මොකක්ද මේ මුල් ළමාවිය සංවර්ධනය?

තරුණ කාලෙට එළඹෙනකොට එකිනෙකා කෙරෙහි ආකර්ෂණයෙන් ළං වෙලා, එතනින් ඉස්සරහට ගිහින් ආදරෙන් බැඳිලා එක වහලක් යටට කූඩුවෙන යුවළකගේ හිතේ කොයිතරම් නම් බලාපොරොත්තු තියෙනවද? ඒ අතරින් ප්‍රධානම බලාපොරොත්තුවක් තමයි පුංචි දරු පැටවුන්ට අම්මෙක්, තාත්තෙක් වෙලා ඔවුන් ලොකුවෙන හැටි බලාගෙන ඉඳලා සතුටු වෙන එක. හැබැයි ඉතින් ඔය කාරිය මේ කියපු තරම් ලේසි පහසු නැහැ. දරුවෙක් කියන්නෙ ලොකු වගකීමක්. වාසනාවට අද කාලේ තරුණ දෙමව්පියන් හැමෝම වගේ මේ වගකීමේ බර කොයිතරම්ද කියන කාරණය ගැන හොඳ අවබෝධයකින් ඉන්නවා. 

ඉතින් ඔය ආදරෙන් එකතුවෙලා මේ ලෝකෙට අරගෙන එන පුංචි දරුවන්ගේ වර්ධනය, අධ්‍යාපනය ගැන කතා කරනකොට අපිට නිතරම ඇහෙන දෙයක් තමයි මුල් ළමාවිය සංවර්ධනය කියල කියන්නෙ. ඉතින් අද කියවල බලමු මොකක්ද මේ මුල් ළමාවිය සංවර්ධනය කියන්නෙ කියල. පවුල් වෙලා දරු මල්ලෝ ඉන්න අයට වගේම පවුල් වෙන්න ඉන්න අයටත් එකවගේම වැදගත්.

 

 

1. මුල් ළමාවිය සංවර්ධනය

ඇත්තටම බැලු බැල්මට අපිට හිතෙන්නෙ මුල් ළමාවිය සංවර්ධනය කියල කියන්නෙ දරුවෙකුගේ මුල්ම වයස්, ඒ කියන්නෙ උපතේ ඉඳලා සිදුවෙන සංවර්ධනය ගැන කතාවෙන මාතෘකාවක් කියලනේ. හැබැයි මේක එතනින් එහාට ගිය බොහොම බරසාර මාතෘකාවක්. ජාත්‍යන්තර නිර්වචනයන්ට අනුව මුල් ළමාවිය කියල කියන්නෙ දරුවෙක් මව් කුසක පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා වයස අවුරුදු 8ක් වෙනකන් කාලසීමාව. ඉතින් මේ අද අපි කතා කරන ප්‍රධාන මාතෘකාවෙන් අවධානය යොමු වෙන්නේ දරුවා මව්කුස පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා උපත ලබනකන් වගේම එතැන ඉඳලා වයස අවුරුදු 8ක් දක්වා උස මහත් වෙනකල් දරුවාගේ සමස්ත සංවර්ධන ක්‍රියාවලිය ගැනයි. ඕනෑම මිනිසෙකුගේ සමස්ත බුද්ධි වර්ධනයෙන් 80%ක් වගේ විශාල ප්‍රමාණයක් සිදුවෙන වයස වගේම ඔහුගේ ඉදිරි ජීවිත කාලයටම අඩිතාලම වැටෙන කාලපරිච්ඡේදය විදිහටත් මේ මුල් ළමාවිය සැළකෙන නිසා මේ ගැන දැන් ලැබෙන අවධානය ඉතාමත් ඉහළයි. 

 

 

2. ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය

ජාත්‍යන්තර නිර්වචනය එහෙම උනාට ලංකාවේ විස්තරේ පොඩ්ඩක් වෙනස්. අනිත් හුඟක් කාරණා වලට නැති වුනත් මේ මුල් ළමාවිය සම්බන්ධව අපිට ජාතික ප්‍රතිපත්තියක් තියෙනව. මේ මුල් ළමාවිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් වෙලා තියෙන්නෙ 2018 වර්ෂයේදී. ඒ කියන්නෙ මේ බොහොම මෑතක. ඉතින් ඒ ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය ජාතික ප්‍රතිපත්තියට අනුව අපේ රටේ මුල් ළමාවිය කියල සැළකෙන්නේ පිළිසිඳ ගැනීමේ සිට වයස අවුරුදු 5ක් දක්වා කාලසීමාව. එහෙමත් නැත්තම් මව්කුස පිළිසිඳ ගත්ත දවසේ සිට ශ්‍රී ලංකාවේ විධිමත් පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් වෙන වයස දක්වා කාලසීමාව.

 

 

3. ජාතික ප්‍රතිපත්තියක් සකස්වීමට ප්‍රධාන හේතු

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2012 වසරේ සංගණනයට අනුව උපතේ සිට වයස අවුරුදු 5 දක්වා ශ්‍රී ලාංකික ළමා ජනගහණය 1,743,780 ක් වෙනවා. මේ දරුවන්ගේ වර්ධනය සහ මුල් ළමාවිය අධ්‍යාපනයට යොමුවීම පිළිබඳව ගැටළු දකින්න තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනරජ ව්‍යවස්ථාවේ VI පරිච්ඡේදයේ 27 (13) වගන්තිය අනුව “ළමයින් සහ යෞවනයින් කායික වශයෙන්, මානසික වශයෙන්, සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සමාජයික වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදාගනු ලැබීමෙන් සහ වෙනස්කම් වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කරගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභ සිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුතුව වර්ධනය කළයුතු බව” ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ජනරජය එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියටත් අත්සන් තියල තියෙනවා. ඉතින් මේ සියළු කරුණු හේතුවෙන් ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය කියන මාතෘකාව ලොකු අවධානයක් ලැබෙන මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසාම තමයි තමයි මේ පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් වෙලා තියෙන්නෙත්. 

 

4. අවධානය යොමුකෙරෙන කාරණා

දැන් අපි කලින් කියපු මුල් ළමාවිය ජාතික ප්‍රතිපත්තියෙන් මුල් ළමාවිය කියන වයස් කාණ්ඩයට අයත්වෙන සියලුම ළමයින්ට පහත කාරණා වලට අදාළව සේවා සැලසීම සඳහා අවශ්‍ය සමස්ත රාමුවක් සැපයෙනවා.

  • සෞඛ්‍ය සහ පෝෂණය
  • අධ්‍යාපනය
  • සමාජ සේවා
  • රැකවරණය
  • ආරක්ෂාව

 

5. මුල් ළමාවිය සංවර්ධන අවධි

මේ මුල් ළමාවිය සංවර්ධනය ප්‍රධාන අවධි තුනක් යටතේ සාකච්ඡාවට ලක්වෙනවා.

  • පිළිසිඳ ගැනීමේ සිට උපත දක්වා කාලය
  • උපතේ සිය වයස අවුරුදු 3 දක්වා කාලය
  • වයස අවුරුදු 3 සිට 5 දක්වා කාලය. 

 

6. මුල් ළමාවිය සංවර්ධනයේ ප්‍රධාන අංග

මේ මුල් ළමාවිය සංවර්ධනයේදී අවධානය යොමුකෙරෙන ප්‍රධාන අංග තුනක් තියෙනවා.

 

1. දිවි සුරැකුම – ඒ කියන්නෙ මේ මුල් ළමාවියට අයත් කාලසීමාව තුළ සිදුවෙන ජීවිත හානි අවම කිරීම සඳහා අවධානය යොමුකිරීම. ඒ යටතේ පහත කාරණා වලට අවධානය යොමුකෙරෙනවා.

    • සෞඛ්‍යාරක්ෂිත දරු ප්‍රසූතිය – මේ සඳහා අවශ්‍ය සියලු දැනුම සහ පහසුකම් නොමිලයේ රජය මඟින් ලබාදෙනවා.
    • මාතෘ නිවාඩු – අවශ්‍ය සියළු නීතිමය ප්‍රතිපාදන රජය මඟින් සම්පාදනය කරලා තියෙනවා.
    • උපතේ සිය මාස 6ක් දක්වා මව්කිරි පමණක් දීම – රජයේ වගේම පෞද්ගලික රෝහල් හරහා දරු උපත් සිදුකරන සියළු මව්වරුන්ට මේ පිළිබඳ තරයේ උපදෙස් ලැබෙනවා.
    • ප්‍රතිශක්තිකරණය – ඉතාම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් ශ්‍රී ලංකා රජය මඟින් ක්‍රියාත්මක කරනවා.

 

2. වර්ධනය – මේ යටතේ සළකා බැලෙන්නේ දරුවාගේ ශාරීරික වර්ධනය.

 

3. සමස්ථ සංවර්ධනය – මේක වර්ධනයට එහා ගිය පුළුල් මාතෘකාවක්. මේ යටතේ පහත කාරණා වලට අවධානය යොමුකෙරෙනවා.

    • කායික සංවර්ධනය.
    • මනෝ චාලක සංවර්ධනය.
    • සමාජ සංවර්ධනය.
    • චිත්තවේග සංවර්ධනය.
    • බුද්ධි සංවර්ධනය.
    • භාෂා සංවර්ධනය.
    • පරිසර අවධානය.
    • සෞන්දර්යාත්මක සංවර්ධනය
    • යහජීවන පුරුදු හා අචාර ධර්ම.

 

7. දෙමාපියන්ගේ කාර්යභාරය

මුල් ළමාවිය සංවර්ධනය කියන්නෙ රටක් විදිහට ලොකු අවධානයක් යොමු කරපු, පෙර පාසල් සහ පාසල් ගුරුවරුන්ගේ ලොකු වගකීමක් විදිහට සලකපු ක්‍රියාවක් තමයි. හැබැයි මුලදිම කිව්වත් වගේ මෙතැනදී ලොකුම වගකීමක් තියෙන්නෙ දරුවාගේ දෙමව්පියන්ට. මොකද මුල් ළමාවිය කියල අපි නිර්වචනය කරන පිළිසිඳ ගැනීමේ ඉඳලා විධිමත් පාසලට ඇතුළත් වෙනකන් කාලසීමාව දරුවා වැඩිම කාලයක් ගත කරන්නේ දෙමව්පියන් එක්ක. ඉතින් ඒ නිසා දරුවෙක් ගැන සැලසුම් කරන මුල් කාලේ ඉඳලම අනාගතයේ රටට දායාද කරන්න හිතාගෙන ඉන්න මේ පුද්ගලයාව සංවර්ධනය කිරීමේ වගකීම කරට අරගෙන සාර්ථකව ඉටුකරන්න ඕන ඒ දරුවගේ දෙමව්පියන් තමයි. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *