ඕඩියෝ බුක්ස් (Audiobooks) වලින් පොත් අහන්න කැමති අයට පටන් ගැන්මට උපදෙස්!

කාලයක් තිබ්බා අපි අච්චු ගහපු හරි ලියපු හරි පොත් වලින් දේවල් කියවපු. ඇත්තටම අපි ගොඩක් දෙනෙක් ඉපදුණේ අච්චු ගහපු පොත් වලින් ලෝකේ ගැන කියවපු, සාහිත්‍යය කියවපු යුගේකට තමයි. හැබැයි ඊට පස්සේ ඕන්න ආවා ඩිජිටල් පොත්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික් පොත්, ඊ-බුක්ස් කියලා හඳුන්වපු, ඩිජිටල් අවකාශයේ කියවන්න පුළුවන් පොත්. මේවා කම්පියුටර්, ස්මාට්ෆෝන්, ටැබ් වගේ ඕනම එකකින් කියවන්න පුළුවන් වුණත්, හරියට ඊ-බුක්ස් කියවන්නම හදපු ඊ-රීඩර්ස් කියලා ගැජමැටික්ස් ජාතියකුත් ලෝකෙට ආවා. එව්වල හොඳ නරක ගැන අපි කලින් කතා කරලත් තියෙනවා.

 

හැබැයි ඉතින් ඔය පොත් කියවන තාක්ෂණේ එතනින් නතර වුණෙත් නෑ. තවත් ඉස්සරහට ගියා. එහෙම ඉස්සරහට ගිහින් ආවා ඕඩියෝබුක්ස්. ඒ කියන්නේ කියවන පොත් නෙවෙයි, අහන පොත්. ඒ කියන්නේ මේ ඕඩියෝ බුක්ස් වෙන කවුරුහරි කියවලා රෙකෝඩ් කරනවා. අපිට තියෙන්නේ අහගෙන ඉන්න තමයි. හරියට පුංචි කාලේ අම්මා හරි ආච්චි හරි කියලා දෙන කතන්දර අහගෙන ඉන්නවා වගේ තමයි.

 

ඇත්තටම කාර්යබහුල ලෝකෙක ජීවත් වෙන, ඒත් පොත් කියවන ආසාව කවදාවත් සංසිඳිලා නැති අපිට ඕඩියෝබුක්ස් කියන්නේ හොඳ විකල්පයක්. ආන්න ඒ නිසා අපි හිතුවා ඕඩියෝ බුක්ස් අත් පොත් තියන්න කැමති අයට ඒ ගැන විස්තර ටිකක් කියලා දෙන්න.

 

1. ඇයි ඕඩියෝබුක්ස්?

ඇයි ඕඩියෝබුක්ස් පාවිච්චි කරන්නේ කියලා අහනවට වඩා, ඇයි ඕඩියෝබුක්ස් පාවිච්චි නොකරන්නේ කියලා අහන එකත් සාධාරණයි. මුලින්ම කියන්න ඕන, පොතක් කියවනවා කියන්නේ අනිවාර්යයෙන්ම පොතේ කොළ වල සුවඳ විඳින එක, පිටු පෙරලන එක දැනෙන එක වගේ ෆැන්ටසීස් තියෙන අයට ඕඩියෝ බුක්ස් සෙට් වෙන එකක් නෑ. මොකද කොළ වල සුවඳ එන්නෙත් නෑ, පිටු පෙරළන්නත් බෑ. අහගෙන ඉන්න තමයි තියෙන්නේ. හැබැයි විශේෂයෙන්ම එක තැනක වාඩි වෙලා පොතක් පතක් කියවන්න වෙලාවක් නැති අයට, වාහනේක යනකොට පොත් කියවන්න ගත්තහම කැරකිල්ල එන අයට, පොත් කියවන්න ආස නැති ඒත් දෙයක් අහගෙන ඉන්න ආස අයට එහෙම ඕඩියෝ බුක්ස් ගැලපෙනවා.

