ගෑණියෙක් ප්‍රශ්නෙක ඉන්නකොට පිරිමි කියන මොට්ට මෝල් දේවල්!

දැං ඔය ප්‍රශ්න තියෙනවනේ. ඉතින් තිබුණාවේ. ආයෙ මොකටද ප්‍රශ්න තියෙනවද අහලා පස්සෙං එලෝගෙන ගිහිං අල්ලගන්නේ? හැබැයි ඉතින් එහෙම කිව්වට ඔය කසාද බැඳපු උන්දැලට, ලව් එකක සෙට් වෙලා ඉන්න උන්දැලට එහෙම ඕක ඒ තරං සාර්ථක ඔප්ෂන් එකක් නෙවෙයි. ආයෙ ප්‍රශ්න වලට මූණ දෙන්න තියෙනවා නං, සත් සමුදුරු පත්ලේ ගුහාවක හැංගිලා හිටියත් ප්‍රශ්න හොයාගෙන එනවා. දැන් ඔය ප්‍රශ්න වලට මූණ දෙන එකත් හරි කියමුකෝ, හැබැයි එහෙම ප්‍රශ්නෙකට මැදිවෙලා ඉන්නකොට තමන්ගේ වාහේ – ඒ කිව්වේ පෙම්වතා හෝ ස්වාමියා හෝ ගෙදර මිනිහා- කරන කියන සමහර දේවල් වලින් ඒ ප්‍රශ්නෙත් ඩබල් වෙනවා. ප්‍රෙෂර් එකත් ඩබල් වෙනවා!

එහෙම පිරිමි කරන කියන මොට්ට මෝල් මෝඩ වැඩ දැනගෙන හිටියොත් අඩු ගාණේ හිත හදාගන්න පුළුවන් වෙයිද? ඒක ඉතින් අපි දන්නෙ නෑ, කියෝලම බලන්ඩ!

 

1. ඔය ප්‍රශ්නේ විසඳන්නේ මෙහෙමයි

ඔන්න ගෙදර ගෑණු මනුස්සයා ඇවිල්ලා ඔෆිස් එකේ එයාට වුණු ලොකු ප්‍රශ්නයක් ගැන කියන්න පටන් ගන්නවා. අදාළ ෆයිල් වල වැඩ ඉවර නැහැයි කියලා බොසා බැනලා. හැබැයි ප්‍රශ්නෙන් බාගයක්වත් කියන්න වෙන්නෙ නෑ. ගෙදර මනුස්සයා පටන් ගන්නවා, “ඔය ප්‍රස්නේ විසඳන්න ඕන මෙහෙමයි හාමිනේ” කියලා. දැන් ගෙදර උන්දෑ ඇවිත් ප්‍රශ්නේ කියන්න පටන් ගත්තේ හැමදේම දන්න ලොකු තාත්තා කියලා තමන්ම හිතාගෙන ඉන්න ගෙදර මනුස්සයාගෙන් ප්‍රශ්නේ විසඳන හැටි අහගන්නද? ඕක ඉතින් විසඳන හැටි ගෙදර ගෑණු මනුස්සයා දන්නවා. කරන්න තියෙන්නේ ඕටී එකක් දාගෙන හරි ෆයිල් වල වැඩ ටික ඉවර කරන එක. හැබැයි සීන් එක මේකයි. ගෑණු මනුස්සයා ඇවිත් ප්‍රශ්නේ මිනිහට කියන්නේ ඒක කියලා ඔළුව රිලීස් කරගන්න. එතකොට ඇත්තටම බුද්ධිමත් මනුස්සයෙක් නං කරන්න ඕනෑ ඒ ප්‍රශ්නේට සාවධානව ඇහුම්කන් දෙන එක.

 

2. හ්ම් හ්ම්

 

දැං ඔන්න වයිෆ් ඇවිත් ලඟින් ඉඳගෙන “බලන්නකො අනේ…” කියලා හෙනම සීරියස් කතාවක් කියන්න පටන් ගන්නවා. මොකක් හරි ලොකු ප්‍රශ්නයක්. මහත්තයත් අපරාදෙ කියන්න බෑ හෙනම උනන්දුවෙන් නෝනගේ කතාවට සවන් දෙනවා. අපි කොහොමද දන්නෙ මහත්තයා උනන්දුවෙන් සවන් දෙනව කියලා? ඇයි ගාණට රූලට හූමිටි තියනවා. සමහර වෙලාවට වයිෆ් කතාකරගෙන යන මැද්දෙත් ඩබල් හූමිටි වදිනවා. හරියට ස්ටෙරොයිඩ් ගහපු බස්සෙක් වගේ. අන්තිමට වයිෆ් කතාව ඉවර කරලා අහනවා “ඔයා මොකද හිතන්නෙ ඒ ගැන?” කියලා. මහත්තයා හෙනම උද්‍යෝගෙන් ඒකටත් හ්ම් හ්ම් කියනවා!

 

බැලින්නං මුන්දෑ කතාවේ එක ඇලපිල්ලක්වත් අහගෙන ඉඳල නෑ. මිනිහා මෙච්චර වෙලා කල්පනා කරල තියෙන්නේ අල්ලපු ගෙදර කාන්ති නංගි අදත් නාපු ගමන් රෙදි වනන්න වැට ගාවට එයිද කියලා!!

 

 

3. ඕකට චැසියක් ගැහුව නං හරි

 

දැන් ඔය ගෙදර නෝනට එන සමහර ප්‍රශ්න තියෙනවා, එව්වට ඕන කරන්නේ සාවධාන ඇහුම්කන් දෙන්නෙක් සහ ඊට පස්සේ ප්‍රශ්නේ ඇනලයිස් කරලා හොඳ විසඳුමක් සැපයීමක්. ඉතින් නෝනා ප්‍රශ්නෙ කියනවා. මහත්තයා හ්ම් හ්ම් කිය කියා අහගෙන ඉන්නවා. ඔව්, උඩ කියපු විදියටම තමයි අහගෙන ඉන්නේ. ඉතින් අන්තිමට නෝනා අහනවා “ඔයා කියන්ඩකෝ, මේකට අපි මොකද කරන්නේ?” කියලා. ඉතින් දැන් උඩ කියපු විදියටම බස්සා වගේ ඔළුව වන වනා අද බංගලියෝ මැච් එක දිනයිද, අපිට විකට් කූරු ටික කන්ඩ වෙයිද කියලා හිත හිතා හිටපු මහත්තයා කියනවා “ඕකට හොඳ චැසියක් ගැහුව නං හරි” කියලා. බලනකොට නෝනා කියල තියෙන්නේ තමන්ගේ යාලුවා ලස්සන මදි කියලා යාළුවගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාව දාලා ගියපු කතන්දරයක්!

 

 

4. ආනේ කාමිණීටද ප්‍රශ්නේ?

 

සාමාන්‍යයෙන් ඔන්න ගෑණු ළමයා තමන්ගේ ප්‍රශ්නයක් කියනකොට කොල්ලට කියන්න තියෙන්නේ “හම් හම්” කියලා හරි එහෙම නැතිනම් මේ ලිස්ට් එකේ කියන වෙන මොකක් හරි මළ පනින සීන් එකක් තමයි. හැබැයි ඔන්න ගෑණු ළමයා ප්‍රශ්නෙ කියාගෙන යන අතරේ කියනවා “කාමිණීටත් ඒ ප්‍රශ්නෙමයි වුනේ” කියලා. කාමිණී කියන්නේ ගෑණු ළමයගෙ ඇහැට කනට පේන යාළුවෙක්. ආන්න කොල්ලගෙ ඇන්ටනාව ටියුන් වෙනවා. “දැන් කාමිණීටද ප්‍රශ්නේ?” කියලා බොහොම උද්‍යෝගයෙන් ප්‍රශ්නේ අහන්න සූදානං වෙනවා. ආන්න ඒ වෙලාවට තමයි බෙංගාල බොක්කේ පීඩන අවපාත ඇතිවෙන්නේ. හැබැයි ඉතින් එහෙම අවස්ථාවක සිදුවෙන අකුණු ගැසීම් අනං මනං වලට නරකක් කියන්නත් අපිට බෑ. මොකද, ඉල්ලගෙන කනවා කියන්නේ ඔව්වටනේ.

