රටක් දියුණු රටක් වෙද්දි ඒ රටවල තියෙන කලාව, සාහිත්‍යය වගේම ආදර්ශමත් චරිතත් වෙනස් වෙනවා. චීන රට කාර්මික රටක් විදිහට කොපමණ දියුණු වුණත්, ඒ රට සාගත වලින් ගලවගන්නට මහා මෙහෙයක් කළ කෘෂි විද්‍යාඥයින් අමතක කළේ නැහැ. යුවාන් ලොන්ග්පින් කියන කෘෂි විද්‍යාඥයා සහ ඔහුගේ කණ්ඩායම දෙමුහුම් සහල් වර්ග නිපදවන්න දායක වුණා. ඒ නිසාම ලොන්ග්පින් මහතා ලොව පුරා ජනප්‍රිය වුණා. අපි ඔහු ගැන තොරතුරු ටිකක් බලමු.
1. ලොන්ග්පින් සහ දේශපාලනය
ලොන්ග්පින් මෑතකාලයේදී ප්‍රකාශ කරන්නේ ඔහුට දේශපාලනය තේරෙන්නේ නැති බවක්. එහෙත් ඔහු මාවෝ සේතුංගේ කෘෂි ප්‍රතිපත්ති විවේචනය කළ චීන විද්‍යාඥයින් අතලොස්ස අතරින් එක් අයෙකු වෙනවා. මෑත කාලයේ ඔහු චීන ජනතාව අතර මෙන්ම ලෝකෙම ජනතාව අතරත් ජනප්‍රිය වුණා. දැන් වුණත් යූ ටියුබ් හි longping සර්ච් කළොත් චීන ජනපති ක්සි ජින්පින්, ලොන්ග්පින් සමග කුඹුරු බලන්නට, පර්යේෂණ කරන්නට යන වීඩියෝ ඔබට පෙන්වනවා. එයින් චීන ඉහළම පාලකයින්ට ලොන්ග්පින් කොපමණ වැදගත් වෙනවාද කියා යම් ඉඟියක් ගන්නට පුළුවන්.
2. 1970 දී මුල්ම පිම්ම
ඒ කාලෙදි චීනයට මුලින්ම දෙමුහුම් සහල් විශේෂයක් හඳුන්වා දුන්න යුවාන් ලොන්ග්පින් සහ කණ්ඩායම එවකට තිබුණ සාමාන්‍ය අස්වැන්න 20%කින් පමණ වැඩි කළා. ඒ වනවිටත් දරුණු සාගත තත්ත්වයන් නිසා චීන ජනතාව තොග වශයෙන් මිය යමින් තිබුණා. මේ දෙමුහුම් සහල් නිපදවීමේදී චීනයේ යැංසි ගඟ අසබඩ වසර දහස් ගණනක් තිස්සේ වගා කළ ගොවීන්ට ටොන් මිලියන 200කට වඩා සහල් නිපදවලා, ලෝකයේ වෙනත් කිසිම රටකට නොදෙවෙනි සහල් නිෂ්පාදනයක් දෙන්න එයින් චීනයට හැකි වුණා.
3. පිලිපීනයට දැනුම
චීනයේ මේ යුවාන් ගේ දැනුම වෙනත් රටවලටත් බෙදා දෙන්න කියලා ආයාචනාවක් ඔහුට ආවා. ඒ අනුව යුවාන් ලොන්ග්පින් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්පතක් වුණා. ඔහුගේ දැනුම පිලිපීනය, ඉන්දියාව, වියට්නාමය ආදී රටවල ගොවීන්, තාක්ෂණිකයින් සහ විඥ්යාඥයින් සමග ඔහු බෙදාගත්තා. ඔහු දන්නා දේ ඔහු අනෙක් රටවල ගොවීන් සහ කණ්ඩායම් සමග බෙදාගන්න පසුබට වුණේ නැහැ. ඒ නිසා ඔහු 2004 වර්ෂයේදී ලෝකයට ආහාර සපයන්න වුණු දායකත්වය නිසා ලෝක ආහාර සම්මානයෙන්ද පිදුම් ලැබුවා.
4. දෙමුහුම් ප්‍රභේද වල වැදගත්කම
ලංකාවෙත් අසූව, අනූව දශකවල කුඹුරු වලට දෙමුහුම් වී හාල් එන්නට පළමුව තිබුණේ පැරණි වී ප්‍රභේද. ඒවායේ අස්වැන්න අඩුයි. ඒ වගේම ඒවායේ අස්වැන්න ගන්න ගතවන කාලයත් වැඩියි. සරලව කිව්වොත් මාස තුන හමාරකින් වාර්තාගත අස්වැන්නක් ගන්න දැන් තියෙන දෙමුහුම් බීජ වලට හැකියාව ලැබුණත්, ඉස්සර වී ප්‍රභේද වලින් අස්වැන්න ගන්න මාස හයක්, අටක් බලාගෙන ඉන්න වුණා. ඒ වගේම එහෙම කරලත් අක්කරයකින් ලැබුණු අස්වැන්න සෑහෙන අඩුයි. මේ දෙමුහුම් ක්‍රම හරහා වාර්තාගත අස්වැන්නක් වගේම ඒ ඒ සහල්වල රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවත්, ඒ ඒ පස්වලට, දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාවත් වැඩි කළා.
