හොලිවුඩයෙන් ඇසෙන රස කතා

ඔබ දන්නවා අපි ලියන කලා ලෝකයේ අප්‍රකට කතා ලිපි පෙළ ඔබ ඉතා කැමැත්තෙන් කියවනවා කියලා. මේ නිසා අපි හිතුවා ඔබ වෙතට තවත් අලුත් විශේෂාංගයක් ගෙන එන්න. ඒ තමයි හොලිවුඩයෙන් ඇසෙන රස කතා. මේ ලිපි පෙළට පාදක වෙන්නේ බටහිර නළු නිළියන්ගේ ජීවිතයේ තොරතුරු සහ ඔවුන්ගේ නිර්මාණ හා සබැඳුණු රසවත් කතා කීපයක්. එහෙම නම් ඉතින් මේ ලිපි පෙළත් වෙනදා වගේම කියවන්න කියලා අපි ආරාධනා කරනවා.

 

1. තට්ටෙ ගාපු ජොන් ස්නෝ

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව නරඹපු අයට ජොන් ස්නෝ කියන්නේ වීරයෙක්. මේ චරිතය රඟපාපු කිට් හැරිංටන් මේ නිසාම විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගනු ලැබුවා. වතාවක් මේ කතා මාලාවේ නිර්මාණකරුවන් කිට් හට විහිළුවක් කිරීමට සිතුවා. කතාමාලාවට පරිබාහිරව ව්‍යාජ දර්ශනයක් ඇතුළත් කිරීමට තීරණය කළ ඔවුන් එම තිර පිටපතට අනුව කිට්ට කොණ්ඩය තට්ටය ගෑමට සිදුවන බව පැවසුවා. මුල් අවස්ථාවේදී කිට් රුවටුණත්, පසුව තමන්ට කළ විහිළුවට ප්‍රතිචාර දැක්වීමට සිතූ ඔහු තමන්ගේ තට්ට හිසැති ඡායාරූපයක් නිර්මාණකරුවන්ට යැව්වා. මෙයින් එම නිර්මාණකරුවන් දැඩි ලෙස බියට පත් වුණේ අදාළ කොන්ත්‍රාත්තුවට අනුව කිට් ඔහුගේ කොණ්ඩා මෝස්තරය වෙනස් නොකළ යුතු නිසයි. අවසානයේදී කිට් පවසා සිටියේ එය වසර පහක් පමණ පැරණි ඡායාරූපයක් බවයි.

 

2. මැහුම් ගෙතුම්වලට ඇලුම් කරන ජූලියා රොබට්ස්

හොලිවුඩයේ දක්ෂතම නිළියන් අතර ඉහළ මට්ටමේ සිටින නිළියක් විදිහට ජූලියා රොබට්ස් පිළිගැනෙන බව අවිවාදිතයි. චිත්‍රපටි රූගත කිරීම් අතරතුර ලැබෙන විවේක කාලය ඇය වෙන් කරන්නට පුරුදුව සිටියේ සිය විනෝදාංශයක් වූ විවිධ දෑ ගෙත්තම් කිරීම සඳහායි. වතාවක් ඇය සමග රඟපෑමේ යෙදුණු ටොම් හෑන්ක්ස් මෙය පදනම් කරගෙන ජූලියාට විහිළුවක් කිරීමට සිතුවා. ඒ ඇය දර්ශන තලයට පැමිණෙන විට සියළු දෙනාටම කුමන හෝ ගෙත්තමක යෙදෙන ලෙසට පවසමින්. කොහොම නමුත් දර්ශන තලයට පැමිණි ජූලියා මෙය විහිළුවක් බව තේරුම් නොගත් අතර ඇය එකිනෙකා වෙත යමින් ගෙත්තම් කිරීමට අදාළ විවිධ උපක්‍රම කියා දීමට පටන් ගෙන තිබුණා.

 

3. ඇත්තටම ඔයා ඉස්සර පූසෙක්ද?

හැරී පොටර් කතා මාලාවේ මහාචාර්ය මැගෝනිගල්ගේ චරිතය රඟපෑම නිසා මැගී ස්මිත් කුඩා දරුවන්ගේද අතිශයින් ආදරණීය චරිතයක් බවට පත්වුණා. තමන් ඒ වන විටත් ප්‍රවීණ නිළියක්ව සිටියත් මහාචාර්ය මැගෝනිගල්ගේ චරිතය තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ බවත් ඇය වරක් පවසා තිබුණා. දිනක් ඇයට හමුවූ කුඩා රසිකයකු ඇයගෙන් විමසා ඇත්තේ එකම එක අපූරු ප්‍රශ්නයක්.

ඒ “ඔයා ඇත්තටම ඉස්සර පූසෙක්ද?” යන ප්‍රශ්නයයි.

 

4. ඇස් දෙක දිහා බලන්න එපා

බ්‍රැඩ් පිට් සහ ජෝර්ජ් ක්ලූනි සමීප මිතුරන් වන අතර එකිනෙකාව හාස්‍යයට ලක් කර ගැනීම දෙදෙනාටම ඇබ්බැහියක්ව පවතිනවා. ඇතැම් අවස්ථා වල දර්ශන තලවලදී එකිනෙකාට අපහාස වන මට්ටමේ විවිධ සටහන් හුවමාරු කර ගැනීම පිළිබඳව ක්ෂේත්‍රය තුළ ඔවුන් දෙදෙනා නම් දරා සිටිනවා. වතාවක් එක්තරා චිත්‍රපටයක රූගත කිරීම් අතරතුරදී දර්ශන තලයේ සේවය කරන පිරිස් වෙත ගිය බ්‍රැඩ් පිට් අමුතු කතාවක් පැතිරෙව්වා. ඒ යමෙක් තම ඇස් දෙක දෙස බලා කතා කරනු දැකීමෙන් ජෝර්ජ් ක්ලූනි ප්‍රකෝපයට පත් වන බවයි. එම නිසා එය කිසිසේත් නොකළ යුතු බවට බ්‍රැඩ් පිට් ඔවුන්ට උපදෙස් ලබාදුන්නා. දර්ශන තලයේ කිසිදු අයෙක් තමන් සමග කතා කිරීමට ප්‍රිය නොකරන්නේ කුමන හේතුවක් මතද යන්න වටහා ගැනීමට ක්ලූනිට දවස් කීපයක් ගත වුණා.

 

5. මාග්‍රට් කුමරියගේ භූතාත්මය

සුප්‍රකට “ද ක්‍රවුන්” කතාමාලාවේ මැදිවියේ මාග්‍රට් කුමරියගේ චරිතය රඟපෑ හෙලේනා බොන්හැම් කාටර් එම චරිතය වෙනුවෙන් විශාල වශයෙන් සූදානම් වුණා. පසු කලෙක ඇය විසින් හෙළි කළ පරිදි ගුප්ත විද්‍යාව පිළිබඳ කටයුතු කරන තැනැත්තියක් ලවා මාග්‍රට් කුමරියගේ භූතාත්මය සමඟ සම්බන්ධ වී චරිතය නිරූපණය කිරීමට අදාළව යම් යම් උපදෙස් පවා ඇය විසින් ලබාගෙන තිබෙනවා.

 

6. නිකොල් කිඩ්මෑන්ගේ හවායි නම

සුප්‍රකට නිළි නිකොල් කිඩ්මෑන් උපත ලබා ඇත්තේ හවායිහීදියි. ඒ ඒ වන විට ඕස්ට්‍රේලියානු ජාතික ඇගේ දෙමව්පියන් ඉගෙනුම ලැබීම සඳහා හවායි වෙත පැමිණ සිටීම නිසාය. මේ නිසාම ඇගේ දෙමව්පියන් විසින් ඇගේ උප්පැන්න සහතිකයට අදාළ නමට අමතරව හවායි භාෂාවෙන් නමක් ලබාදීමට ක්‍රියා කොට තිබුණා. ඒ නම වන්නේ “හොකුලානි” යි. දිව්‍යමය තරුව යන අර්ථය ලබාදෙන මෙම නම ඇයට ලබාදීම සඳහා දෙමව්පියන්ට සිතී ඇත්තේ එවකට හවායිහි හොනොලුලූ සත්වෝද්‍යානයේ උපත ලැබූ ඇත් පැටවෙකුට ඒ නම ලබා දීම නිසායි.

 

7. ඇඳුම් ගහේ

“ලෝඩ් ඔෆ් ද රින්ග්ස්” කතාමාලාව තුළ හොබිට් මෙරි චරිතය නිරූපණය කළ ඩොමිනික් මොනැහන් චිත්‍රපටයේ සියළු දෙනාටම හිසරදයක් බවට පත්වූයේ ඔහු විසින් සිදුකරන ලද කෙළවරක් නැති විහිළු නිසායි. ඔහුටද ප්‍රති ප්‍රහාරයක් දීමට සිතු කතා මාලාවේ නිර්මාණකරුවන් කතාවට ව්‍යාජ දර්ශනයක් ඇතුළත් කරනු ලැබුවා. එම දර්ශනයට අනුව යෝධ ගහකින් වැටෙන ඩොමිනික් සහ ඔහුගේ මිතුරා වන පිපින්ගේ චරිතය නිරූපණය කළ බිලී බොයිඩ්ගේ ඇඳුම් සියල්ල ගසේ අතු වල පැටලෙන අතර නිරුවත් වෙන ඔවුන්ට දැඩි ශීතල නිසා එකිනෙකාව බදා ගනිමින් සිරුර උණුසුම් කර ගැනීමට සිදුවනවා. ඉන්පසුව සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව තවදුරටත් පැවසීම අනවශ්‍ය බව අපි හිතනවා.

 

එහෙම නම් ඉතින් නම් මේ අපේ අලුත් විශේෂාංගය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්නත් එපා. ඒ අදහස් මත මේ විශේෂාංගයේ ඉදිරි අනාගතය තීරණය වේවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *