වෙළෙඳපොලේ තියන සොසේජස් කියන්නෙ පිළිකාකාරක කියන හේතුව නිසා ගොඩක් අය දැන් සොසේජස් කඩෙන් ගන්නෙම නැති තරම්නෙ. ඒත් අපේ පොඩි දරුවො කන්න ආසම කෑමක් තමා මේ. දැන දැනත් වස විස දරුවන්ට කවන්නෙ නැති බව අපි දන්න නිසාම ඔන්න ගෙදරදිම සොසේජස් හදාගන්න හැටි කියලා දෙන්න හිතුවා. අද ලිපියේ නිර්මාංශ රෙසිපි කීපයකුත් තියෙනව. ඔන්න හරිම ලේසියෙන් ගුණාත්මකභාවයෙන් යුතු සොසේජස් හදලා දරුවන්ට දෙන්න අපේ අනාගතය ශක්තිමත් කරන්න. එහෙනම් මෙන්න රෙසිපි ටික. මේ රෙසිපි වල විදියට ලන්ච් ශීට් හෝ ක්ලින්ග් රැප් වලින් ඔතාගන්නවා වෙනුවට කෙසෙල් කොළ වල ඔතලා සොසේජස් ස්ටීම් කරගන්නත් පුළුවන්.
1. පොළොස් සොසේජස්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් පොළොස් 500g
- කඩල පිටි 100g
- ගම්මිරිස් කුඩු මේස හැඳි 1
- ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
- මිරිස් කුඩු මේස හැඳි 1
- රස අනුව ලුණු කුඩු
- අමුතුනපහ කුඩු මේස හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/2
- කරපිංචා ස්වල්පයක්
- පොල්තෙල් ස්වල්පයක්
- පොළොස් ටික කෑලි වලට කපා ලුණු කුඩු ස්වල්පයක් දමා තම්බා ගන්න. ඒක පේස්ට් එකක් වෙනතුරු ග්‍රයින්ඩ් කරගන්න.
- ඊළඟට භාජනයක් ගෙන එයට පොළොස්, කඩල පිටි, ඉඟුරු සුදුළූණු පේස්ට්, මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, පොල්තෙල්, කහකුඩු හා සිහින්ව කපා ගත් කරපිංචා දමා නැවත ග්‍රයින්ඩ් කරගන්න.
- මේ මිශ්‍රණය ෆ්‍රිජ් එකේ පැයක් තියන්න. දැන් මෙය සොසේජස් හැඩයට රෝල් කරලා ලන්ච් ශීට් එකක හෝ ක්ලින් රැප් එකක තියලා රෝල් කරලා ස්ටීම් කරගන්න.
- ඔතාගත්ත කොළයෙන් ගලවලා පෑන් ෆ්‍රයි කරගන්න. බදින්නෙ නැතුව සතියක් වගේ ෆ්‍රීසර් එකේ තියාගන්න පුළුවන්.
2. සෝයාමීට් සොසේජස්
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයාමීට් ග්‍රෑම් 100
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1/2
- තුනපහ කුඩු තේ හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- උම්බලකඩ කුඩු ටිකක්
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් සුදුළූණු බික් 2
- සිහින්ව කපාගත් මිරිස් කරල් 3
- සිහින්ව කපාගත් කරපිංචා
- තෙල් ස්වල්පයක්
- සෝයාමීට් තම්බා වතුර අයින් කරන්න. ඊළඟට ඒවා ග්‍රයින්ඩ් කරගන්න. ඒකට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහකුඩු, ලුණු, තුනපහ කුඩු දාලා හොඳින් අනාගන්න.
- දැන් භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප් කර ගත් ළූණු, සුදුළූණු, කරපිංචා, මිරිස් දාලා තෙම්පරාදු කරගෙන සෝයාමීට් එක් කර ගන්න.
- ඒකට උම්බලකඩ පවුඩර් දාලා නැවත හොඳින් කලවම් කරන්න. මේ මිශ්‍රණය ලන්ච් ශීට් එකක තියලා රෝල් කරන්න. ලන්ච්ශීට් එකේ දෙපැත්ත ගැටගහල විනාඩි 20ක් විතර ස්ටීම් කරගන්න.
- ෆ්‍රීසර් එකේ දාලා තියලා අවශ්‍ය වෙලාවට බැදගන්න. සතියක් වගේ තියාගන්න පුළුවන්.
3. බිම්මල් සොසේජස්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඔයිස්ටර් බිම්මල් 200g
- කඩල පිටි හෝ හාල්පිටි කෝප්ප 1/4
- ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
- රස අනුව ලුණු කුඩු
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- බිම්මල් හොඳින් සෝදා විනාඩි 5 – 7 ක් විතර ස්ටීම් කරගන්න. මේ ටික පිරිසිදු රෙදි කෑල්ලකට දාලා මිරිකලා වතුර අයින් කරගෙන හොඳට ග්‍රයින්ඩ් කරගන්න.
- මේකට ඉඟුරු සුදුළූණු පේස්ට්, ලුණු, ගම්මිරිස්කුඩු, කඩල පිටි දාලා හොඳින් මික්ස් කර ගන්න.
- දැන් මේක සොසේජස් හැඩයට හදාගන්න. ලන්ච් ශීට් එකක ඔතලා විනාඩි 20ක් ස්ටීම් කරගන්න.
- පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා දාලා සොසේජස් ටික බැදගන්න. බදින්නෙ නැතුව දවස් තුනක් වගේ ෆ්‍රීසර් එකේ තියාගන්න පුළුවන්.
4. චිකන් සොසේජස්
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත චිකන් 500
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කහකුඩු තේ හැඳි 1/2
- චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- පොල් තෙල් ස්වල්පයක්
- චිකන් වලට, ලුණු, ගම්මිරිස්කුඩු, කහකුඩු, සුදුළූණු, ළූණු, පොල් තෙල් හා වතුර ටිකක් දාලා හොඳින් අඹරාගන්න.
- ඊළඟට මේ මිශ්‍රණය ලන්ච් ශීට් එකක තියලා රෝල් කරන්න. ලන්ච් ශීට් එකේ දෙපැත්ත ගැට ගසන්න.
- විනාඩි 20 ක් විතර ස්ටීම් කර ගන්න. දැන් ෆ්‍රීසර් එකේ දාලා තියලා අවශ්‍ය වෙලාවට බැදගන්න. සතියක් වගේ තියාගන්න පුළුවන්.
5. බීෆ් සොසේජස්
අවශ්‍ය ද්‍රව්‍ය
- බීෆ් ග්‍රෑම් 500
- ලුණු හා ගම්මිරිස්කුඩු
- පාන්පිටි ස්වල්පයක්
- මිරිස්කුඩු තේ හැඳි 1
- මාදුරු කුඩු තේ හැඳි ¼
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/4
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් සුදුළූණු බික් 4-5
- කහකුඩු තේ හැඳි 1/4
- කෑලිමිරිස් තේ හැඳි 1
- බීෆ් ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න. ඊළඟට මේකට පාන්පිටි හැර අනික් සියල්ලම දාලා නැවත ග්‍රයින්ඩ් කරගන්න.
- දැන් මේ මික්ස් එක බෝල් එකකට දාලා පාන්පිටි ටික දාලා හොඳට අනාගන්න.
- පොඩි බෝල හදලා අතින් සොසේජස් හැඩේට හදාගන්න. දැන් ලන්ච් ශීට් එකකට හෝ ක්ලින් රැප් එකකට තියලා රෝල් කරලා ගැට ගහලා විනාඩි 20ක් විතර තම්බගන්න.
- ෆ්‍රීසර් එකේ දවසක් විතර තියලා පෑන් ෆ්‍රයි කරලා කෑමට ගන්න. බදින්නෙ නැතුව ෆ්‍රීසර් එකේ සතියක් වගේ තියාගන්න පුළුවන්.
6. වීගන් සොසේජස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1
- බේකින් පව්ඩර් පින්ච් එකක්
- මිරිස්කුඩු තේ හැඳි 1
- තුනපහකුඩු තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/4
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කෑලිමිරිස් තේ හැඳි 1
- චොප්කරගත් සුදුළූණු තේ හැඳි 2
- පාන්පිටි වලට බේකින් පව්ඩර් හා අනික් සියල්ලම දාලා වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
- ලෑල්ලකට පිටි ටිකක් ඉහලා මේ ඩෝ එක අරන් පොඩියට රෝල් කරගන්න.
- ලන්ච් ශීට් එකකට හෝ ක්ලින් රැප් එකකට දාලා රෝල් කරලා දෙපැත්තෙන් ගැටගහලා ස්ටීම් කරගන්න.
- රැප් කරගත් කොළය ගලවලා පෑන් ෆ්‍රයි කරගන්න. ස්ටීම් කරල දවස් තුනක් වගේ ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්.
7. පොටැටෝ සොසේජස්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් අල ගෙඩි 5
- කෝන්ෆ්ලා මේස හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- හාල්පිටි මේස හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- අල ටික පොඩි කරගන්න. මේකට අනික් සියල්ලම දාලා සොෆ්ට් ඩෝ එකක් අනාගන්න.
- දැන් මේ ඩෝ එකෙන් පොඩ්ඩක් අරන් සොසේජස් හැඩේට රෝල් කරලා හදාගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා ෆ්‍රයි කරලා ගන්න. මේක ස්ටීම් කරගන්න ඕනෙ නෑ.
Leave a Reply