දැන් ඔය පරණ තාලේ අය ගොඩක් වෙලාවට කියන කතාවක්නේ, ඉස්සර කාලේ අපි කොයි තරම් අමාරුවෙන්ද දේවල් කරගත්තේ කියලා දැන් කාලේ ඉන්න පරම්පරාව දන්නෙ නැහැ කියන එක. ඕක ඉතින් හැමදාම තියෙන පරම්පරා ඝට්ටනේ හින්දා කියන කතන්දරයක් කියලා හිතුවට, ඒ කතාවේ ඇත්තක් නැතුවා නෙවෙයි. ඒ කියන්නේ අද වෙනකොට තාක්ෂණේ දියුණු වෙලා තියෙන විදියට, ඉස්සර කාලේ – ඒ කියන්නේ අසූව අනූව දශක වල- තාක්ෂණේ පාවිච්චි කරපු අයට දැන් තාක්ෂණික දියුණුවත් එක්ක ලැබිලා තියෙන පහසුකම් නිකම් හීන වගේ තමා. ෂුවර් නැද්ද? එහෙමනම් කියවලා බලන්න!
1. ටෙලිවිෂන්
ටෙලිවිෂන් ගැන කතා කරනකොට, ඇත්තටම අපි ඉස්සරම පාවිච්චි කරපු ටීවී වල රිමෝට් කන්ට්‍රෝල් තිබ්බෙත් නෑ. ආයෙ චැනල් එකක් මාරු කරන්න නං, ටීවී එක ලඟටම ගිහිල්ලා කරකවන්න ඕන. හැබැයි ඒකත් ඒ කාලේ ලොකු අවුලක් වුණේ නෑ. මොකද ඒ කාලේ- ඒ කියන්නේ අසූ ගණන් වල- ටීවී වල බලන්න චැනල් තිබුණේ දෙකයි. එක්කෝ ජාතික රූපවාහිනී එක්කෝ අයිටීඑන්. ඊට පස්සේ අනූ ගණන් වෙනකොටත් ඇත්තටම ටීවී චැනල් හතරකට පහකට වඩා තිබ්බෙ නෑ. හැබැයි දැන් වෙනකොට කේබල් ටීවී, සැටලයිට් ටීවී පහසුකම් එක්ක අපිට චැනල් දෙසිය තුන්සිය ගණන් බලන්න තියෙනවා.
ඒ වගේම තමයි ඉස්සර ටීවී ඉතාම පුංචි පෙට්ටි වගේ. අඟල් 12, 14 වගේ තමයි එන්නේ. ඊට පස්සේ ටික ටික ටීවී එකේ තිරය විශාල වුණත්, කාලයක් යනකල්ම ස්ටෑන්ඩර්ඩ් එක වෙලා තිබ්බේ අඟල් 21. හැබැයි දැන් වෙනකොට ටීවී පටන් ගන්නෙම අඟල් 32න්. රූප වල කොලිටියේ වෙනස් වීම ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!
2. රිමෝට් කොන්ට්‍රෝල්
ඇත්තටම අපි ටීවී අරගත්තු මුල් කාලේ රිමෝට් කන්ට්‍රෝල් තිබ්බෙ නෑ කියල කිව්වනේ. හැබැයි පස්සෙ කාලෙක රිමෝට් කන්ට්‍රෝල් ආවා. ඒවා ඇත්තටම අද කාලේ රිමෝට් කන්ට්‍රෝල් තරම් සංකීර්ණ නෑ. චැනල් මාරු කරන්න, සද්දෙ අඩු වැඩි කරන්න සහ තවත් ඒ වගේ අත්‍යාවශ්‍ය කාරණා කීපයක් ඇරෙන්න වෙන දෙයක් කරගන්න බට්න් තිබ්බෙ නෑ. ඒ වගේම, ඒ කාලේ රිමෝට් කන්ට්‍රෝල් අද වගේ ගෙදර සාලේ ඕනම තැනක ඉඳලා වැඩ කරන්නෙත් නෑ. ගොඩක් දුරට ටීවී එකට යම් දුරකින්, ටීවී එක කෙළින්ම තිබ්බොත් තමයි වැඩ කරන්නේ.
අද රිමෝට් කන්ට්‍රෝල් එකකින් ටීවී එකේ සම්පූර්ණ සිස්ටම් එකටම ප්‍රවේශ වෙන්න පුළුවන්. හැබැයි නිකමට හිතලා බලන්න. අද තියෙන ටීවී රිමෝට් එකේ අපි ජීවිතේට පාවිච්චි කරලා නැති බොත්තම් එහෙමත් තියෙනවා නේද?
3. මොබයිල් ෆෝන්ස්
මොබයිල් ෆෝන්ස් ගැන කියනකොට නම් ඉතින් ඇත්තටම සංසන්දනයක් කරන්නත් බැරි තරමයි. ඒ කියන්නේ ඉස්සර තිබුණු ගඩොල් භාග ෆෝන්ස් සහ දැන් තියෙන ස්මාට්ෆෝන්ස් ගත්තහම වෙනස අති පැහැදිළියිනේ. ඉස්සර තිබුණු ගඩොල් භාග මොබයිල් ෆෝන්ස් වලින් පස්සෙ ආපු එව්වා වත් සාක්කුවක දාගෙන යන්න අමාරුයි. කොහොමත් මුල්ම කාලේ ගඩොල් භාග මොබයිල් ෆෝන්ස් වලින් පුළුවන් වුණේ කෝල් එකක් ගන්න විතරයි. ඒකත් සිග්නල් තියෙන තැන් වලට වඩා සිග්නල් නැති තැන් වැඩියි. ඊට පස්සේ ආපු මොබයිල් ෆෝන්ස් වලින් කෝල් ගන්නවට අමතරව එස්.එම්.එස් යවන්නත් හැකියාව තිබ්බා. එච්චර තමයි. හැබැයි දැන් කාලේ ස්මාට්ෆෝන් එකකින් කරන්න බැරි මොනවද?
4. කම්පියුටර්ස්
ඔය ලැප්ටොප් කම්පියුටර්ස් ලංකාවේ ජනප්‍රිය නැති කාලෙක අපිට තිබුණේ ඩෙක්ස්ටොප් තමයි. ඒ කියන්නේ 90 දශකයේ විතර. අද කාලේ වෙනකොටත් හැබැයි ඒ ඩෙක්ස්ටොප් පරිගණක මහ විශාල වශයෙන් බාහිර පෙනුමෙන් වෙනස් වෙලා නෑ. කම්පියුටර් මොනිටර් එක බොහොම සිහින්, හුරුබුහුටි උපාංගයක් වෙලා තියෙනවා. එච්චරයි. හැබැයි කම්පියුටර් එකේ බාහිර පෙනුම වෙනස් වෙලා නැති වුණාට, මේ අවුරුදු විස්සක තිහක කාලේ ඇතුළතදී කම්පියුටර් එකේ ඇතුළේ තියෙන දේවල්, කම්පියුටර් එකේ තාක්ෂණය, කම්පියුටර් එකේ හැකියාවන් එහෙමනම් විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, ඉස්සර කම්පියුටර්ස් ජනප්‍රිය වේගෙන ආපු 2000 කාලේ තිබුණු හොඳම හාඩ් ඩ්‍රයිව් වල උපරිම කැපෑසිටි එක ගිගාබයිට් 40 යි. ඊට කලින් තිබුණු හාඩ් ඩ්‍රයිව් වල කෑපෑසිටි බැලුවේ මෙගාබයිට් වලින්. හිතාගන්න පුළුවන්නේ එතකොට. ඒත් දැන් හාඩ් ඩ්‍රයිව් පටන් ගන්නේම ටෙරා බයිට් වලින්. සමහරුන්ට ඒත් මදි!
5. ශීතකරණ
තාමත් ලංකාවේ ගොඩක් ගෙවල් වල පාවිච්චි කරන්නේ අවුරුදු දහයක් පහළොවක් පරණ ශීතකරණ වෙන්න පුළුවන්. හැබැයි තාමත් ඒ ශීතකරණත් මීට අවුරුදු තිහකට විතර කලින් තිබුණු ශීතකරණ වලට වඩ සෑහෙන්න දියුණුයි. උදාහරණයක් විදියට ගත්තොත්, පරණ තාලේ ශීතකරණ වල අයිස් කඩලම ඉවරයක් නෑ. ඒ තරමට අයිස් බැඳෙනවා. හැබැයි දැන් අපේ ගෙවල් වල තියෙන ශීතකරණ වල අයිස් බැඳෙන ප්‍රශ්න නෑ. ඒ වගේම කරන්ට් එක වුණත් අලුත් ශීතකරණ වලට යන්නේ අඩුවෙන්. හැබැයි මේ කියන්නේ දැන් කාලේ වෙළෙඳපොලේ තියෙන නවීන ශීතකරණ ගැනත් නෙවෙයි. එව්වා ඊටත් එහාට ගිහින් තියෙන්නේ. ගොඩක් අලුත්ම ශීතකරණ පාලනය වෙන්නේ ස්මාට් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් වලින්. ඉස්සර තිබුණු ෆ්‍රිජ් එක කූල් වෙන්නෙ නැති වගේ ප්‍රශ්න දැන් ෆ්‍රිජ් එක්ක ඇත්තෙම නැති තරම්.
ඒ විතරක් නෙවෙයි, ඉස්සර ෆ්‍රිජ් වලින් නිකුත් වුණු CFC වගේ අහිතකර වායූන් එහෙමත් දැන් ෆ්‍රිජ් වලින් පිටවෙන්නෙ නෑ කියලා තමයි කියන්නේ!
6. රවුටර්ස්
දැන් පොඩ්ඩක් ඉන්ටර්නෙට් ස්ලෝ වුණත් රවුටරේ පොළවේ ගහන්න හිතෙනවා කියලා මොහොතකට හරි හිතිලා තියෙනවද? එහෙමනම් කරුණාකරලා යමු දෙදාහේ අවුරුද්දට වගේ. ඒ කාලේ රවුටරේ ගෙදර ඕනෙම තැනක තියලා වැඩ කරන්න බෑ. කම්පියුටරේට වයර් එකක් අදින්න පුළුවන් තැනක තමයි තිබ්බේ. එතකොට ඒ කාලේ බ්‍රෝඩ්බෑන්ඩ්, 4G තිබ්බෙ නෑ. තිබ්බේ ඩයල් අප් කනෙක්ෂන්. ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න කලින් ඉතින් රවුටරේට වැඳල තමයි වැඩ පටන් ගන්නේ. මොකද ඩයල් අප් කනෙක්ෂන් එක මළාට එක පාරෙන් කනෙක්ට් වෙලා නෑ. සමහර වෙලාවට කනෙක්ට් වෙන්නෙම නෑ. එතකොට ස්පීඩ් එක? ඒ කාලේ තිබුණු බේසික් වෙබ් සයිට් එකක් ලෝඩ් වෙන්නත් සමහර වෙලාවට විනාඩි ගාණක් යනවා. දැන් කාලේ ෆිල්ම් එකක් විනාඩි දෙකතුනෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් නේ? ඒ කාලේ මෙගාබයිට් 400 ක විතර වීසීඩී කොලිටි ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්නත් සතියක් විතර යනවා! එතකොට වයි-ෆයි ගැන එහෙම කතා කරන්න එපා. එහෙම එව්වා තිබ්බෙ නෑ!
7. කැමරා
හැබැයි මේ කැමරා සීන් එකට එනකොට නං තත්ත්වේ ටිකක් වෙනස් වෙනවා. ඒකට හේතුව ඡායාරූප ශිල්පය කියන්නේ ආට් එකක් වීම වෙන්න පුළුවන්. දැන් ඒ කාලේ අපි පාවිච්චි කලේ රීල් දාන කැමරා නේ. එතකොට ෆොටෝ ටිකක් ගහනවා කියන්නේ වෙනමම මිෂන් එකක්. 12, 24 හෝ 36 ෆිල්ම් රීල් එකක් දාලා ෆොටෝ ගන්නේ ආයෙ මැණික් රකිනවා වගේ. මොකද රීල් එක ඉවර වුණාට පස්සේ ඔක්කොම ඉවරයි. රීල් එකක් යක්ෂ ගණන්. ඉතින් හරිම ලෝබකමෙන් තමයි ෆොටෝ ගන්නේ. ඔය ට්‍රිප් එකක් ගියහම එහෙම එක එකා තමන්ගේ ෆොටෝ ගන්න කියලා කියනකොට අපි ෆොටෝ ගන්නවා වගේ බොරුවට ක්ලික් කරපු අවස්ථාත් තිබුණා, රීල් එක ඉතුරු කරගන්න. ඊට පස්සේ ඔහොම කොහොම හරි ෆොටෝ ටික ගහගෙන, රීල් එක ඔතලා දෙන්න ඕන ස්ටුඩියෝ එකකට සුද්ධ කරන්න. ඊට පස්සේ ඉතින් ටික දවසකින් තමයි ෆොටෝ ටිකයි, නෙගටිව් ටිකයි ලැබෙන්නේ. හැබැයි ඉතින් එහෙම ෆොටෝ ටික අතට ලැබෙනකොට තියෙන සතුට ආයෙ කියලා නිම කරන්නත් බෑ.
දැන් කාලේ වැඩේ කොයි තරම් ලේසියිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි දැන් කාලේ මෙමරි කාඩ් එක පිරෙනකල් ෆොටෝ හාරපන්සීය ගහලා, ඒකෙන් හොඳ එව්වා තෝරලා ෆේස්බුක් අප්ඩේට් කරන එක, ඉස්සර කැමරා එක්ක කාපු කට්ට තරම් ආතල් නෑ කියලත් දැනෙනවා!
එතකොට නිකමට හිතන්න තව අවුරුදු තිහක් හතළිහක් යනකොට තාක්ෂණේ තව කොයි තරම් දුරට දියුණු වෙයිද කියලා. එතකොට ඒ දියුණු වෙන තාක්ෂණේ එක්ක තව වැඩ කටයුතු පහසු වෙනකොට, අද කාලේ ඉන්න අයට එතකොට කියන්න පුළුවන් “අපේ කාලේ දේවල් කරගන්න තිබුණු අමාරුව එක්ක බලනකොට දැන් කොච්චර ලේසි වෙලාද, උඹලට අගයක් නෑ” කියලා!
Leave a Reply