 

 

5. ගෑණුන්ට තමයි ඔව්වා මහ ලොකු ප්‍රශ්න වෙන්නේ

 

ඔන්න දැන් නෝනා ඇවිත් තමන්ට තියෙන බොන්න ඕන ප්‍රශ්නයක් ගැන කියනවා. හැබැයි ප්‍රශ්නේ බාගයක් දුරට වඩා කියන්න වෙන්නේ නෑ. මහත්තයා පටන් ගන්නවා දේශනාව. කොහොමත් ලොක්කා අර ගැහැණු නුවණ හැඳි මිටේ, පිරිමි තමයි ලෝකේ බරපතල දේවල් දන්නේ, ඒක හින්දා පිරිමින්ට ආයෙ කොයි කොටුවත් එකයි කියලා හිතාගෙන ඉන්න ඩයල් එකක්නේ. “බලන්න මැණිකේ ඕක ප්‍රස්නයක්ද හැබෑටම? ගෑණුන්ට තමයි ඔව්වා මහ ලොකු ප්‍රශ්න වෙන්නේ, අපි ඔය වගේ ප්‍රශ්න ඩේලි බේසිස් බ්‍රෙක්ෆස්ට් එකට ගන්නේ” කියලා ඉතින් ඔන්න පිරිමින්ගේ වරුණාවයි, ගෑණු ප්‍රශ්න දෙකෙන් වැඩි කරලා පහක් එකතු කරලා හිතාගන්න හැටියි, එහෙම නැතුව තාත්විකව, සාත්විකව ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ඕන හැටියි ගැන පැය දෙකේ ආසන බණක් පටන් ගන්නවා.

 

ලොක්කට අද රෑට කන්න හම්බුණොත් වාසනාව!

 

 

6. මටත් ඔහොමම වැඩක් වෙලා තියෙනවා මම කළේ මෙහෙමයි

 

මේකත් ඔය උඩ කියපු එකේම තව වර්ෂන් එකක් තමයි. දැන් වයිෆ් ඇවිදින් ප්‍රශ්නේ ගැන කියනවනේ. හැබැයි ප්‍රශ්නේ බාගයක් කියාගෙන යනකොට හස්බන්ඩ් මැද්දෙන් පනිනවා. “ආ මට තේරෙනවා. මටත් ඔහොම්මම වැඩක් වෙලා තියෙනවා. අහවල් කාලේ මම බෝඩිමේ ඉන්නකොට අහවලා හින්දා තමයි ඔය ප්‍රශ්නේ වුණේ…” ඔන්න ඔහොම ඉතින් හස්බන්ඩ් පටන් ගන්නවා මොණරගෙ ඉඳන් ජාතක කතාව දිගාරින්න. අන්තිමට පැයකට පස්සේ කතාව ඉවර කරලා කියනවා “මම කළේ මෙහෙමයි, ඒක ටක්කෙට හරි ගියා, ඔයාටත් කරන්න තියෙන්නේ ඒක තමයි. ආ දැං ඔයාගෙ කතාව කියන්ඩකෝ” කියලා. යකෝ වයිෆ් ආවේ තමන්ගේ ප්‍රශ්නෙ කියන්න. හැබැයි අන්තිමට සිද්ධ වුණේ මුන්දැගෙ මාගලක් දිගාරින දිහා බලාගෙන ඉන්න.

 

ඊටත් හපං තමන්ගේ ප්‍රශ්නෙත් මුන්දැට වෙච්ච දේකට සමාන කරලා, ජෙනරලයිස් කරනවා නේද. මරාගෙන කන්න හිතෙන්නේ, මරාගෙන!

 

 

7. පොඩ්ඩක් කළබල නොවී ඉන්න දැන්

 

සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ආපු ගමන් සෑහෙන්න කලබල වෙන එක සමහර ගැහැණු පාර්ශවේ උදවියගේ විදියක්නේ. ඉතින් ඒ කළබලෙන්ම තමයි ප්‍රශ්නේ කියන්න දුවගෙන එන්නෙත්. ඉතින් දැන් ඔන්න එයා හති අල්ල අල්ලා ප්‍රශ්නේ කියනවා. එතකොට මෙයා ප්‍රශ්නෙ කියන්න නොදී මැදින් බාධා කරලා කියනවා “ඔයා ඔක්කොටම කලින් පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ” කියලා. “යකෝ කලබලේ අඩු කරගන්න තමයි ප්‍රශ්නෙ තොට කියලා හිත නිදහස් කරගන්න හදන්නේ, ආයෙ කලබල වෙන්ඩෙපා කිවුවොත් කපනවා සෙන්ටිමීටරේ කෑලි වලට” කියලා තමයි එතකොට එයාගේ හිතේ සයිරන් වදින්නේ.

 

පිරිමි පාර්ශවේ හොඳට මතක තියාගන්න. පොඩ්ඩක් කලබල නොවී ඉන්න කියන එක ඕනම මොහොතක ගෑණු පාර්ශවේ කෙනෙක් ඉස්සරහා කියන්න පුළුවන් බොහොම අන්තරායදායක ප්‍රකාශයක් කියන එක!

 

 

8. ඒක නෙවෙයිනේ ඔයාට කරන්න තිබුණේ

 

“ඔන්න ඕකනේ කියන්නේ, ඔයා පොඩි දේත් අනා ගන්නවනේ. ඕක නෙවෙයිනේ ඔයාට කරන්න තිබ්බේ, ඔයාට කරන්න තිබ්බේ මේකයි!” පිරිමි ඔන්න ඔහොම ප්‍රශ්නයක් කියාගෙන එනකොට තමන් එතනදී කටයුතු කරපු විදිය වැරදියි කියලා හරි විදිය ගැන ඇඩ්වයිස් දෙන්න එනවා නේද. ඒ වෙලාවට ගෑණියෙක්ට හිතෙන්නේ කෙලින්ම ටීවී එක උස්සලා මුන්දැගෙ ඔළුව උඩට අතාරින්න. යකෝ හිත අප්සෙට් එකේ නිසා මූට විස්තරේ කියලා අප්සට් එක ඉවර කරගන්න ආවහම, මුන්දෑ අපි කරපු විදිය වැරදියි කියනවා. වැරදි වෙන්න පුළුවන් හැබැයි ඒක මෙතනට අදාළ නෑනේ. අපි තමයි හොඳටම කළේ!

 

 

 

 

දැං එතකොට පිරිමියෙක්ට ප්‍රශ්නයක් තියෙනකොට ගෑණියෙක් මෙහෙම ගොන් පාට් දාන්නෙ නැද්ද? මොකෝ නැත්තෙ දෙයියෝ. ගෑණුත් සමහර වෙලාවට ඔච්චර තමයි. හැබැයි ඉතින් අපි ඒක කලින්ම කියලා තියෙනවනේ! අද පිරිමින්ගෙ වාරෙ.

 

මිනිහෙක්ට ප්‍රශ්නයක් තියෙනකොට ගෑණියෙක් කරන මෝඩ දේවල්!

 

දැං එතකොට ඔය වගේ ප්‍රශ්නෙකදී ඇත්තටම මොනවද කියන්න ඕන? ඒ ගැන අපි ඉදිරි සතියකදි කියන්නම්… 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *