ස්පාර්ටන් කෙනෙක් වගේ ජීවත් වෙන්න, ස්පාර්ටන් ස්ටයිල් එකට කාමරය ඩිසයින් කරමු.

මොකද්ද මේ ස්පාර්ටන් කියන්නේ? ඇත්තටම ස්පාර්ටන් කියන්නේ අතීත ග්‍රීසියේ දකුණු දිග තිබුණු පෙලොපනීස් අර්ධද්වීපයේ තිබුණු ස්පාර්ටා නගරයේ හිටපු අයට. හැබැයි අපි මේ ස්පාර්ටන්වරු කියලා කියන්නේ නිකම්ම නිකම් රටවැසියන්ට නෙවෙයි. ඊට වඩා බොහොම රණශූරයෝ වුණු ස්පාර්ටා වැසියන්ට තමයි අපි ස්පාර්ටන්ලා කිව්වේ. මේ අය කොයි වගේද කියනවා නං, පස්සෙ කාලෙකදී අතිවිශිෂ්ට ධෛර්යයකින් සහ ඉතා හොඳ ස්වයං-විනයකින් යුක්ත පුද්ගලයන්ව හඳුන්වන්නත් ස්පාර්ටන් කියන නම පාවිච්චි වුණා.

 

දැන් සාමාන්‍යයෙන් මේ කියන ස්පාර්ටන් කෙනෙක් ඉන්නෙ, ජීවත් වෙන්නෙ කොහොමද? බොහොම සරල විදියට, අනවශ්‍ය විදියට සුඛෝපභෝගී දේවල් නැතුව තමයි ස්පාර්ටන් කෙනෙක් ඉන්නේ. ආන්න එහෙම තමයි ස්පාර්ටන් ලයිෆ්ස්ටයිල් කියන එක ආවේ. දැන් වෙනකොට ස්පාර්ටන් කියන එකේ වෙනම ස්ටයිල් එකක් තියෙනවා. ඔය මිනිමලිස්ම් වගේ සරල කමත් එක් විශේෂත්වයක්නේ. ඉතින් ආන්න ඒකට කැමති කෙනෙක්ට, ස්පාර්ටන් කෙනෙක් වගේ තමන්ගේ කාමරය නිර්මාණය කරගන්න උපදෙස් ටිකක් තමයි මේ.

 

1. සිම්පල් ඇන්ඩ් මොනොක්‍රෝම්

ස්පාර්ටන් රූම් එකක් නිර්මාණය කරනකොට අපිට ඒ රූම් එකේ පාට ගැන හිතන්න වෙනවා. හැබැයි අහස පොළව පෙරළගෙන හිතන්න දෙයක් නෑ. සරල, තනි පාටක් තමයි ස්පාර්ටන් ඩිසයින් එකකට යන්නේ. සුදු පාට නම් ඉතාම හොඳයි. හැබැයි එහෙම කියලා තනි පාටකටම සීමා වෙන්න ඕන නැහැ. අපි උදාහරණයක් විදියට ගමු සුදු පාට. ඒකත් එක්ක ඕන නම් තද දුඹුරු පාට ඉරි පාවිච්චි කරන්න පුළුවන්. අවුලක් නැහැනේ. ඇත්තටම මෙහෙම ලා පාටක් තෝරගන්න එකේ තියෙන තව වාසියක් තමයි ඒකෙන් කාමරයේ අවකාශය වඩාත් විශාල කරලා දැක්වීම. අන්න ඒක අපි බලාපොරොත්තු වෙන සරල, මිනිමලිස්ට් ස්පාර්ටන් තේමාවට හොඳ රුකුලක් ලැබෙනවා. 

 

2. ස්මාට් ස්ටෝරේජ්

ස්පාර්ටන් කාමරයකට අවශ්‍ය මූලික දෙයක් තමයි බඩුමුට්ටු විශාල වශයෙන් නැති වීම. ආන්න ඒ නිසා ස්පාර්ටන් ආකාරයට කාමරය නිර්මාණය කරගන්නකොට, තමන්ට ඇත්තටම අවශ්‍ය බඩු මොනවද, එපා බඩු මොනවද කියලා හිතලා බලන්න වෙනවා. එතනින් නිතර භාවිතා වෙන, අත්‍යාවශ්‍ය බඩු විතරක් තෝරගත්තට පස්සේ, තමන්ට අඩු ඉඩකින් ඒවා ගබඩා කරලා තියන්නේ කොහොමද කියලත් හිතන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් තමන්ගේ සුවඳ විලවුන්, හෙයාර් ජෙල් අනං මනං තියන්න ඩ්‍රෙසින් ටේබල් එකක් ගන්නවට වඩා, ලකලැහැස්‍ති වෙනකොට තමන්ව බලාගන්න එක බිත්තියක එල්ලපු තනි විශාල කණ්ණාඩියක් ගන්න පුළුවන්. එතකොට අර බඩු මුට්ටු තැන්පත් කරන්න කබඩ් එකක එක ලාච්චුවක් පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙලාවට ඔය දැන් තියෙන ඇඳ යටම කබඩ් එහෙම හයි කරලා තියෙන ඇඳන් එහෙමත් මෙතනදී ප්‍රයෝජනවත්. ඒ වගේම ඔය බිත්තියේ හයි කරන්න පුළුවන් ලී රාක්ක එහෙමත් සෑහෙන්න ප්‍රයෝජනයක් මෙතනදී.

 

3. ලෙස් ඊස් මෝර්

මේක ඇත්තටම මිනිමලිස්‍ට් කාමරයක් නිර්මාණය කරගන්න විදිය ගැන කතා කරනකොටත් අපි කියලා තියෙනවා. ඉතින් සරලත්වය සහ මිනිමලිස්ම් එකට යනවනේ. ආන්න ඒ නිසා මේ හැකිතාක් අඩු දේවල් ප්‍රමාණයක් කාමරයක පවත්වා ගැනීම කියන එක ස්පාර්ටන් කාමරයක් නිර්මාණයටත් අදාළ වෙනවා. මෙතනදී කරන්න ඕන දේ සරලයි. හිතලා බලන්න තමන්ට කාමරේට තියෙන්නම ඕන මොනවද කියලා. ඇඳක්? වැඩ කරන මේසයක්? පුටුවක්? ඇඳුම් වලට සහ වෙනත් අඩුම කුඩුම වලට කබඩ් එකක්? වෙන මොකුත් ඕනද? මේ විදියට කාමරේ තියෙන දේවල් හැකිතාක් අඩු කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි, තමන් පහුගිය සති තුන හෝ හතර තුළ පාවිච්චි නොකරපු දේවල් මොනවද කියලා හිතලා බලන එක. කාමරේ තියෙන අමතර පුටුව පාවිච්චි කරලා නැහැ කියමු. එහෙමනං ඒක මොකටද? කාමරේට කෙනෙක් ආවහම වාඩි වෙන්න කියලා හිතලා ඒක තිබ්බත්, මේ සති හතර ඇතුළත ඒකේ වාඩිවෙන්න කෙනෙක් ආවෙ නෑ කියන්නේ ඉතින් බොහොම කලාතුරකින්නේ කාමරේට කෙනෙක් එන්නේ. එහෙමනම් ඒ පුටුව වැඩක් නෑ!

 

4. ඕර්ගනයිස්ඩ්

අපි පටන් ගන්නකොටම කිව්වනේ ස්පාර්ටන් කියන නමත් එක්කම ඩිසිප්ලින්, ඒ කියන්නේ විනය කියන එකත් ඈඳිලා තියෙනවා කියලා. ආන්න ඒ නිසා, ස්පාර්ටන් ආකාරයේ කාමරයක් නිර්මාණය කරගන්න කොට, ඒ කාමරේ අතිශයින්ම ඕර්ගනයිස්ඩ් වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ හැමදේම අවශ්‍ය තැන, පිළිවෙලකට තියෙන්න ඕන. ඒ කියන්නේ පේන්න තියෙන දේවල් විතරක් නෙවෙයි. කබඩ් එකක් ඇතුළේ තියෙන ඇඳුම් පවා හරියට නවලා, වෙන වෙනම තියෙන්න ඕන. මේකට ඇත්තටම සිස්ටම් එකක් හදාගත්තා නම් හරි. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ගේ ඇඳුම් හෝදලා කරලා ගෙනාවට පස්සේ දවස ඇතුළතදීම මැදලා, නවලා, අදාළ තැන තැන්පත් කරනවා. එතකොට කොහේ වත් අපිළිවෙල ඇඳුම් ගොඩගැහෙන්නෙ නෑ.

 

5. සිම්ප්ලස්ට් ෆර්නිචර්

මේකත් අපි මිනිමලිස්ට් කාමරයක් ඩිසයින් කරගැනීමෙදී කතා කළා. ඒ තමයි තමන්ගේ ගෘහභාණ්ඩ ඔක්කොම සරල වීම. උදාහරණයක් විදියට ගත්තොත්, ස්පාර්ටන් ඩිසයින් කාමරේකට ගැලපෙන්නේ අර බර කැටයම් කපපු, දැවැන්ත බීරළු කකුල් තියෙන කබඩ් එකක් නෙවෙයි. බොහොම සරල ඩිසයින් එකක ආටෝප කැටයම් නැති කබඩ් එකක්. එතකොට ඇඳ වුණත් අර කැටයම් දාපු වියන් ඇඳක් ගන්නවට වඩා, අලුත් ඩිසයින් වලින් එන සරල බව පේන, ඉඩ කඩ ගොඩක් යන්නෙ නැති ඇඳක් ගන්න පුළුවන්. ඕන නම් ඇඳක් නැතුව බිමට මෙට්ටයක් දාලා තමන් නිදාගන්න තැන හදාගන්න වුනත් පුළුවන්.

 

6. ගුඩ් ලයිට් ඇන්ඩ් එයාර්

සමහරු කැමතියි තමන්ගේ කාමරය හැකිතාක් අඩ අඳුරේ තියෙනවට. සමහරු කැමතියි පිටින් එළියක් එන්නේ නැතුව කෘත්‍රිම ආලෝකයෙන් තමන්ගේ කාමරය පිරිලා තියෙනවට. හැබැයි ඉතින් මේ ස්පාර්ටන් කාමර නිර්මාණයට ගොඩක්ම ගැලපෙන්නේ ස්වභාවික ආලෝකයෙන් කාමරය හොඳට පිරිලා තිබීම තමයි. ඒකට ඕන නම් කාමරයට ෆ්‍රෙන්ච් වින්ඩෝස් එහෙම යොදාගන්න පුළුවන්. ඊට පස්සේ රාත්‍රියට වුණත් කාමරේ හොඳින් ආලෝකමත් වෙන විදියේ ලයිට් සිස්ටම් එකකට ආයෝජනය කළාට පාඩු නෑ.

 

ඒ වගේම, කාමරේට හොඳට වාතාශ්‍රය අවශ්‍යයි කියන එකත් අමතක කරන්න එපා. 

 

7. සිම්පල් ලයිෆ්

ඇත්තටම මේක කාමර නිර්මාණයට සෘජුවම අදාළ නෑ. හැබැයි වක්‍රාකාරීව අදාළයි. දැන් අපි කිව්වනේ ස්පාර්ටන් කාමරයක් නිර්මාණය කරනකොට සරල ගෘහභාණ්ඩ හැකිතාක් අඩුවෙන් තියෙන එක හොඳයි කියලා. හැබැයි අපිට ඇඳුම් කට්ටල විස්සක තිහක තොගයක් තියනකොට ඔය සරල ගෘහභාණ්ඩ සීන් කරන්න පුළුවන්ද? බෑ. ඒකට සෑහෙන විසාල වෝඩ්රෝබ් එකක් අවශ්‍ය වෙනවා. හැබැයි අපිට ඉතාම සරලව ඇඳුම් පැළඳුම් කීපෙකින් අපේ සම්පූර්ණ වෝඩ්රෝබ් එක හදාගන්න පුළුවන් නම්, ආන්න අපේ වෝඩ්රෝබ් එකේ ප්‍රමාණයත් සරල කරගන්න පුළුවන්. මේකට අපි කලිනුත් කියලා තියෙන කැප්සියුල් වෝඩ්රෝබ් ක්‍රමය එහෙමත් යොදාගන්න පුළුවන්.

 

8. වේට් සෙට් 

මේක නම් ඉතින් විකල්ප දෙයක්. ඇත්තටම කාමරේ ඩිසයින් එකට වඩා ස්පාර්ටන් ලයිෆ්ස්ටයිල් එකකට තමයි අදාළ වෙන්නේ. හිතමු අපිට ජිම් යන්න එහෙම වෙලාවක් කලාවක් නැහැයි කියලා. අන්න එතකොට අපිට කාමරේ ඉඳන්ම වර්ක්අවුට් කරන්න පොඩි මුල්ලක් වෙන් කරගෙන තිබ්බට කාරියක් නෑ. අන්න ඒ මුල්ලේ මැට් එකක් එහෙම දාලා, වේට් සෙට් එකක් එහෙම තියලා හදාගන්න පුළුවන්. ඒකෙනුත් කාමරේ තියෙන අර ස්පාර්ටන් ගතිය තව තීව්‍ර වෙනවා. හැබැයි ඉතින් මේක කරන්න පුළුවන් එක්කෝ ඉඩකඩ තියෙන කාමරයක් නැතිනම් ඉඩකඩ තියෙන අපාර්ට්මන්ට් එකක් නම් විතරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *