ගාසා තීරයේ ගැටුම්වල ඇතුළත කතන්දර​ය

 

ගාසා තීරය කියන්නේ මොකක්ද කියල හරියටම නොදන්නවා උනත් ටීවී එකේ නිව්ස් බලන කෙනෙක් නම් මේ වචනය ඉතාම හුරු පුරුදු වචනයක් බව නම් හොඳටම විශ්වාසයි. මොකද ඒ තරම් අපේ රටේ ප්‍රවෘත්ති වලත් මේ ගාසා තීරයේ අර්බුදය ගැන නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා. කොයි හැටි උනත් අහන්න ලැබෙන ප්‍රවෘත්ති නම් කිසිම විදිහක සුභදායී ඒවා නම් නෙමෙයි කියන එක හැමෝම අත්දැකීමෙන් දන්නවා ඇති. ඉතින් මේ ගාසා තීරය මොකක්ද මොකක්ද එතන තියෙන ප්‍රශ්නේ කියන කාරණා ටික අපි අද පොඩ්ඩක් හොයල බලමු.

 

1. මොකක්ද මේ ගාසා තීරය?

 

ගාසා තීරය කියන්නේ වර්ග කිලෝමීටර් 365 ක පමණ භුමි ප්‍රදේශයක්. ඒ වගේම ඊජිප්තුවටත්, ඊශ්‍රායලයටත්, මධ්‍යධරණී මුහුදටත් මායිම් වෙලා තියෙන භුමි තීරුවක්. මේ භුමියේ වැඩි ප්‍රදේශයක් මායිම් වෙන්නේ ඊශ්‍රායලයට. ඒ කිලෝමීටර් 52ක ප්‍රමාණයක්. ඒ වගේම ජනගහණය ගත්තොත් මිලියන දෙකකට කිට්ටු වෙනවා. ඒ වගේම ඉතා ඉහළ ජන ඝනත්වයක් මේ කුඩා භුමි ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. ඔන්න ඔය ඉතා කුඩා භුමි ප්‍රදේශයේ ඇති වෙලා තියෙන දේශපාලන බල අර්බුදයක් ගැනයි අපි අද කතා කරන්නේ.

 

2. ඉතිහාස කතාව

කලින් ලිපියකත් අපි කතා කළානෙ ඊශ්‍රායලය ගැන තොරතුරු. අන්න ඒ ඊශ්‍රායලය කියන රට බිහි වෙන්න කලින් ඒ භුමියේ තිබුනේ පලස්තීනය කියන රට. ඉතින් යුදෙව් ජාතිකයෝ සහ යම් යම් රටවල් මැදිහත් වෙලා  ඊශ්‍රායලය කියන රට බිහි කළාම, පලස්තීනය කියන කොටසට අයිති උනේ ඔන්න ඔය ගාසා තීරය එක්ක තව රට මැදින් තිබුණ භුමි කොටස් කීපයකුයි විතරයි. විශේෂයෙන් බටහිර ඉවුර කියන්නේ පලස්තීනයට අයිති උන විශාලම බිම් ප්‍රදේශය.  අපි කලින් ලිපියකත් කතා කරපු විදිහට දින හයේ යුද්ධයේදී ඊශ්‍රායලය බටහිර ඉවුර සහ ගාසා තීරය සමග තවත් භුමි ප්‍රදේශ යටත් කරගන්නවා. නමුත් ඔස්ලෝ ගිවිසුම නිසා බටහිර ඉවුරේ යම් කොටසක් සහ ගාසා තීරය පලස්තීනය වෙත පවරා දෙනු ලැබුවා. එතකොට දැනට නිල වශයෙන් ගාසා තිරය පලස්තීනය කියන රටට අයිති කොටසක් උනත්, පාලනය කරන්නේ හමාස් කියන ත්‍රස්තවාදී සංවිධානය විසින්. අන්න ඒ හමාස් සංවිධානයත් ඊශ්‍රායලයත් අතර ඇති වෙලා තියෙන බල අරගලය තමයි ගාසා තීරයේ අර්බුදය විදිහට ඉතාම කෙටියෙන් හඳුන්වන්න වෙන්නේ. 

 

3. අර්බුදය

මේකේ මුලික අර්බුදය තියෙන්නේ බලය පිළිබඳ ගැටළුවක්. විශේෂයෙන් පලස්තීනයට අයත් බටහිර ඉවුර සහ ගාසා තීරය අතරේ භූමියෙන් කිසි සම්බන්ධයක් නෑ. ඒ කියන්නේ ඒ කොටස් දෙක එකම රටේ උනත් ගාසා තීරයේ වැසියෙක්ට බටහිර ඉවුරට යන්න ඕන උනොත් වෙනත් රටවල් හරහා තමයි යන්න සිද්ධ වෙන්නේ. ඉතින් ගාසා තීරයේ ජිවත් වෙන පලස්තීන ජාතිකයින්ගේ ඒකායන අරමුණ තමයි පලස්තීනයෙන් කවදා හෝ යුදෙව්වන් පලවා හැරීම. ඒ අරමුණ නිසාම මේ ජනතාව හමාස් සංවිධානය එක්ක හරි හරියට වැඩ කරනවා. පොඩි ළමයින් පවා ආයුධ දරන තත්ත්වයක් තමයි මෙහෙ තියෙන්නේ. ඒ වගේම ජෙරුසලම සම්බන්ධ ගැටළුවත් ඉතා විශාල ගැටළුවක්. ඊශ්‍රායලය ජෙරුසලම තමන්ට අයිති කියද්දී පලස්තීනය එය තමන්ට අයිති බව එක හෙලා කියා සිටිනවා. මේ දෙගොල්ලොන්ගේ විරසකය කොච්චරද කිව්වොත් ඊශ්‍රායල ජාතිකයෙක් සහ පලස්තීන ජාතිකයෙක් අතර වචන හුවමාරුවක් පවා රටවල් දෙක අතර විශාල ගැටුමක් බවට පරිවර්තනය වෙන්න බැරි නෑ. අවසානයේ, භූමියේ බලය ලබා ගැනීම කියන කාරණාව නිසා තමයි මේ අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ.

 

4. පාලන තන්ත්‍රය

ගාසා තීරයේ ක්‍රියාත්මක වෙන්නේ යම් ආකාරයකට ස්වයං පාලන ක්‍රමයක් කියල කිව්වොත් වඩා නිවැරදියි.  2006 අවුරුද්දේදී පැවතුන මැතිවරණයෙන් හමාස් සංවිධානය ජය ගැනීමත් එක්ක ගාසා තීරයේ බලය ෆාටා සංවිධානයෙන් ගැලවිලා හමාස් අතට පත් වෙනවා. ඒ කාලයේදී ඒ වෙද්දී පලස්තීනය පාලනය කරපු ෆාටා සංවිධානය සහ හමාස් සංවිධානය අතරේ සිවිල් යුද්ධයක් ඇති වෙන්න පටන් ගන්නවා. විවිධ දේශපාලන තීන්දු තීරණ එහෙම නිසා මේ ගැටුම් උත්සන්න වෙනවා. මේ සංවිධාන දෙක අතරේ ගැටුම් වලින් 600 ක් විතාර පලස්තීනුවන් ප්‍රමාණයක් මිය ගිහින් තියෙනවා 2007 වෙද්දී. ඔය ගැටුම් අතරේම හමාස් සංවිධානය මේ වෙනකන්ම තමන්ගේ බලය පවත්වාගෙන යනවා. බටහිර ඉවුරේ බලය ෆටා සංවිධානය පවත්වාගෙන යනවා. ඒ කියන්නේ බටහිර ඉවුර සහ ගාසා තීරය කියන්නේ නොනිල රටවල් දෙකක්.

5. හමාස් සංවිධානය

හමාස් සංවිධානය ආරම්භ වෙන්නේ 1980 විතර කාලයෙදී. විශේෂයෙන් ඊශ්‍රායලය පලස්තීන භූමියෙන් ඉවත් විය යුතු බව තමයි මුල් කාලයේ මේගොල්ලොන්ගේ මතය උනේ. ඒ අනුව තමයි ඔවුන් කැරළි ගැසීම් කළේ. 1987 දී පලස්තීනය සහ ඊශ්‍රායලය අතරේ ඇති වුණු කැරැල්ල අවසන් කරලා 1993 දී සාම ගිවිසුමකට එළඹෙනවා යසර් අර්ෆත් ගේ පලස්තීන විමුක්ති සංවිධානය. නමුත්, හමාස් සංවිධානය තමන්ගේ අරමුණ වෙනස් කරගත්තේ නෑ සහ ඒ වෙනුවෙන් දිගටම කැරලි ඇතිකළා. ඒ වගේ නොයෙකුත් හේතු නිසා එක්සත් ජාතීන්, තවත් සංවිධාන සහ රටවල් හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට තමයි සළකන්නේ. ඒ වගේම හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව තමන්ගේ ප්‍රහාර දියත් කරන්නෙත් සාමාන්‍ය ජනතාව අතරේම ඉඳිමින්. ඒ නිසාම ගාසා ජනතාවට මේ ප්‍රහාර ඉතාම සාමාන්‍ය දේවල්. 

 

6. සාම ක්‍රියාවලිය

ඊශ්‍රායලය සහ පලස්තීනය (ගාසා තීරය සහ බටහිර ඉවුර) අතරේ සාම ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ 1978 වගේ කාලේ. ඒ කාලෙදිම කතාවට ආපු විසඳුම තමයි ද්වි රාජ්‍ය විසඳුම. නමුත් ඒ වෙනුවෙන් ගත්තු කිසිම උත්සාහයක් සාර්ථක  උනේ නෑ. ඔය අතරේ තමයි 1993 දී අපි ඔය උඩින් කියපු ඔස්ලෝ ගිවිසුමට එළඹෙන්නේ. ඒ අනුව තමයි ඊශ්‍රායලය යුද්ධ වලින් අත්පත් කරගත්තු භුමි කොටස් ඒ ඒ රටවලට නැවත පවරා දෙන්නේ. ඉන් පස්සේ මේ සම්බන්ධව අවස්ථා ගණනාවකදී සාකච්ඡා සහ එකඟතා ඇති වෙලා තියෙනවා. ඒ ගැන වැඩි දුර අපි වෙනම ලිපියකින් කතා කරමු. කොහොම උනත් අද වෙද්දී මේ සාම ක්‍රියාවලිය කරුණු ගණනාවක් නිසා ඇනහිටලා තියෙනවා. කෙටියෙන් කිව්වොත් භුමියේ බෙදීම සම්බන්ධ ගැටළු, බටහිර තීරයේ ජනාවාසකිරීම් සම්බන්ධ ගැටළු, ජෙරුසලම සම්බන්ධ ගැටළුව, පලස්තීන අවතැන්වූවන් පිළිබඳ ගැටළුව වගේ ඒවා දක්වන්න පුළුවන්.

 

7. අපේ අදහස

මේ රටවල් දෙකේම ජීවත් වෙන්නේ මනුෂ්‍යයෝ. ඒ ගාසා වැසියන්ද ඊශ්‍රායල වැසියන්ද, බටහිර ඉවුරේ වැසියන්ද කියන එක වැදගත් වෙන්නේ නෑ. කොහොම උනත් මේ ප්‍රශ්නෙට දේශපාලන විසඳුමක් ඉතා ඉක්මනින් අවශ්‍යයි. එක විදිහකින් දැනට ඊශ්‍රායලයේ භූමියෙන් කොටසක් පලස්තීනුවන්ට ලබාදෙන්න අවශ්‍යයි. ඉන් පස්සේ වෙන වෙනම රටවල් දෙකක් විදිහට ප්‍රකාශයට පත් කරන්න අවශ්‍යයි. රටවල් දෙකකට මේ භුමිය ප්‍රමාණවත් නොවේ නම් විශේෂයෙන් අසල්වැසි රටවල් මේ සම්බන්ධව පරිත්‍යාගශීලි වෙන්න වෙනවා. මොකද අතීතයේ ඔය අසල්වැසි රටවල් ඔක්කොම පලස්තීන ජනතාව ගැන ගොඩක් අනුකම්පාවෙන්නේ එකතු වෙලා යුද්ධ කළේ. ඒ අනුකම්පාව සැබෑ අනුකම්පාවක් ද කියල ඔප්පු කරන්න පුළුවන් එහෙම පරිත්‍යාගශීලි වෙලා තමන්ගේ භූමියෙන් කොටසක් පරිත්‍යාග කළොත්. අනිත් එක තමයි ඊශ්‍රායලය සය දින යුද්ධයෙන් අත්පත් කරගත් නැගෙනහිර ජෙරුසලම පලස්තීනයට නැවත ලබාදෙන එක ලොකු බලපෑමක් කරයි සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *