සුප්‍රක​ට ඉන්දියානු ගණිතඥයෝ

අපේ රට ළඟම තියෙන ඉන්දියාව ගැන හරි හැටි අවබෝධයක් අපිට නැහැ. ගොඩක් වෙලාවට අපි ඉන්දියාව ගැන දකින්නෙම වැරදි චිත්‍රයක්. ඉන්දියාව ලබන ජයග්‍රහණ අපේ මිනිස්සු පාච්චල් කරලා කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපන අංශයෙන් ඉන්දියාව ලබාගෙන තියෙන දියුණුව අති විශිෂ්ටයි. අපි අද කතා කරන්න යන්නේ ඉන්දියාවෙන් බිහි වුණු සුප්‍රකට ගණිතඥයන් වූ කීප දෙනෙක් පිළිබඳව.

 

1. ශකුන්තලා දේවී 

Human-computer නමින් හැඳින්වුණු ශකුන්තලා දේවි මුළු මහත් ලෝකයම විශ්මයට පත් කරන්න සමත් වෙච්ච කාන්තාවක්. මේ නිසාම වරක් ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි මහත්මිය ඉන්දියාවට බොහෝ තානාපතිවරුන් හිටියත් ඉන්දියාවේ ගණිත තානාපතිවරිය වෙන්නේ ශකුන්තලා දේවි කියන ප්‍රකාශය සිදු කළා. අංක 201 කින් යුතු සංඛ්‍යාවක වර්ගමූලය කුමක්දැයි යන්න කීමට ඇයට ගතවූයේ තප්පර 50ක් පමණයි. ඇගේ ජීවිතය ඇසුරෙන් ඇගේ නමින්ම චිත්‍රපටියක් පවා නිපදවුණා. විද්‍යා බාලන් එහි ඇගේ චරිතයට පණ පොවනු ලැබුවා. ඒ වගේම ඇය යම්තාක් දුරකට ආන්දෝලනාත්මක චරිතයකුත් වුණා. ඉන්දියාවේ සමලිංගිකත්වය පිළිබඳව  පළමු වරට කෘතියක් නිකුත් කළ තැනැත්තිය විදිහට  ඇය ඉතිහාසගත වෙනවා.

 

 

2. රාධා ගෝවින්ද් ලාහා

කල්කටාවේ උපත ලැබූ ගෝවින්දා ලාහා සම්භාවිතාව සහ සංඛ්‍යානය ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. ආරම්භයේදී ඉන්දියාවේ සේවය කළ ඔහු පසුව ඇමරිකාවේ කතෝලික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු ලෙස එකතු වුණා. ඉන්පසුව ඔහු ලොව පුරා සුප්‍රකට ආයතන ගණනාවකට සිය සේවය ලබා දුන්නා. ඒ වගේම ගණිතය සම්බන්ධයෙන් පර්යේෂණවල යෙදෙන ආයතන කීපයකටම විශාල පරිත්‍යාග ලාහා විසින් සිදු කරනු ලැබුවා.

 

 

3. බී. එස් මාධව රාවෝ 

මාධව රාවෝ ගණිතඥයෙකු ලෙස භෞතික විද්‍යා සංකල්ප ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩි දායකත්වයක් ලබා දෙනු ලැබුවා. පසු කාලයක ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ යම් යම් ප්‍රවාද සඳහා විද්වතුන්ගේ අවධානය යොමුවූයේ ආදර්ශ ප්‍රවාද විදිහටයි. මීට අමතරව විනෝදාංශයක් ලෙස ගණිත ගැටළු විසඳන්නන් අතර ජනප්‍රියව පැවති ගණිත ප්‍රබෝධය වැනි පොත්පත් ලිවීමටත් ඔහු කටයුතු කරනු ලැබුවා. ඒ වගේම සාමාන්‍යයෙන් ගණිතඥයන් කියන්නේ වෙනත් බාහිර කටයුතු ගැන එතරම් අවධානයක් නොදක්වන පුද්ගලයන් කියන කතාව රාවෝ බොරු කරනු ලැබුවා. ක්‍රීඩාවට විශේෂ කැමැත්තක් දැක්වූ ඔහු ඉන්දීය ජාතික ක්‍රීඩා සංගමයේ උද්යෝගිමත් සාමාජිකයෙකු බවට පත්වුණා.

 

 

4. හරිශ් – චන්ද්‍ර

ගණිතඥයකු සහ භෞතික විද්‍යාඥයකු ලෙස එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා හරිශ් – චන්ද්‍ර විසින් සිදුකරන ලද දායකත්වය අගය කරමින් සෛද්ධාන්තික භෞතික විද්‍යාව සඳහා වන පර්යේෂණ ආයතනය ඔහු නමින් නම් කිරීමට ඉන්දීය රජය කටයුතු කළා. මීට අමතරව 1977 වසරේදී පද්ම භූෂණ සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා. ඇමරිකානු ගණිත සංගමය විසින් පිරිනමනු ලබන කෝල් ත්‍යාගය සහ ඉන්දියාවේ ස්වභාවික විද්‍යා ඇකඩමිය මගින් පිරිනැමෙන ශ්‍රීනිවාස් රාමුනුජාන් පදක්කමෙන්ද ඔහු පිදුම් ලැබුවා.

 

 

5. සත්යේන්ද්‍රනාත් බෝස්

සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ ඉහළම නමක් තැබූ ඉන්දීය ගණිතඥයෙක් විදිහට බෝස්ව හඳුන්වන්න පුළුවන්. කොන්ටම් භෞතික විද්‍යාවේ සංවර්ධනය සඳහා පදනම වැටුණු බෝස් – අයින්ස්ටයින් සංඛ්‍යාන සඳහා මොහුගේ පර්යේෂණ ප්‍රධාන වශයෙන් හේතු පාදක වුණා. මේ නිසාම ඉන්දියාවේ ආණ්ඩුව පද්ම විභූෂණ සම්මානය ඔහුට පිරිනැමීමට කටයුතු කළා. බෝසෝන සඳහා නම ලැබෙන්නේ ඔහුට ගෞරවයක් විදිහටයි.

 

 

6. ඩී. ආර්. කප්රේකර්

පර්යේෂණ කටයුතු සඳහා නොව විනෝදය සඳහා ගණිතය ප්‍රවර්ධනය කිරීම ගණිත ප්‍රබෝධය ලෙස හඳුන්වනු ලබනවා. පසුගිය සියවස් දෙක තුළ මෙම සංකල්පය කෙමෙන් කෙමෙන් ජනප්‍රිය වුණා. ඒ සඳහා ඩී. ආර් කප්රේකර්ගේ දායකත්වයක් ඉතා ඉහළයි. සිය ජීවිත කාලය තුළ දී ආචාර්ය උපාධියක් නොලැබූවත් ඔහු විසින් සංඛ්‍යා පිළිබඳව විවිධ සොයාගැනීම් සිදු කරනු ලැබුවා.

 

 

7. සී. ආර් රාඕ

ඉන්දියාවේ උපත ලැබූ ඔහු පසුකලෙක ඇමරිකාවේ නිත්‍ය පුරවැසියෙකු බවට පත්වුණා. අද වන විට ඇමරිකාවේ පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඔහුට ඇමරිකා එක්සත් ජනපදය විසින් විද්‍යාව සඳහා වූ ජාතික පදක්කමද  පිරිනමනු ලැබුවා. සංඛ්‍යාන ක්ෂේත්‍රය සඳහා ඔහු දැක්වූ දායකත්වය ප්‍රධාන වුවත් ඒ හරහා ක්ෂේත්‍ර රැසක චින්තනය වෙනස් කිරීමට ඔහු සමත් වුණා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *