතලා වැරදිකාරයට දඬුවම් කළහම හරි අවවාද කළහම හරි වැඩේ ඉවරයි කියලයි ගොඩක් දෙනෙක් හිතන්නේ. හැබැයි ඇත්තටම ඒ ක්‍රමේ සාර්ථක නෑ. ඇත්තටම වැරැද්දට තමයි පිළියම් කෙරෙන්න ඕන. වැරැද්ද කොතනද කියලා හඳුනගත්තට පස්සේ ආයෙ ඒ වැරැද්ද වෙන්න තියන ඉඩ නැති කරන්න පුළුවන්. ආන්න ඒකට තමයි මේ ආකල්පය අවශ්‍ය. ඒ කියන්නේ වරැද්ද හඳුනාගන්න ආකල්පය. ඒකෙන් අර බෝලෙ පාස් කරනවා වගේ වැරැද්ද එකිනෙකා අතට පාස් කිරීමත් වැළකෙනවා.

 

3. තේරුණේ නෑ

ජොබ් එකේ යම් කිසි දෙයක් තේරුණේ නැද්ද? එහෙමනම් ඒ ගැන දන්න කෙනෙක්ගෙන් කරුණාකරලා අහලා දැනගන්න. බොස් කියපු යම් කිසි දෙයක් තේරුණේ නැද්ද? එහෙමනම් කරුණාකරලා බොස්ගෙන් ආයෙ ආයෙත් අහලා ඒ කියපු දේ නිවැරදිව අවබෝධ කරගන්න. මෙන්න මේක විශේෂයෙන්ම අළුතින් රැකියාවට යන කෙනෙක්ට විශේෂයි. ඒ තමයි දෙයක් තේරුණා වගේ ඉඳලා වැඩේ කරන්න ගියහම නානවට වඩා ඒක හරි හැටි අවබෝධ කරගෙන ඉන්න එක. ඒ වගේම ජොබ් එකේ යම් දෙයක් නොදැන කරන්න ගිහිල්ලා අල කරනවට වඩා දැනුමැත්තෙක්ගෙන් ඒක අහගෙන ඉන්න එක.

 

හැබැයි තව දෙයක්. එක දෙයක් තේරුම් ගන්න දහපාරක් අහන්න වෙනවා නම්, ඒක අපේ අවුලක් වෙන්නත් පුළුවන්. එතකොට ඔක්කොම පැත්තක තියලා ඒක හදාගන්න වෙනවා.

 

4. අටේ ඉඳන් පහ වෙනකල් නෙවෙයි

මෙන්න මේක බොහොම වැදගත් ආකල්පයක්. සමහරු ඉන්නවා, ජොබ් එකකට ගියහම ඒ අය හිතන්නේ ඔෆිස් එකට එන වෙලාව සහ ගෙදර යන වෙලාව විතරයි. එතනින් එහාට කිසිම දෙයක් ඒ අයට අදාළම නෑ. හැබැයි එහෙම ආකල්පයක් එක්ක නවීන වෘත්තිය ලෝකේ නම් සර්වයිව් වෙන්න අමාරු වෙයි. ඇත්තාටම අපි ඇතිකරගන්න ඕන ආකල්පය තමයි අටේ ඉඳන් පහ වෙනකල් වැඩ කිරීම නෙවෙයි. වැඩේ සාක්ෂාත් කරගැනීම. එතකොට සමහර වෙලාවට අපිට හදිසි වැඩක් ගොඩදාන්න රෑ හත වෙනකල් වැඩ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මොකද? ඒක ඇත්තටම ජොබ් එකට කරන ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට හිතන්න. කන්කෙඳිරි ගාන්නෙ නැතුව එක්ස්ට්‍රා පැයක් දෙකක් මහන්සි වෙන්න.

 

හැබැයි මෙහෙම දෙයක්. ඒක පුරුද්දක් විදියට සිද්ධ වෙන දෙයක් නම්, තමන් පහට ගෙදර යන්න ඕන එක හැමදාම හත වෙනකල් ඉන්නවා නම් ඒක ගැටළුවක්. එහෙම ඉඳලා බර කරගහලා වැඩ කරලත් මැනේජ්මන්ට් එකේ කවුරුත් නෝටිස් කරන්නෙත් නැතිනම් ඒක ඩබල් ගැටළුවක්.

 

5. ඉගෙන ගමු ඉගෙන ගමු ඉගෙන ගමු

ඇත්තටම අපි ඉගෙනගන්නවා කියන්නේ පාසල් අධ්‍යාපනය සහ ඊට පස්සේ සමහර වෙලාවට උසස් අධ්‍යාපනය අවසාන කිරීම විතරක් නෙවෙයි. ඊට එහා ගියපු නිරන්තර ඉගෙනීමක් අපිට අවශ්‍ය වෙනවා. හැබැයි ඒකට ඉගෙන ගන්න පිපාසයක් තියෙන ආකල්පයකුත් අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදියට ගත්තහම, අපි අළුත් ජොබ් එකකට ගියාට පස්සේ අපිට පුළුවන් ජොබ් ප්‍රොෆයිල් එකට අදාළ වෙන, ජොබ් එක කරගෙන යන්න අවශ්‍ය වෙන දේවල් ට්‍රේනින් පීරියඩ් එකේදී ඉගෙනගෙන ජොබ් එක කරගෙන යන්න. හැබැයි අපිට ජොබ් එකට අදාළ වෙන නවීන දැනුම, අළුත් ට්‍රෙන්ඩ්ස්, ඒ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යාවත්කාලීන වෙන දැනුම එහෙම එක්රැස් කරගන්න පුළුවන් නම්, ආන්න එතනදී අපිට ජොබ් එක ඇතුළේ අළුත් දේවල් කරන්නත් හැකියාව ලැබෙනවා. ආන්න ඒ නිසා තමයි මේ ඉගෙන ගැනීමේ ආකල්පය අවශ්‍ය වෙන්නේ.

 

6. හැමෝටම ගෞරවය

මේක නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. ඒ තමයි තමන් එක්ක වැඩ කරන හැමෝටම ගරුත්වයෙන් සලකන එක. හැබැයි ඒ ගරුත්වයෙන් සලකනවා කියන ආකල්පය ඇතුළේ හැංගිච්ච තව දෙයක් තියෙනවා. ඒ තමයි කිසිම කෙනෙක්ව කිසිම විදියකින් කොන් නොකිරීම. විශේෂයෙන්ම, ඔෆිස් එකේ අපි කැමති කෙනෙක්ට ගරුත්වයෙන් සලකන එක අපිට ලේසියි. හැබැයි අපි අකමැති කෙනෙක්ට ගරුත්වයෙන් සළකන්න කියන තැනදී අපි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා. ආන්න ඒක තමයි මෙතනදී මේ ආකල්පයෙන් හැදෙන්න ඕන. ගරුත්වය කියන එකට කිසිම භේදයක් නෑ. කෙනෙක්ට ගරුත්වයෙන් සළකන්න ඒ කෙනාට අපි කැමතිද, අපිට ඒ කෙනා කැමතිද වගේ දේවල් අදාළ නෑ. එයා හොඳ මනුස්සයෙක්ද, නරක මනුස්සයෙක්ද කියන එක පවා අදාළ නෑ.

 

හැබැයි මේ ගරුත්වයෙන් සලකනවා කියන්නේ සපත්තු ලෙවකනවා කියන එකත් නෙවෙයි, හරිද!

 

7. වර්ක් ලයිෆ් බැලන්ස්

අවසානයට මෙන්න මේ ආකල්පයත් අත්‍යාවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අර වැඩ වලම ඔළුව ගහගෙන ඉන්නෙ නැතුව, එතනින් එහාටත් ජීවිතයක් තියෙනවා කියලා හිතන, හැබැයි වැඩ අතපහු නොකරන මානසිකත්වය. ඒ වගේම, ඔෆිස් එකේ වැඩ ටික බුම්මට්ටෙක් වගේ ඉවර කරලා ගෙදර යන ආකල්පයෙන් මිදිලා, ඔෆිස් එකේ වැඩ කරන වෙලාවට ඔෆිස් එකේ වැඩ ටික ගොඩදාලා, ඊට පස්සේ ඔෆිස් එකේ අනික් අය එක්කත් පොඩ්ඩක් සෝෂලයිස් වෙලා ඉන්න විදියේ ආකල්පයක් තමයි හදාගන්න ඕන. ඇත්තටම මේ ආකල්පය හොඳ් ස්ට්‍රෙස් රිලීස් එකකුත් වෙනවා. ඒ වගේම මේ වගේ වර්ක්-ලයිෆ් බැලන්ස් ඇටිටියුඩ් එකක් තියෙන කෙනෙක් එක්ක වැඩකරන එක අනික් අයටත් බොහොම ප්‍රියජනක අත්දැකීමක් වෙනවා.

 

මේ විතරක් නෙවෙයි, තව හොඳ ධනාත්මක ආකල්ප තියෙන්න ඕන. හැබැයි ජොබ් එකකට යන්න කලින් මේවා හදාගන්නවා කියන්නේ, තමන් තෝරගන්න වෘත්තියේ ඉහළට යන්න සෑහෙන්න ලොකු උදවුවක් වෙනවා කියන එක තමයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *