අපේ රටේ දමිළ සාහිත්‍යවේදි​යෝ

අපි ගොඩක් වෙලාවට යුරෝපයේ සාහිත්‍යවේදීන් ගැන හොඳටම දන්නවා. රුසියාවේ සාහිත්‍යවේදියෙක් ගැන ඇහුවොත් එහෙම අලගිය මුලගිය වැලගිය සේරම වුණත් කියන්න පුළුවන්. පශ්චාත් නූතනවාදය ගැන ඒ සංකල්පය ආරම්භකයන්ටත් වඩා හොඳට විස්තර කරන්න පුළුවන්. හැබැයි කවුරුහරි  ඇහුවොත් අපේ රටේ දෙමළ සාහිත්‍යවේදියෝ ගැන දන්නවාද කියලා උත්තරේ මොකක් වෙයිද? අපි අද කතා කරන්න යන්නේ අපේ රටෙන් බිහිවුණු විශිෂ්ට ගණයේ දෙමළ සාහිත්‍යවේදියෝ කීපදෙනෙක් ගැන.

 

 

1. වී. අකිලේසපිල්ලේ 

එක්දහස් අටසිය ගණන්වල ජීවත් වුණු මෙතුමා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරයෙක්. ඒ කාලේ සිංහල දෙමළ උසස් පන්තිය තමන්ගේ මව් භාෂාවට වඩා ඉංග්‍රීසියට තැන දුන්නා (අද වුණත් ඒක වෙනසක් වෙලා නැහැ) මේ නිසා එතුමාට දෙමළට වඩා ඉංග්‍රීසිය සමීප වුණා. ගුරුවරයෙක් විදිහට තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරපු එතුමා පසුව විදුහල්පතිවරයෙක් බවටත් පත් වුණා. නමුත් එතුමා තුළ තමන්ගේ ජනවර්ගයට, භාෂාවට දැඩි ඇල්මක් ඇති වෙමින් තිබුණා. එහි ප්‍රතිඵලය වුණේ විදුහල්පති වෘත්තියට සමු දුන්න එතුමා දෙමළ භාෂාව සහ හින්දු ආගම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩ කටයුතු කිරීම. ඒ කාලයේ දී එතුමා  සාහිත්‍ය කෘති ගණනාවක් රචනා කරනු ලැබුවා.

 

 

2 .වී. අයි. එස් ජෙයපාලන්

ජෙයපාලන් කියන්නේ අපේ රටේ ආන්දෝලනාත්මක චරිතයක්. නෝර්වේ රටේ  පුරවැසිභාවය ලබාගෙන ඉන්න ජෙයපාලන්ට සිංහල දේශපාලන පක්ෂ වලින් දැඩි විරෝධයක් එල්ල වුණා. ඒ ඔහු එල්ටීටීඊ හිතවාදී ස්ථාවරයක ඉන්නවා කියන පදනම උඩ. නමුත් එල්ටීටීඊ සංවිධානයෙනුත් ඔහුට යම් යම් විරෝධතා එල්ල වුණා. යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ ඉඳන් සාහිත්‍යකරණයේ යෙදෙන ජෙයපාලන් දකුණු ඉන්දියාව තුළ ජනප්‍රිය සාහිත්‍යවේදියෙක් බවට පත්වෙලා තියෙනවා.

 

 

3. ජේම්ස් තම්බිමුත්තු

 

ජේම්ස් තම්බිමුත්තු උපත ලැබුවේ ලංකාවේ වුණාට ඔහුගේ සාහිත්‍යකරණයේ වැඩි කාලපරිච්ඡේදයක්  ගෙවී ගියේ  බටහිර රටවල් වලයි. ඔහු විසින් ලන්ඩනයේදී පළ කරන ලද සඟරා සාහිත්‍ය කව තුළ විශාල වශයෙන් කතාබහට ලක්වුණා. ඉන්පසුව කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ගත කළ ඔහු එහිදීත් සාහිත්‍යකරණය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදුන්නා.

 

 

4. ශ්‍යාම් සෙල්වදොරෙයි 

අද වෙනකොට ලාංකික දෙමළ සාහිත්‍යවේදීන් අතරින් සුප්‍රකටතම සාහිත්‍යවේදියා විදිහට සෙල්වදොරෙයිව හඳුන්වන්න පුළුවන්. ඔහුගේ නම සිංහල පාඨකයන්ට සමීප උනේ  සුගතපාල ද සිල්වා විසින් ඔහුගේ “ෆනී බෝයි” කෘතිය “අමුතු ඉලන්දාරියා” නමින් පරිවර්තනය කිරීමත් එක්ක. මෑතකදී එම නවකතාව චිත්‍රපටයක් බවටත් පත් වුණා.

 

 

5. සෙල්වි ත්‍යාගරාජා 

යාපනයේ ගොවි පවුලක උපත ලැබූ ඇය නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල ලබා ගනිමින් යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මේ කාලයේදී ඇයගේ පුරෝගාමීත්වයෙන් දෙමළ බසින් සඟරාවක් පළ වුණා. ලංකාව තුළ පැවති ත්‍රස්තවාදී යුද්ධය මෙන්ම දෙමළ ජන සමාජය වෙලා ගනිමින් පැවති විවිධ ප්‍රශ්න ඇයගේ කවි වලට සහ නිර්මාණ වලට වස්තු විෂය වුණා. නිර්මාණකරණය තුළින් ඇය දැක්වූ දායකත්වය තමන්ගේ සංවිධානයට තර්ජනයක් වන බව දුටු එල්ටීටීඊ සංවිධානය විසින් ඇයව පැහැරගෙන ගොස් මරා දමනු ලැබුවා.

 

 

6. සරෝජිනී දේවී අරුණාචලම් 

සිංහල සහ දෙමළ ජන සමාජය අතර පැවැති පරතරය අඩු කිරීමට සුවිශාල දායකත්වයක් දැක්වූ  සාහිත්‍යයවේදිනියක් විදිහට සරෝජනී දේවී අරුණාචලම්ව හඳුන්වන්න පුළුවන්. ඇය විසින් සිංහල ලේඛකයන් ගණනාවකගේ කෘති රාශියක් දෙමළ භාෂාවට පරිවර්තනය කරනු ලැබුවා. මුනිදාස කුමාරතුංගගේ “හත්පණ”, “මගුල් කෑම”, “හීන්සැරයේ” සිට ආර්. ආර් සමරකෝන්ගේ “ගේ කුරුල්ලෝ” නවකතාව දක්වා නිර්මාණ රාශියක් ඒ අතර වනවා.

 

 

7. සෙන්ගෙයි ආලියන් 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වුණු ආලියන් පසුකාලයක යාපනය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා විදිහටත් කටයුතු කළා. ලේඛනයෙන් නොනැවතුන ඔහු විචාරකයෙක් විදිහටත් දෙමළ සාහිත්‍ය සමාජය තුළ ප්‍රසිද්ධියක් ලැබුවා. ඔහු විසින් රචනා කරනු ලැබූ නවකතා සහ කෙටිකතා රාජ්‍ය සම්මානවලටද පාත්‍ර වූ අතර ඇතැම් නිර්මාණ සිංහලට සහ ඉංග්‍රීසියට පරිවර්තනය වුණා.

 

මේ ලිපිය සඳහා අපි ඇතුළත් කළේ දෙමළ සාහිත්‍යවේදීන් කීප දෙනෙක් පමණයි. ඇතැම් විට අපට වඩා හොඳට මේ සාහිත්‍යවේදීන් ගැන ඔබ දන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම අපි නොදන්න සාහිත්‍යවේදීන් ගැනත් ඔබ දන්නවා වෙන්න පුළුවන්. ඒ අය ගැන තොරතුරු කමෙන්ට් එකකින් අපිත් එක්ක බෙදා ගන්න ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා කියන ඉල්ලීම අපි ඔබෙන් කරන්න.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *