පහුගිය අවුරුද්දේ ඇඳිරි නීති සමයේ අපිට හිතුන හිතුන විදියට මස් මාළු මිලදී ගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒ හින්ද නිතරම මස් මාංශ වලට හුරු වෙලා හිටපු අය පොඩ්ඩක් විතර අපහසුතා විඳින්න ඇති. දැන් ආයෙත් සංචරණ සීමා වගේ දේවල් නිසා කලින් වගේම හිතෙන හිතෙන විදියට, හිතුණු දෙයක් ගිහින් අරගෙන කන්න පුළුවන් කාලයක් නෙමෙයි. ඒ නිසා වෙනත් දේවල් වලින් මස් වගේ රසට හදන්න පුළුවන් කරි ටිකක් ගෙනාවා. අපි හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා.
1. මුං මස් කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
- රැයක් පෙඟෙන්න දාපු මුං ඇට ග්‍රෑම් 200
- සුදුළූණු ටිකක්
- ලියාගත් රතුළූණු ගෙඩි 3
- රම්පේ හා කරපිංචා
- අමුමිරිස් කරල් 2
- මිරිස්කුඩු
- කහකුඩු
- පොල්කිරි කෝප්ප 1
- උම්බලකඩ ටිකක්
- පෙඟෙන්න දාගත් මුං ඇට ටික අඹරගන්න. මේකට මිරිස්කුඩු, කහකුඩු ටිකක් දාලා ලියාගත් ළූණු ගෙඩියක්, සුදුළූණු බික් 2ක්, කරපිංචා හා ලුණු ටිකක් දාලා නැවත හොඳට ග්‍රයින්ඩ් කරගන්න.
- මේ මිශ්‍රණය අඟලක වගේ උසට හිටින්න ට්‍රේ එකකට දාලා හොඳට ස්ටීම් කරගන්න. ස්ටීම් වුණාම තරමක කෑලි කපාගන්න.
- වෙනම පෑන් එකකට ලියාගත් ළූණු, සුදුළූණු, රම්පේ, කරපිංචා, උම්බලකඩ, මිරිස්කුඩු තේ හැඳි 1, කහකුඩු තේ හැඳි 1/4ක් හා තුනපහකුඩු තේ හැඳි 1/2ක් දාලා වතුර ටිකක් දාලා ලිපේ තියන්න. මේ ටික තෙම්පරාදු කරල ගන්නත් පුළුවන්.
- වතුර නටනකොට මුං මස් ටික දාලා කිරි ටික දාලා උතුරවගන්න.
- රස අනුව ලුණු එකතු කරන්න. කැමතිනම් කිරි හිඳෙනකල් ලිපේ තියාගන්න.
2. පරිප්පු කෑලි කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
- පරිප්පු ග්‍රෑම් 200
- අබ ටිකක්
- මිරිස්කුඩු තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/4
- බැදපු තුනපහකුඩු තේ හැඳි 1/4
- ලියාගත් රතුළූණු ගෙඩි 2
- කෑලිමිරිස්
- රම්පේ හා කරපිංචා
- කපාගත් තක්කාලි ගෙඩි 1
- ලුණු
- මිටිකිරි කෝප්ප 1
- අමුමිරිස් කරල් 2
- තෙල් ටිකක්
- පරිප්පු පැය 3ක් පෙඟෙන්න දාගන්න. ඊළඟට පරිප්පු ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න. රස අනුව ලුණු හා කෑලිමිරිස් ටිකක් දාලා කලවම් කරලා අඟලක ඝණකම තියන ට්‍රේ එකකට දාලා හොඳට ස්ටීම් කරගන්න. මේක හතරැස් කෑලි කපාගන්න. (කැමති නම් පරිප්පු කෑලි ටික තෙලේ බැදල ගන්නත් පුළුවන්)
- පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. ඊළඟට ලියාගත් ළූණු, සුදුළූණු, අමුමිරිස්, රම්පේ හා කරපිංචා දාලා තෙම්පරාදුකරගන්න. මේකට මිරිස්කුඩු, කහකුඩු, බැදපු තුනපහකුඩු දාලා වතුර ටිකක් දාගන්න.
- ටිකකින් පරිප්පු කෑලි ටික එකතු කරලා තැම්බෙන්න අරින්න. අන්තිමට මිටිකිරි ටික දාලා උතුරවගන්න. පරිප්පු කෑලි නොකැඩෙන සේ හැඳිගාන්න.
3. ස්ටීම් බිත්තර කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 5
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- චොප්කරගත් අමුමිරිස් කරලක්
- කෑලිමිරිස් ටිකක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කහකුඩු ටිකක්
- චොප්කරගත් කරපිංචා ටිකක්
- දියකිරි කෝප්ප 1
- මිටිකිරි කෝප්ප 1
- බිත්තර ටික කඩාගෙන ඒකට ළූණු, අමුමිරිස්, කරපිංචා දාගන්න. මේකටම කෑලිමිරිස්, කහකුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු එකතුකරන්න. හොඳට විස්ක් කරගන්න. දැන් මේක විනාඩි 20ක් විතර හොඳට ස්ටීම් කරගන්න. ඊළඟට තරමක කෑලි කපාගන්න.
- වෙනම භාජනයකට තෙල් ටිකක් දාල රත්වෙනකොට චොප්කරගත් සුදුළූණු හා ළූණු, කරපිංචා ටික දාලා ෆ්‍රයි කරගන්න. ඊළඟට මේකට දියකිරි ටික දාගන්න. මිරිස්කුඩු තේ හැඳි 1, කහකුඩු තේ හැඳි 1/4, තුනපහකුඩු තේ හැඳි 1/2 දාලා කලවම් කරගන්න.
- ටිකකින් බිත්තර කෑලි ටික අතුරලා මිටිකිරි ටික දාගන්න. කිරි ටික උතුරනකොට රස අනුව ලුණු දාලා ලිපෙන් බාගන්න.
4. මස් වගේ කොහිල කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
- කොහිල අල 2
- තුනපහකුඩු
- මිරිස්කුඩු
- කහකුඩු
- තෙල් ටිකක්
- අබ ටිකක්
- සූදුරු ටිකක්
- රම්පේ හා කරපිංචා
- අමුමිරිස් කරල් 2
- එනසාල් ඇට 2
- කරාබුනැටි 2
- චොප්කරගත් සුදුළූණු බික් 3
- චොප්කරගත් රතුළූණු ගෙඩි 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- මිටිකිරි කෝප්ප 1
- දියකිරි කෝප්ප 1
- කපාගත් තක්කාලි ගෙඩි 1
- කොහිල අල තරමක කෑලි කපාගන්න. මේකට මිරිස්කුඩු, තුනපහකුඩු, කහකුඩු අතගාලා පැය භාගයක් තියන්න. ඊළඟට වෙනම තාච්චියක් ලිපේ තියලා රත්වෙනකොට අබ ටික දාගන්න. ඒකටම සූදුරු ටිකත් දාලා බැදගන්න. ටිකකින් රම්පේ, කරපිංචා, එනසාල්, කරාබුනැටි, ළූණු, සුදුළූණු හා අමුමිරිස් ටික දාගන්න.
- මේක තෙම්පරාදු වුණාම සීසන් කරපු කොහිල ටික දාලා මිරිස්කුඩු තේ හැඳි 1, කහකුඩු තේ හැඳි 1/4ක් දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
- හොඳට කලවම් කරලා ටික වෙලාවකින් දියකිරි ටික දාගන්න. කොහිල ටික තැම්බිලා දියකිරි හිඳුණම මිටිකිරි ටික එකතු කරලා හොද්ද හිඳෙන්න දෙන්න.
- ලිපෙන් බාන්න කිට්ටුව තක්කාලි ගෙඩිය කපලා එකතු කරන්න.
5. මස් රසට බිම්මල් ව්‍යාංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
- හතු පැකට්1
- චොප්කරගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- සියඹලා යුෂ ටිකක්
- කරදමුංගු ඇට 2
- රම්පේ හා කරපිංචා
- අබ ටිකක්
- උළුහාල් ටිකක්
- කුරුඳුපොතු කෑල්ලක්
- සූදුරු ටිකක්
- කහකුඩු තේ හැඳි 1/4
- බැදපු තුනපහකුඩු තේ හැඳි 1/2
- බැදපු මිරිස්කුඩු තේ හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- තෙල් ටිකක්
- හතු ටික හොඳට සෝදලා ලුණු දාලා විනාඩි 15ක් තියන්න. ඊළඟට මේක පොඩි තීරු වලට ඉරාගන්න.
- හතු ටිකට මිරිස්කුඩු, කහකුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු අතගාලා විනාඩි 20ක් තියන්න.
- භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ හා සූදුරු ටිකදාගන්න. මේකටම චොප්කරගත් ඉඟුරු සුදුළූණු ටිකත් දාගන්න. ඊළඟට රම්පේ හා කරපිංචා දාලා එනසාල්, කරාබුනැටි උළුහාල් හා කුරුඳුපොතු දාලා තෙම්පරාදු කරගන්න.
- දැන් සියඹලා යුෂ ටික දාලා ළූණු ටික එකතු කරන්න. ළූණු මැලවෙනකොට බැදපු මිරිස්කුඩු හා තුනපහකුඩු ටික දාගන්න.
- ගින්දර අඩු කරලා හතු ටික දාලා කලවම් කරන්න. මේකට වතුර කෝප්ප 1/4ක් වගේ දාලා වහලා හිඳෙනකම් උයාගන්න.
Leave a Reply