ප්‍රධාන ආගම විදිහට බුදු දහම අදහන රටවල් 7ක් ගැන දැනගනිමු

සම්බුදු තෙමඟුල බොහොම නිස්කලංකව සමරමින් වෙසක් මාසය ගතවීගෙන ගිහින් පොසොන් මාසයත් උදාවුණා. ඉතින් අපි හිතුවා බුදු දහමට සම්බන්ධ මාතෘකාවක් කතා කළොත් හොඳයි කියල. දැන් වසර දෙක තුනක් තිස්සේ මඟහැරුනට වෙසක් කියල කියන්නෙ ලංකාවේ අපි මහ ඉහළින්ම සමරන උත්සවයක්නේ. අපේ ලංකාවට වෙසක් මේ තරම්ම විශේෂ වෙන්නේ මේ රටේ බහුතරයක් අදහන ප්‍රධානම ආගම බෞද්ධාගම වීම නිසයි. මෙහෙම ඉහළින්ම බුදුදහම අදහන්නේ අපි විතරද? ඔන්න ඒ ගැන තමයි අද කතාව. තමන්ගේ රටේ ප්‍රධාන ආගම විදිහට බුදුදහම අදහන, ඒ වගේම වැඩිම ජනගහණයක් බුදුදහම අදහන රටවල් කිහිපයක්ම මේ ලෝක ගෝලය ඇතුළේ තියෙනවා.

 

1. කාම්බෝජියාව

කාම්බෝජියාව තමයි දැනට තමන්ගේ ජනගහණයෙන් වැඩිම පිරිසක් බුදුදහම අදහන රට. කම්බෝජියාවේ මුළු ජනගහණය 16,946,438.00 ක්. ඒ කියන්නෙ මිලියන දාසයකට අධික සංඛ්‍යාවක්. ඒ මිලියන 16න් මිලියන 13ක්ම බෞද්ධයින්. හරියටම කිව්වොත් 13,690,000.00ක්. ඒ කියන්නේ සමස්ථ ජනගහණයෙන් 96.90%ක අගයක්.

කාම්බෝජියාවේ බුදුදහම අඩුම තරමේ පස්වෙනි ශතවර්ෂයේ ඉඳලවත් පැවතුණ බවට තමයි කරුණු සඳහන් වෙන්නෙ. ආරම්භයේදී ඔවුන් ඇදහුවේ මහායාන බුදුදහම වුණාට මේ වෙනකොට කාම්බෝජියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් ඒ රටේ නිල ආගම ථෙරවාද බුදුදහම.

 

2. තායිලන්තය

තායිලන්තය කියල කියන්නෙ ලෝකයේ දෙවෙනියට ජනගහණයෙන් වැඩිම පිරිසක් බුදුදහම අදහන රට. රටේ සමස්ථ ජනගහණය වුණු මිලයන 69කින් 64,420,000ක්ම ඒ කියන්නෙ ප්‍රතිශතයක් විදිහට කිව්වොත් 93.20%ක්ම අදහන්නේ බුදුදහම. ඒ වගේම චීනයට පස්සේ වැඩිම පිරිසක් බුදුදහම අදහන්නෙත් මේ තායිලන්තයේ.

තායිලන්තය කියල කියන්නෙත් ථේරවාද බුදුදහම අදහන රටක්. ලංකාවට වගේම ධර්මාශෝක අධිරාජ්‍යයාගේ සමයේදී ඒ කියන්නෙ ක්‍රි .පූ. 250 තරම් ඈත ඉතිහාසයේදී තමයි තායිලන්තයටත් බුදු දහම ලැබුණ කියල සැළකෙන්නේ. විශේෂත්වය වෙන්නෙ තායිලන්තයේ අනිවාර්ය නීතියක් විදිහට සෑම පුද්ගලයෙකුම තාවකාලික පැවිද්ද මඟින් බුදු දහම පිළිබඳ අවබෝධයක් ලැබිය යුතුවීමයි.

 

3. මියන්මාරය

මියන්මාරයේ ජනතාව අදහන්නෙත් ථේරවාද බුදු දහම. අතීතයේ බුරුමය විදිහට හැඳින්වුණු මේ මියන්මාරයට බුදු දහම ලැබුණු බව සැළකෙන්නෙත් ධර්මාශෝක අධිරාජ්‍යයාගේ සමයේදී. රටේ සමස්ථ ජනගහණයට සාපේක්ෂව භික්ෂූන් වහන්සේලාගේ අනුපාතය සහ රටේ සමස්ථ අදායමෙන් බුදු දහමට වියදම් කරන අනුපාතය අනුව වඩාත්ම ආගමික බෞද්ධ රට විදිහට සැළකෙන්නෙත් මේ මියන්මාර රාජ්‍යය.

රටේ මුළු ජනගහණය මිලියන 54කින් මිලියන 38ක්, හරියටම කිව්වොත් 38,410,000ක් බෞද්ධයින්. ප්‍රතිශතයක් විදිහට කිව්වොත් 87.90%ක්. ඒ කියන්නේ ලෝකයේ තුන්වන තැනට වැඩිම ප්‍රතිශතයක් බුදුදහම අදහන රට තමයි මියන්මාරය.

 

4. භූතානය

භූතානය කියල කියන්නෙ හිමාලය කඳු වැටියේ නැගෙනහිර මායිමේ පිහිටල තියෙන ඉතාම පුංචි රටක්. අපේ ලංකාවත් භූතානයට වඩා 1.7 ගුණයකින් විශාලයි. මේ රටේ මුළු ජනගහණය විදිහට සඳහන් වෙන්නේ 779,898ක් වගේ ඉතාම පුංචි ප්‍රමාණයක්. හැබැයි ඒ ජනගහණයෙන් 540,000ක්, ඒ කියන්නෙ 74.70%ක්ම බෞද්ධයින්. මේ රටේ රාජ්‍ය ආගම විදිහට සඳහන් වෙන්නේ වජ්‍රයාන බුදුදහම.

 

5. ශ්‍රී ලංකාව

බුදුදහම ලොකුවටම අදහන රටක් කියල අපි පාරම්බෑවට ඇත්තටම බෞද්ධ රටවල් ලැයිස්තුවේ ලංකාව තියෙන්නේ පස්වෙනියට. බුදුදහම අදහන සංඛ්‍යාව අනුව බැලුවොතින් හයවෙනි තැනට. ඒ කොහොම උනත් අපේ ලංකාවේ මිලියන 21ක ජනගහණයෙන් 14,450,000ක් ඒ කියන්නෙ 69.30%ක ප්‍රමාණයක් බුදුදහම අදහනවා. ලංකාවේ විශාලම ආගම වගේම රාජ්‍ය ආගම විදිහට සැළකෙන්නෙත් මේ බුදුදහම. ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දෙන්නෙත් ධර්මාශෝක අධිරාජ්‍යයාගේ මැදිහත් වීමෙන්. ථේරවාද බුදුදහම අදහන ප්‍රධාන වගේම පැරණිම රටක් විදිහටත් ශ්‍රී ලංකාව සැළකෙනවා.

 

6. ලාඕසය

ලාඕසයේ මුළු ජනගහණය මිලියන 7ක විතර ප්‍රමාණයක්. ඒ කියන්නෙ භුමි භාගයෙන් ලංකාවට වඩා 3.6 ගුණයකින් විතර විශාල වුණාට ජනගහණය අතින් බොහොම කුඩා රාජ්‍යයක්. මේ මිලියන 7න් මිලියන හතරක් ඒ කිව්වේ ප්‍රතිශතයක් විදිහට කිව්වොත් 66.10%ක් ආගමක් විදිහට අදහන්නේ බුදුදහම. ලාඕසයේ අදහන්නෙත් ථේරවාද බුදුදහම. ඒ වුණාට ලංකාවේ අපි අදහන ථේරවාද බුදුදහමට වඩා යම් යම් වෙනස්කම් මේ ධර්මයේ තියෙනවා. කොහොම උනත් ලාඕසයත් සැළකෙන්නේ රටේ බහුතරය බුදුදහම අදහන බෞද්ධ රටක් විදිහටයි. ලාඕසයට බුදුදහම ලැබුණා කියල සැළකෙන්නේ 7 වෙනි සහ 8 වෙනි ශතවර්ෂය අතරතුර ධවරවති අධිරාජ්‍ය සමයේ.

 

7. මොන්ගෝලියාව

මොන්ගෝලියාව කියල කියන්නෙ භූමි ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවට වඩා 24 ගුණයකින් පමණ විශාල රටක්. හැබැයි ජනගහණය ඉන්නෙ මිලියන තුනක් වගේ බොහොම පොඩි ප්‍රමාණයක්. මේ මිලියන තුනෙන් 1,520,000ක්, ඒ කියන්නෙ 55.10%ක් අදහන්නේ බුදුදහම. ටිබෙට් බුදුදහමෙන් පරිණාමනය වුණු ලක්ෂණ තිබුණත් මොන්ගෝලියාවේ අදහන බුදුදහම ඒ රටටම ආවේණික ලක්ෂණ සහිත ධර්මයක් කිව්වත් වැරදි නැහැ. වර්ෂ 1271-1368 අතරතුර යුවාන් රාජවංශය සමයේදී තමයි මොන්ගෝලියාවේ බුදුදහම ආරම්භ වුණා කියලා සැළකෙන්නේ.

මේ රටවල් වලට අමතරව චීනය කියන්නෙත් ඉතා විශාල පිරිසක් බෞද්ධ ධර්මය අදහන රටක්. හරියට කිව්වොත් චීනයේ මිනිසුන් 244,130,000.00 ක් බුදුදහම අදහනවා. මේ ප්‍රමාණය ලෝකයේම බුදුදහම අදහන ප්‍රමාණයෙන් භාගයකට තරම් ආසන්න ලොකු ගාණක් උනත් චීනයේ මේ ප්‍රමාණය චීන ජනගහණයෙන් 18.20%ක් තරම් කුඩා අගයක්. ඒ නිසාම කොච්චර ලොකු පිරිසක් බුදුදහම අනුගමනය කළත් චීනය ප්‍රධාන බෞද්ධ රටවල අතරට ගැනෙන්නේ නැහැ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *