තමන්ගේ අගනුවර වෙනස් කළ රටවල් 7ක්

අපේ ලංකාවේ ඉතිහාසය ගැන අධ්‍යයනය කරද්දී රාජධානි නිරිතදිගට මාරු වීමත් එක්ක අපේ රටේ අගනුවරවල් මාරු වීම ගැන අපි කටපාඩමින් ඉගෙන ගන්නවා. ඒ වගේම නිදහස ලැබීමෙන් පස්සේ කොළඹින් අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත මාරු වීම ගැනත් ඉගෙන ගන්නවා. හැබැයි අපි බොහෝ දෙනෙක්ට වෙනත් රටවල අගනුවරවල් මාරු වීම ගැන හරි අවබෝධයක් නැහැ. ඉතින් අපි හිතුවා ලෝකයේ රටවල මෑත අතීතයේ දී මාරු වෙච්ච අගනුවරවල් කීපයක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න.

 

1. නයිජීරියාව

වෙරළාසන්න පිහිටා තිබූ ලාගෝස් අගනුවර නයිජීරියාවේ අගනුවර බවට පත්වුණේ 1914 ඉඳන්. නමුත් මෙම නගරය ලෝකයේ බොහොමයක් සංවර්ධනය වුණු නගර වගේම නිසි සැලසුමකට අනුව සකස් වුණු එකක් නෙමෙයි. මේ නිසා 1976 දී එරට ප්‍රධානියා වුණ ජනරාල් මුර්ටලා ආර් මොහොමඩ් අබූජා නගරය නයිජීරියාවේ අගනුවර විදිහට සංවර්ධනය කරන්න තීරණය කළා. මේ සඳහා තවත් හේතු ගණනාවක් බලපෑවා. ගෝත්‍රික ප්‍රජාවන්  රාශියක් ජීවත් වුණු නයිජීරියාවේ අබූජා ප්‍රදේශයට කිසිදු ගෝත්‍රික ප්‍රජාවක් හිමිකම් කීවේ නැහැ. මේ නිසා රටේ ස්ථාවරත්වයටත් මේ තීරණය බලපෑවා. එක්දහස් නමසිය අසූව දශකයේදී නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණු අතර 1991දී එය නයිජීරියාවේ අගනුවර වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

 

2. ඊජිප්තුව

ඊජිප්තුවේ අගනුවර මොකක්ද කියලා යම් කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ කයිරෝ කියලා පිළිතුරු දෙයි. නමුත් මේ පිළිතුර ඉදිරි දශකයේදී නම් නිවැරදි වෙන්නේ නැහැ. වර්තමානයේ දී මෙම නගරයේ ජීවත් වන අති දැවැන්ත ජන ඝනත්වය සහ වෙනත් කාරණා නිසා එරට ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි විසින් නව අගනුවරක් කයිරෝ නගරයෙන්  කිලෝමීටර් 45 ක් පමණ නැගෙනහිරින්  නිර්මාණය කිරීමට තීරණය කළා. සිංගප්පූරුව තරම් භූමි භාගයක් පුරා පැතිර යන මෙම නගරයට මිලියන පහකට අධික ජනතාවක් වාසයට පැමිණෙනු ඇතැයි අනුමාන කෙරෙනවා. කොහොම නමුත් මේ නගරයේ නම පිළිබඳව මෙතෙක් එකඟතාවයකට පැමිණ නැහැ.

 

3. කසකස්ථානය 

1991දී සෝවියට් සංගමයෙන් නිදහස ලබා ගනිද්දී කසකස්ථානය සිය අගනුවර ලෙස නම් කළේ අල්මාටි නගරයයි. නමුත් මෙම නගරයේ සංවර්ධන කටයුතු කිරීම භූමි ප්‍රදේශය අනුව පහසු වූයේ නැහැ. එසේම මෙය චීන දේශ දේශ සීමාවට ඉතා ආසන්නයෙන් පැවතුණා. මේ නිසා එරට රජය අස්තානා නගරය වෙත එරට අගනුවර මාරු කරනු ලැබුවා. පසුව එම නගරය ඒ රට වැඩිම කලක් පාලනය කළ ජනාධිපතිවරයා වන නූර්සුල්ටාන් නමින් නම් කිරීමට තීරණය කරනු ලැබුවා.

 

4. බ්‍රසීලය

 

යුරෝපීයයන් දකුණු ඇමෙරිකාවට ගොඩබැසි අවධියේ පටන් රියෝ ද ජැනයිරෝ නගරය බ්‍රසීලයේ අගනුවරව පැවතුණා. නමුත් අනාගත අභියෝගවලට  මෙම නගරයේ සැලසුම බාධාවක් බව වටහා ගත් බ්‍රසීල රජය 1960 වසරේ දී බ්‍රසීලියා නමින් නව නගරයක් නිර්මාණය කොට එය අගනුවර ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. බ්‍රසීලියා නගරය නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට දායාදයක් ලෙස යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබුණා.

 

5. මියන්මාරය 

1948 ඉඳන් 2005 වෙනකල් මියන්මාරයේ අගනුවර බවට පත් වෙලා තිබ්බේ  යැන්ගොන් නගරයයි. සමහර අය මේ නගරයේ නිවැරදි නම යැන්ගොන් කියලා තර්ක කළා. කොහොම වුණත්  2005 දී එරට පාලනය කළ හමුදා රජය මගින් නෙයිපෙයිඩෙව් එරට නව අගනුවර ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මේ සඳහා බලපෑවේ කුමන හේතු ද යන්න පිළිබඳව එකඟතාවයක් නැහැ. ඇතැම් බුරුම ජාතිකයන් පවසන්නේ  අනාවැකිකරුවෙකු විසින්  සිදුකරනු ලැබූ අනතුරු ඇඟවීමක් නිසා  අගනුවර වෙනස් කිරීමට එරට හමුදා ප්‍රධානියා තීරණය කළ බවයි.

 

6. බෙලිසී

බෙලිසිහි පැරණි අගනුවර වන බෙලිසි සිටි නගරය 1961 දී කුණාටුවක් මගින් සම්පූර්ණයෙන්ම පාහේ විනාශව ගියා. මේ නිසා එරට රජය නව අගනුවරක් නිර්මාණය කිරීමේ සැලැස්මකට යොමුවුණා. 1967 දී මෙම නගරය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ වූ අතර 1970 දී එහි පළවෙනි අදියරේ කටයුතු නිමාවට පත්වුණා. කෙසේ නමුත් මේ ව්‍යාපෘතිය කෙරෙහි දේශීයව සහ විදේශීයව එතරම් හොඳ ප්‍රතිචාර හිමි වුණේ නැහැ. උදාහරණයක් විදිහට බොහෝ රටවල් සිය තානාපති කාර්යාල නව අගනුවර වෙත ගෙනයාම හිතාමතාම පමා කරනු ලැබුවා.

 

7. කැන්බරා

ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නගරය සීයට සීයක්ම සැලසුම්කරණය කරන ලද නගරයක්. මේ නගරය අගනුවර ලෙස නිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියාවට සිදුවන්නේ එරට අගනුවර  විය යුත්තේ සිඩ්නිද මෙල්බර්න්ද යන්න පිළිබඳව ඇති වුණු විවාදයේ ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ නමුත් මෙම නගරය ඉදි වුණු භූමිය වසර විසිදහසකට අධික කාලයක පමණ සිට එරට ආදිවාසීන් ජීවත් වූ ප්‍රදේශයක් ලෙස සැලකෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *