කාන්තාවන්ට සුලභව වැළඳෙන ගැබ්ගෙළ පිළිකා ගැන දැනුවත් වෙමු!

පිළිකා කියන්නෙ හැමෝටම බය හිතෙන මාතෘකාවක්. පිළිකා ගැන එක එක මාතෘකා ඔස්සේ අපි මීට කලින් කතා කරලත් තියෙනවනේ. මේ කියන්න යන්නෙ ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල කාන්තාවන්ට සුලභව වැළඳෙන ගැබ්ගෙල පිළිකා ගැනයි. ලංකාවේ ගත්තොත් කාන්තාවන් අතරේ දෙවනියට සුලභම පිළිකා වර්ගය, පිළිකා නිසා සිදුවන කාන්තා මරණ අතරින් පියයුරු පිළිකා වලට පමණක් දෙවෙනි වෙන පිළිකා වර්ගය තමයි මේ ගැබ්ගෙල පිළිකා කියල කියන්නෙ. ඉතින් පියයුරු පිළිකා ගැන ඔබව මීට කලින් දැනුවත් කරල තියෙන නිසා ගැබ්ගෙල පිළිකා ගැනත් දැනුවත් කරන එක හොඳයි කියල අපි හිතුවා. මේ ලිපිය කියවල ගැබ්ගෙල පිළිකා ගැන, ඇතිවෙන ආකාරය ගැන වගේම වළක්වා ගන්න හැටි ගැනත් දැනුවත් වෙන්න පුළුවන්. 

 

 

1. මොකක්ද මේ ගැබ්ගෙල?

ගැබ්ගෙල කියල කියන්නෙ කාන්තා ප්‍රජනන පද්ධතියේ ප්‍රධානම කොටසක් කියල කිව්වත් වැරදි නැහැ. කාන්තා ප්‍රජනන පද්ධතියේ ගර්භාෂයේ පහල කොටස සහ යෝනි මාර්ගයේ ඉහළ කොටස හා සම්බන්ධ වෙන කුඩා නමුත් ඉතාම වැදගත් තැනක් තමයි ගැබ්ගෙල කියල කියන්නෙ. ඉතාම ශක්තිමත්, සිනිඳු පේෂී වලින් සකස් වුණු මේ ගැබ්ගෙල ඔසප් කාලසීමාවේදී ඒ ඔසප් රුධිරය පහලට එවමින්, සංසර්ගයේදී ශුක්‍රාණු ගර්භාෂය දෙසට යවමින් වගේම දරු උපතක් අවස්ථාවේත් ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. 

 

 

2. ගැබ්ගෙල පිළිකා

මොකක්ද මේ ගැබ්ගෙල පිළිකාවක් කියන්නෙ? සරලවම කිව්වොත් අපි අර කලින් පැහැදිළි කරපු ගැබ්ගෙල අවට තියෙන සෛල ආශ්‍රිතව ඇතිවෙන පිළිකාමය තත්ත්වයක් තමා ගැබ්ගෙල පිළිකාවක් කියල කියන්නෙ. ගැබ්ගෙල පිළිකා ඇතිකරන වෛරසය ගැබ්ගෙල ආශ්‍රිත සෛල වලට ඇතුළත් වෙලා කාලයක් තිස්සේ ඒ සෛල වල සංයුතියේ වෙනස්කම් සිදුකිරීම මඟින් තමයි මේ ගැබ්ගෙල පිළිකා තත්ත්වය ඇතිවෙන්නේ. හැබැයි මේ වෛරසය ඇතුළත් වෙන හැම කෙනෙකුටම මේ තත්ත්වය ඇතිවෙන්නෙත් නැහැ. අනිත් හැම වෛරසයකදී වගේම මේ වෛරසයේදීත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් සටන් කරල වෛරසය පැරදවීම සිදු කරනව. හැබැයි වෛරසය ඇතුළත් වෙන කාන්තාවන්ගෙන් 10% වගේ ප්‍රමාණයකට වෛරසයේ හානිකර ප්‍රතිඵල අත්දකින්න වෙනව. 

 

 

3. ගැබ්ගෙල පිළිකා වර්ග

මේ ගැබ්ගෙල පිළිකා ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනව. ඒ රෝග විනිශ්චයේ පහසුව සහ ප්‍රතිකාර කිරීමේ පහසුව සඳහා.

  • Squamous cell carcinoma හෙවත් චතුරස්කාරක සෛල පිළිකා

දැනට හඳුනාගන්න ගැබ්ගෙල පිළිකා වලින් බහුතරයක් අයත් වෙන්නෙ මේ චතුරස්කාරක සෛල පිළිකා ගණයටයි. ඒ කියන්නේ ගැබ්ගෙලෙහි පිටත කොටස ආවරණය වෙන තුනී, පැතලි (චතුරස්රාකාර) සෛල වලින් ආරම්භ වෙලා පැතිරී යන පිළිකා තත්ත්වයන්. 

  • Adenocarcinoma

මේ වර්ගයේ පිළිකා ආරම්භ වෙන්නේ ගැබ්ගෙල ආශ්‍රිතව පවතින තීරු හැඩයෙන් යුතු ග්‍රන්ථි සෛල වලින්. 

මේ දෙවර්ගය වෙන වෙනම හඳුනාගත්තට සමහර අවස්ථාවන්වලදී මේ සෛල දෙකම ආශ්‍රිතව ආරම්භවෙන ගැබ්ගෙල පිළිකා තත්ත්වයන් පවා දකින්න පුළුවන්. හැබැයි මේ දෙකට අමතරව ගැබ්ගෙල ආශ්‍රිත වෙනත් සෛල වල පිළිකා තත්ත්වයන් ඇතිවෙන්නේ ඉතාමත් කලාතුරකින්. 

 

 

4. හියුමන් පැපිලෝමා වෛරසය

මේ හියුමන් පැපිලෝමා වෛරසය (Human Papilloma Virus – HPV) තමයි ගැබ්ගෙල පිළිකා ඇතිවෙන්න හේතුවෙන වෛරසය. මේ වෛරසය ආසාදනය වීම මූලිකවම සිදුවෙන්නේ ලිංගික සංසර්ගය හෝ ස්පර්ශයන් මඟින්. ඒ කියන්නේ ලිංගිකව සක්‍රීය වයසට එළඹෙන්න කලින් වයසේදී ගැහැණු දරුවෙකුට මේ වෛරසය වැළඳීමේ අවදානමක් නැහැ. HIV ආසාදනය මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වීම, දුම් පානය සහ ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත සනීපාරක්ෂාව සම්බන්ධ ගැටළු නිසාත් ගැබ්ගෙල පිළිකා අවදානම ඉහළ යන්න පුළුවන්.

මේ HPV කියල කියන්නෙ විවිධ ප්‍රභේද 100ක් විතර තියෙන වෛරසයක්. ඒකෙන් HPV 6, 11, 16, 18 සහ 31, 33, 34, 45, 52 කියන වර්ග තමයි මූලිකවම පිළිකා ඇතිකරන්න හේතු වෙන්නේ. ඒකෙනුත් ලිංගාශ්‍රිතව බෝවෙන වැඩිම පිළිකා අවදානමක් තියෙන්නේ HPV 16 සහ 18 කියන වර්ග වලයි. හැබැයි කලිනුත් අපි කිව්ව වගේ මේ වෛරසය ආසාදනය වුණු හැටියේම පිළිකාව වර්ධනය වීම සිදුවෙන්නේ නැහැ. වෛරසය මඟින් ගැබ්ගෙල ආශ්‍රිත සෛල වල සංයුතිය වෙනස් කරන්න අවුරුදු 10 – 15 වගේ දීර්ඝ කාලයක් ගතවෙනවා. මේ කාලය තුළදී ගැබ්ගෙල පරීක්ෂා කරගැනීමකින් පිළිකාව ආරම්භක අවධියේදීම හඳුනාගන්න පුළුවන්. 

 

 

5. පැප් පරීක්ෂණය

මේ විදිහට ගැබ්ගෙල පරික්ෂා කරල මූලික අවධියේදීම පිළිකාව හඳුනාගන්න කරන පරීක්ෂණය තමයි පැප් පරීක්ෂණය කියල කියන්නෙ. PAP පරීක්ෂණයේදී සිදුකරන්නෙ ගැබ්ගෙල ආශ්‍රිත ප්‍රදේශයෙන් සෛල සාම්පල ලබාගෙන ඒවා පරීක්ෂා කර බැලීමක්. මාසික ඔසප් වීම සිදුවී සති 1-2 අතර කාලයේ තමයි සාම්පල ලබාගැනීම සිදුකරන්නේ. 

සාමාන්‍යයෙන් දියුණු රටවලනම් මේ PAP පරීක්ෂණය වයස අවුරුදු 21ට වැඩි ලිංගිකව සක්‍රීය සෑම කාන්තාවකටම වසර 3 කට වරක් කරගන්න අනුමත කරනව. ලංකාවේත් අවුරුදු 35ට වැඩි හැම කාන්තාවකටම රජයේ සුවනාරී සායනය මඟින් වසර පහකට වරක් මේ PAP පරීක්ෂණය සිදුකර ගන්න අවස්ථාව සලස්වාදීල තියෙනවා. HIV වෛරස ආසාදනය නිසා හෝ කීමෝතෙරපි, අවයව බද්ධ කිරීම වගේ හේතු නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල අය මීට වඩා අඩු කාල පරාසයකින් පරීක්ෂණය සිදුකිරීම සුදුසුයි. මේ පරීක්ෂණය මඟින් පිළිකාව මූලික අවධියේදීම හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කරන්න පුළුවන්. 

 

 

6. රෝග ලක්ෂණ

වෛරසය ආසාදනය වුණු මුල් කාලයේදී කිසිම රෝග ලක්ෂණයක් දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා තමයි පරීක්ෂණයක් මඟින් තත්ත්වය හඳුනාගැනීම වැදගත්. මේ වෛරසය පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා පැතිරීම සිදුවෙන අවසාන අවධියේදී පහත රෝග ලක්ෂණ දකින්න පුළුවන්.

  • සංසර්ගයෙන් පසුව යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් හෝ අසාමාන්‍ය දුගඳැති ශ්‍රාවයක් පිටවීම.
  • මාසික ඔසප් වීම් දෙකක් අතර කාලයේදී රුධිර වහනය.
  • කෑම අරුචිය සහ ශරීරයේ බර අඩුවීම වැනි සාමාන්‍ය පිළිකා ලක්ෂණ.

 

 

7. ගැබ්ගෙල පිළිකා වළක්වන එන්නත

ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා ඉතාම සාර්ථක එන්නතක් මේ වෙනකොට භාවිතයේ තියෙනවා. හැබැයි එන්නත පළමු ලිංගික සම්බන්ධයට පෙර ලබාගන්න අවශ්‍යයි. දැනට වයස අවුරුදු 10-26 අතර ඕනෑම කාන්තාවකට මෙම එන්නත පෞද්ගලික රෝහල් මඟින් ලබාගන්න පුළුවන්. 2017 වසරේ ඉඳන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ගැහැණු දරුවන්ට මෙම එන්නත ලබාදීම පාසල් මට්ටමින් සිදුකරනවා. වයස 13ට පෙර එන්නත ලබාදෙනවනම් මාස 6ක පරතරය සහිතව එන්නත් මාත්‍රා දෙකක් ප්‍රමාණවත් වෙනවා. වයස අවුරුදු 13ට පස්සේ ලබාදෙනවනම් එන්නත් මාත්‍රා 3ක් ලබාදෙන්න ඕන. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *