කොරෝනා තුන්වෙනි රැල්ලත් එක්ක අපි හැමෝම පුදුම විදිහට අසරණ වෙලා. දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සෙම මේ කොරෝනා කියන කරදරේට පුරුදු වෙලා නිසාම ඒකත් දැන් ජීවිතේම කොටසක් වෙලා තරම්. කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම ඉවරවුන දවසක උනත් අපිට මාස්ක් එකක් නොදා එළියට බහින්න බැරිවෙයි. ඒ තරමටම ඒ දේවල් දැන් පුරුදු වෙලා. ඒත් හිතේ බයනම් එන්න එන්නම වැඩිවෙනවා. තුන්වෙනි රැල්ල වෙද්දී රෝගයේ බරපතළකම, මරණ අනුපාතය හැමදෙයක්ම වැඩිවෙලා. ඒ නිසා මිනිස්සු ඉස්සෙල්ලටත් වඩා හුඟක් බයෙන් පරිස්සම් වෙනවා. ඒත් නොයාම බැරි ගමන් බිමන් තියෙනවනේ. මේ කියන්නෙත් එහෙම ගමනක් ගැනයි.
පුංචි දරුවෝ නිතර ලෙඩ වෙනවා. කොච්චර පරිස්සම් කළත් ලෙඩක් නොහැදී තියාගන්න හරිම අමාරුයි. ඒ වෙලාවට අපිට වගේ ගොඩ වෙදකමක් කරල ගෙදර තියාගන්නත් බැහැනේ. හරි හමන් වෛද්‍යවරයෙකුට පෙන්නල ප්‍රතිකාරයක් කරන්න ඕන. ඒ වගේම තමයි කාලෙන් කාලෙට බබාලට විදින්න ඕන එන්නත් එහෙමත්. මාසයක් එකහමාරක් පරක්කු කරන්න පුළුවන් උනාට ඒවා අවශ්‍ය කාලෙට නොවිද ඉන්න බැහැ. ඉතින් ගමේ ක්ලිනික් එකෙන්, එහෙමත් නැත්තම් පෞද්ගලික රෝහලෙන් හරි එන්නත්කරණයත් කරන්නම වෙනවා. ඉතින් මේ විදිහේ මොකක්ම හෝ උවමනාවකට පුංචි බබෙක් එක්ක වෛද්‍ය හමුවකට යනකොට පිළිපදින්න ඕන උපදෙස් කීපයක් තමයි මේ.
1. කලින් අංකයක් වෙන්කරගන්න
වෛද්‍ය උපදෙස් ගන්න යනව කිව්වම විවිධ ක්‍රම තියෙනවනේ. පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකුගේ හමුවකට අංකයක් වෙන්කරගන්න පුළුවන්. නැත්තම් පෞද්ගලික රෝහලක බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙක් මුණගැහෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් ගෙදරට කිට්ටුම වෛද්‍ය මධ්‍යස්ථානයේ නිතර ප්‍රතිකාර ගන්න හුරුවෙලා ඉන්න වෛද්‍යවරයා මුණගැහෙන්නත් පුළුවන්. ඔය මොන ක්‍රමය තෝරගත්තත් කලින් අංකයක් වෙන් කරගන්න. ප්‍රයිවට් චැනලින් නම් ඔන්ලයින් හෝ දුරකථනය හරහා අංකයක් වෙන්කරවා ගන්න. ලඟම තැනකට යනවනම් ඒත් කලින් එක්කෙනෙක් ගිහිල්ලා අංකයක් අරගෙන එන්න.
2. හැකිතරම් ඔන්ලයින්ම මුදල් ගෙවන්න
ඒ වගේම තමයි මේ වෛද්‍ය හමුවට අදාළ මුදල් ගෙවීම හැකිතරම් ඔන්ලයින් මාධ්‍ය හරහාම කරන්න. එතකොට මුදල් අතපතගෑම හරහා රෝගය බෝවෙන්න තියෙන අවදානම නැහැනේ. හැබැයි ලඟ තැනක වෛද්‍යවරයෙක් මුණගැහෙන්න යද්දි මෙහෙම ඔන්ලයින් මුදල් ගෙවන්න හැකියාවක් නැහැනේ. ඒ නිසා හැකිතරම් මාරු සල්ලි අරගෙන යන්න. ඉතුරු මුදල් ගන්න අවස්ථාවක් නොතියා හරි ගාණම දීලා එන්න පුළුවන්.
3. නියමිත වෙලාවටම යන්න
කලින් වෙන් කරගත්ත අංකයට අදාළ වෙලාව රෝහලෙන් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් අහගෙන ඒ වෙලාවටම ඒ තැනට යන්න. කලින් ගිහින් ඉන්නකොට සෙනඟට නිරාවරණය වෙන්න තියෙන අවස්ථා වැඩියිනේ. කලින් අංකය වෙන් කරල, ඔන්ලයින්ම මුදල් ගෙවල තියෙන නිසා කලින් ගිහින් කරන්න දෙයකුත් නැහැ. ඒ නිසා අදාළ වෙලාවටම ගිහින් ඉක්මනින් වැඩේ කරගෙන එන්න.
ඒ වගේම අනිවාර්යයෙන්ම ගෙදරින් දෙන්නෙක්. ඒ කිව්වේ බබා සහ තව දෙන්නෙක් මේ ගමනට යන්න. නැත්තම් එකම කෙනා බබා එක්ක ඔක්කොම වැඩ කරගන්න ගියාම බබාව බාහිර පරිසර සාධක වලට නිරාවරණය වෙන අවදානම වැඩියි.
4. අංකය එනතෙක් එළිමහනේ රැඳෙන්න
කලින් අංකයක් වෙන් කරගෙන අදාළ වෙලාවටම ඒ තැනට යන්න කිව්වට ඒ වෙලාව හැම අවස්ථාවේම තප්පරේටම හරියන්නෙ නැහැ ඉතින්. ඒ වගේ වෙලාවට එක්කෙනක් ගිහිල්ල අදාළ විස්තරය අහගෙන එනකන් අනිත් කෙනා බබාත් එක්ක ආපු වාහනයේම හෝ එළිමහනේ රැඳී ඉන්න. කළබලේට ඇතුළට ගිහිල්ල සෙනඟ ගොඩේ බබාව තියාගෙන ඉන්න එපා. පුංචි බබාලා දකින දකින දේ අතගාන්න බලනවා. අනික සමහර මිනිස්සු ලෙඩේ බරපතළකම නොසළකා බබාව හුරතල් කරන්න එනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ එළියට වෙලා හිටියම.
5. මාස්ක්, ෆේස් ශීල්ඩ්, සැනිටයිසර්
මේවානම් කියන්නවත් ඕනෙ නැති තරමටම අපිට දැන් හුරුවෙලා. ලොකු අයනම් කොහොමත් මාස්ක් දාගෙන යනවනේ. හැබැයි පුංචි බබාලට මාස්ක් දාන එක වෛද්‍යවරු අනුමත කරන්නෙ නැහැ. එයාලගෙ පෙනහළු සහ ශ්වසන මාර්ගය ශක්තිමත් නැති නිසා හුස්මගැනීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් මාස්ක් පැළඳීම අනිවාර්යය කරන්නෙ වයස අවුරුදු 5ට වැඩි දරුවන්ටයි. ඒත් බබාට ආරක්ෂාවක් අවශ්‍ය නිසා ෆේස් ශීල්ඩ් එකක් හරි අරගෙන යන්න. එක දිගට දාගෙන නොහිටියත් ඇතුළට යන ටික වෙලාවට කොහොමහරි මුහුණ ආවරණය කරවන්න උත්සාහ කරන්න. පුංචිම, අතේ ඉන්න බබෙක්නම් ශීල්ඩ් එකෙන් මුහුණ ආවරණය කරගෙන අරගෙන යන්න. මොකද කොරෝනා රෝගය වාතය මඟින් බෝවෙනවා කියලත් දැන් යම් යම් වෛද්‍ය මත පළවෙනවනේ.
මතක ඇතුවම අතේ ගෙනියන්න පුළුවන් සැනිටයිසර් බෝතලයක් අරගෙන යන්න. රෝහල හෝ වෛද්‍ය මධ්‍යස්ථානය ඇතුළට ගිය වෙලාවේ ඉඳලා වරින් වර වැඩිහිටියන් දෙපළගේ අත් සැනිටයිසර් කරගන්න අමතක කරන්න එපා. අපි නොදැනුවත්ව හරි දෙයක් ඇල්ලුවත් අවදානම අඩුවෙනවා මේ වැඩෙන්.
6. විදුලි සෝපාන භාවිතා කරන්න එපා
ඉස්සර ලේසියට විදුලි සෝපාන භාවිතා කළාට මේ දවස්වල හැකිතාක් පඩිපෙළවල් භාවිතා කරන්න. සෝපානයක් ඇතුළේ පුංචි ඉඩේ වැඩි පිරිසක් රැඳෙන නිසා සමාජ දුරස්ථභාවය පවත්වාගන්න අපහසුයි. අනික ස්පර්ශ වෙන්න තියෙන අවස්ථා වැඩියි. ඒ නිසා පඩිපෙළවල් භාවිතා කරන්න. පඩිපෙළ වලත් අත්වැට අල්ලන්න යන්න එපා.
7. අවශ්‍ය කාරණය පමණක් ඉක්මනින් සිදුකරගන්න, ගෙදර ඇවිත් ඉක්මනින් පිරිසිදු වෙන්න
ඒ යන අතරමඟ වෙන ගමන් බිමන් යොදාගන්න එපා. අඩුම තරමේ වාහනේට ඉන්ධන ලබාගන්න වැඩේ පවා කලින් කරගන්න. ඒ වගේම දොස්තර හමුවෙලා ඉස්සර වගේ පහුගිය ඔක්කොම ප්‍රශ්න අහලා විසඳගන්න බැහැ දැන්. ඒකෙන් වෙන්නෙ ඔබ එතැන රැඳෙන කාලය වැඩිවෙනවා වගේම ඔබෙන් පස්සෙ යන්න බලාගෙන ඉන්න අයටත් වැඩි කාලයක් ඉන්න වෙන එක. ඒ නිසා අද දවසේ පෙන්වන්න ගිය රෝගය ගැන ඉක්මනට කියලා ප්‍රතිකාර අරගෙන ඉක්මනින්ම ගෙදර එන්න.
ගෙදර ඇවිල්ලා නාල පිරිසිදු වෙන එක ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. බබාවත් ඒ වගේම පිරිසිදු කරන්න අනිවාර්යෙන්ම.
Leave a Reply