5. ඇමරිකාව සමග එකතුවීම
ඇමරිකාවේ නෝමන් බෝලින්ග් සමඟ එකතුව ලොන්ග්පින් අමරිකාවේ තිරිඟු වල අස්වනු වැඩිකරන ප්‍රභේද හඳුන්වා දෙන්නා. ඔහු එය පසුකලෙක සිහිපත් කරන්නේ හදපිරි සතුටකින්. දුප්පත් රටවලට වගේම ඇමරිකාව වගේ ලෝක ධනවතුන්ටත් ලොන්ග්පින් මහතාගේ දැනුම සහ හැකියාව හරහා වැඩ ගන්නට අවකාශ ලැබුණා. ඒ හරහා සහල් ආහාරයට ගන්නා ආසියාතිකයින්ට වගේම තිරිඟු පිටි මූලික ආහාර වැඩිපුර ගන්නා බටහිර ලෝකයටත් ලොන්ග්පින් මහතාගේ දක්ෂකම වැදගත් වුණා.
6. උපත සහ විස්තර
යුවාන් ලොන්ග්පින් උපන්නේ 1930 සැප්තැම්බර් 7 වැනිදා බීජින් නුවරදීයි . ඔහුගේ පියා රේල්ලුවේ සේවය කළ අතර අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. ඉතින් මේ කට්ටියට ඒ කාලේ තිබුණ ජපාන – චීන යුධමය තත්ත්වය දරුණුවට බලපෑවා. ලොන්ග්පින් ඉගෙනගත්තේ කෘෂි තාක්ෂණය පිළිබඳ ජනප්‍රිය තැනක් වෙන චීනයේ වුහාන් වල. වුහාන් දැන් නම් ජනප්‍රිය වෙලා තියෙන්නේ කොරෝනා පැතිරුණු තැන විදිහට. ඔහු 1953 දී චීනයේ චොන්කින්ග් විද්‍යාලයේ උපාධිය හදාරනවිට ඔහු ඉරිඟු සහ බතල වල දෙමුහුම් ප්‍රභේද ගැන හැදෑරුවා. එයින් ඔහුට මේ විදිහට වී වර්ගත් දෙමුහුම් කරන්න පුළුවන් නේද කියන අදහස ආවා.
7. මාවෝගේ තීරණ සහ සාගත
1950-60 කාලේ මාවෝ සේතුන් ප්‍රතිසංස්කරණ චීනය සාගතයකට ඇද දැම්මා. මාවෝ චීනයේ සාම්ප්‍රදායික වගා කරමින් ගිය පිරිස කෙළින්ම නගරයේ කර්මාන්ත වැඩට යොමු කළා. එයින් ආහාර සකසන්නට ගොවීන් අඩු වීමෙන් අස්වනු අඩුවුනා. එම සමාජවාදී ප්‍රතිසංස්කරණ වල අවසානය වුණේ දරුණු සාගත තත්ත්වයක්. ඒ කාලේ හාල් ටිකක් රත්තරන් හා සමාන වුණා කියලා 2011 දී කළ සම්මුඛ සාකච්ඡාවකදී යුවාන් කියලා තියෙනවා. ඔහු මාවෝ විවේචනය කළ නිසා මරණ ලැයිස්තුවල පවා සිටියත් චීනයේම ලොකු තැන් ඔහුගේ වැදගත්කම පෙන්වාදීම නිසා මරණයෙන් ගැලවී තියෙනවා.
මුලු ලොවටම වැදගත් වූ පර්යේෂණ වල නියමුවෙක් වූ ලොන්ග්පින් මහතා පසුගිය දිනවල ජීවිතයෙන් සමු ගත්තා. වයස 90ක මහල්ලෙක් විදිහට ලෙඩ ඇඳේ සිටියදීත් ඔහු සහල් පර්යේෂණ වලට අත හිත දී තිබුණා. වගාවට අපහසු ලවණ බිම් වල වගාව ගැන අවසාන කාලයේදී ලොන්ග්පින් ගේ අවධානය යොමු වෙලා තිබුණා. ඒ හරහා ලවණබිම් වලට, කාන්තාර බිම් වලට සුදුසු වී වර්ග හඳුන්වා දෙන්නත් ඔහු මැදිහත් වෙලා තිබුණා. චීන ඉතිහාසයේ වගේම ලෝක ඉතිහාසයේ දේශපාලන චරිත ඉස්මතු වෙලා තියෙනවා. ඒ අතර ලෝකයේ සාගතය, මිනිසුන්ගේ බඩගින්න නිවන්න දායක වුණ මේ වගේ චරිත වඩාත් ඉදිරියෙන් කැපී පේනවා.
Leave a Reply