 

ඔය එකකටවත් අයිති නැති පොත් කියවන මනුස්සයෙක්ට වුණත්, වෙනසකටත් එක්ක ඕඩියෝ බුක් එකක් කියවලා බලන්න පුළුවන්.

 

2. කොහොමද අහන්නේ?

ඕඩියෝබුක්ස් අහන එක සම්බන්ධයෙන් ගත්තොත්, කොහොමද අහන්නේ කියන එක සරලයි. කණෙන් ඇහුවා, හිතට ගත්තා! ඇත්තටම මොන වගේ උපාංගයකින්ද ඕඩියෝබුක්ස් අහන්නේ කියන එක අපි ඊලඟට කියනවා. හැබැයි අපි ඇමසන් එකට ගිහින් සල්ලි ගෙවලා ඊ-බුක් එකක් කින්ඩ්ල් එකට ගන්නවා වගේ ඕඩියෝබුක්ස් ලබාගන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ දෙන්න යන්නේ.

 

ඇත්තටම ඇමසන් වෙබ්සයිට් එකත් මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පොත් වලට වෙනම ගෙවන සීන් එකක් නෑ. ඊට වඩා සර්විස් එකට මාසික ගාස්තුවක් ගෙවීමක් තමයි වෙන්නේ. එතකොට අපි මාසේ ඇතුළත අහන ඕඩියෝබුක්ස් වලට අමතර ගෙවීමක් නෑ. මේ ප්‍රොජෙක්ට් එකේ නම Amazon Audible. මේකේ ප්ලස් මෙම්බර්ෂිප් එක හරි ප්‍රීමියම් මෙම්බර්ෂිප් එක හරි ගන්න තමයි තියෙන්නේ. මේ ඇරෙන්න Scribd ඇප් එකත් හොඳ ඕඩියෝබුක්ස් කලෙක්ෂන් එකකට ඇක්සස් ලබාදෙනවා. එතකොට Libby කියන්නෙත් මේ විදියට ආපු අලුත් සේවාවක්. ඇප් එක විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්

 

3. මොන ඩිවයිස්ද පාවිච්චි කරන්නේ?

සාමාන්‍යයෙන් දැන් ඊ-බුක්ස් කියවන්න ඕනම තිරයක් තියෙන ඩිජිටල් උපාංගයකින් පුළුවන්. ස්මාට්ෆෝන් එක, කම්පියුටර් එක, ටැබ් එක වගේ ඕන එකක්. හැබැයි එහෙම වුණාට සාර්ථකව ඊ-බුක්ස් කියවන්න නං, ඊ-ඉන්ක් තිරයක් එක්ක එන නියම ඊ-බුක් රීඩර් එකක් තියෙන්න ඕන. ඒකෙන් තමයි ඊ-බුක් එකක් කියවන හරි එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. 

 

එතකොට ඕඩියෝබුක්ස් ගත්තොත් එහෙම විශේෂයක් නෑ. ෆෝන් එකෙන්, ටැබ් එකෙන්, ලැප්ටොප් කම්පියුටර් එකෙන් වගේ ඕනම ඩිවයිස් එකකින් ඕඩියෝබුක්ස් වලට සවන් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් විශේෂයෙන්ම ස්මාට්ෆෝන් එකෙන් වගේ ඕඩියෝබුක් එකක් අහනකොට එන කෝල්ස් වලින්, මැසේජ් නෝටිෆිකේෂන් වලින් එහෙම නිරන්තරයෙන් බාධා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා එහෙම බාධාවන් නැතුව නිදහසේ ඕඩියෝබුක් එකකට සවන් දෙන්න නම් මියුසික් සිස්ටම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අයිපොඩ් එකක්, කාර් එකේ ඕඩියෝ සිස්ටම් එක වගේ ඕනම එකක්. හැබැයි සුපැහැදිලිව දේවල් ශ්‍රවණය කරන්න පුළුවන් කොලිටි උපාංගයක් වෙන එක තමයි හොඳ. එහෙම නැතිනම් ඕඩියෝ බුක් එකක හරි එක්ස්පීරියන්ස් එක නොලැබෙන්න පුළුවන්.

 

4. කොයි වෙලාවටද අහන්නේ?

ඕන වෙලාවක ඉතින් අහන්නනං පුළුවන්. හැබැයි ඕඩියෝ බුක් එකක් අහන එකත් පොතක් කියවනවා වගේ තමයි. ඒ කියන්නේ යම් කිසි අවධානයක් අවශ්‍යයි පොතේ තියෙන දේවල් ඔළුවට යන්න. හැබැයි පොතක් කියවන එකට සාපේක්ෂව ඕඩියෝ බුක්ස් වල මෙහෙම වාසියක් තියෙනවා. පොතක් කියවනකොට අපිට ඇස් දෙක ඒකටම යොමු කරන්න වෙනවා. හැබැයි ඕඩියෝ බුක් එකක් කියවන්න ඇස් අවශ්‍ය නෑ. එතකොට ඇස් දෙකෙන් කරන ඒ තරම් ලොකු අවධානයක් අවශ්‍ය නැති කාර්යයක් කරන අතරතුරේදී ඕඩියෝබුක් එකකට සවන් දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගෙදර වැඩක් කරනකොට. දැන් හෝදපු රෙදි ටික නමලා පැක් කරන අතරේ ඕඩියෝ බුක් එකකට සවන් දෙන්න පුළුවන්. උදේට රෑට අපි කරන ඩේලි වැඩ අතරේ -ඒ කියන්නේ දත් මදින අතරේ, වොෂ්රූම් එකේ ඉන්න අතරේ- එහෙමත් ඕඩියෝබුක්ස් අහන්න පුළුවන්. එතකොට වාහනේක යනකොට, පාරේ ට්‍රැෆික් එකේ හිරවෙලා ඉන්නකොට වගේ වෙලාවක වුණත් ඕඩියෝබුක් එකකට සවන් දෙන්න පුළුවන්. 

 

5. පටන් ගැන්මට?

පටන් ගැන්මට ඉංග්‍රීසියෙන් ඕඩියෝබුක්ස් වලට සවන් දෙනවා නම් ඔය බරසාර පොත් වලින් පටන් නොගන්න එක හොඳයි. බරසාර පොත් වලට යන්න පුළුවන් වැඩේ පොඩි ප්‍රැක්ටිස් එකක් එනකොට. එතකල් මොනවා හරි සරල පොතකින් දෙකකින් පටන් ගන්න පුළුවන්. සරල වගේම කෙටි පොත් වලින් පටන් ගන්න පුළුවන් නම් ඉන්ටරෙස්ට් එක නැති නොවී වැඩේ අල්ලගෙන යන්න පුළුවන්. ඔය රෝල් ඩාල්ගේ එහෙම කෙටිකතා තියෙන්නේ. ආන්න එව්වා මරු. ඊට පස්සේ ඔන්න හැරී පොටර් සීරීස් එකට එහෙම යන්න පුළුවන්. ඕන නම් ඔය රික් රියෝඩන්ගේ පර්සි ජැක්සන් සීරීස් එක එහෙමත් ඕඩියෝ බුක්ස් විදියට අහන්න මරු.

 

6. හොඳ ඉංග්‍රීසි ඕඩියෝ බුක්ස්?

අපි කලින් කිව්වනේ ඕඩියෝ බුක්ස් ලබාගන්න පුළුවන් සේවාවන් ගැන. හැබැයි ඉතින් එහෙම සේවාවකට ආයෝජනය කරන්න අපහසු අයටත් ඕඩියෝබුක්ස් අහන්න පුළුවන් ක්‍රම තියෙනවා. එයින් එකක් තමයි යූටියුබ් එකේ ඕඩියෝ බුක්ස්. හැබැයි යූටියුබ් එකේ ඕඩියෝ බුක්ස් හොයාගන්න එක ටිකක් ට්‍රිකි වැඩක්. සාමාන්‍යයෙන් ඔය පබ්ලික් ඩොමේන් එකක තියෙන, ඒ කියන්නේ කොපිරයිට් අවුල් නැති ඕඩියෝබුක්ස් තියෙන චැනල්ස් හොයාගන්න පුළුවන්. ග්‍රේටස්ට් ඕඩියෝබුක්ස් කියන්නේ එහෙම යූටියුබ් චැනල් එකක්. ඒ ඇරෙන්න ඉතින් තව ඕඩියෝ බුක්ස් යූටියුබ් එකෙන් හොයාගන්න විධි මේ වීඩියෝ එකේ තියෙනවා.

 

යූටියුබ් එකෙන් කෙලින්ම ඕඩියෝබුක්ස් වලට සවන් දෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඩවුන්ලෝඩ් කරලා කැමති උපාංගයකින් අහන්නත් පුළුවන්.

 

 ඒ ඇරෙන්න ඉතින් ටොරන්ට් වලින් එහෙමත් හොරෙන් බාන්න පුළුවන්. එහෙම නැතිනම් ඕඩියෝබුක්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සයිට්ස් එහෙමත් සෑහෙන්න තියෙනවා. ලේසියෙන්ම ගූග්ල් සර්ච් එකකින් හොයාගන්න පුළුවන්. නිකමට මේ පහ​ත ඕඩියෝබුක්ස් ලිස්ට් එක කියවලා බලන්න. මේක සෑහෙන්න ඉන්ටරස්ටින්ග් ඕඩියෝබුක්ස් ලිස්ට් එකක්.

 

View at Medium.com

 

 

7. සිංහල ඕඩියෝබුක්ස්?

දැං ඉංග්‍රීසියෙන් නැතුව සිංහලෙන් විතරක් කියවන කෙනෙක්ට එතකොට ඕඩියෝබුක්ස් තියෙනවද? සාමාන්‍යයෙන් ඔය ඊ-බුක්ස් සම්බන්ධයෙනුත් නැගෙන ප්‍රශ්නයක්නේ ඕක. ඒකට උත්තරේ තියෙනවා කියන එක තමයි. උදාහරණයක් විදියට ගත්තොත් යුටියුබ් එකේ තියෙන සේරා ඕඩියෝ බුක්ස් චැනල් එක දක්වන්න පුළුවන්. 

 

 

 

මේකේ හැබැයි එක පොතක් තියෙන්නේ වීඩියෝ ක්ලිප්ස් ගණනාවකට කඩලා. උදාහරණයක් විදියට කිවුවොත් බත්තලංගුණ්ඩුව පොතේ කොටස් දෙක ක්ලිප්ස් තිහකට විතර කඩලා තමයි තියෙන්නේ. හැබැයි ඉතින් ඒකත් හොඳයි. කෙලින්ම ටෙලි සීරීස් එකක් වගේ අහගෙන යන්න පුළුවන්. තව ඔය කේ කේ සමන් කුමාරගේ, ලියනගේ අමරකීර්තිගේ, ශමෙල් ජයකොඩිගේ, පද්මිණී සෙනෙවිරත්නගේ, නිශ්ශංක විජේමාන්නගේ එහෙම ප්‍රසිද්ධ පොතුත් මේ චැනල් එකේ තියෙනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ!

 

තව කාලයක් තිස්සේ තියෙන සිංහල ඕඩියෝ බුක් ලයිබ්‍රි එකක් තමයි සුජීව ප්‍රසන්නාරච්චිගේ කෝමල් කියන ඇප් එක. මේ කෝමල් ඇප් එකේ තියෙන්නේ තනිකරම සුජීවගේ පොත් තමයි. සුජීව අයියගෙ පොත් කියවන්න ආස අයට මේක මරු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *