ලෝකයේ පූජනීයම ගස් 7ක්

අපේ රටේ අනාදිමත් කාලයක ඉඳන් ඇසතු වෘක්ෂය බෝධීන් වහන්සේ විදිහට පුද පූජාවට ලක් වෙනවා. අප මහා  බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා දෙන්න උපකාර කරපු මේ වෘක්ෂය වෙනුවෙන් අපි ආමිස පූජා පවත්වනවා. ප්‍රාදේශීයව ගත්තොත් එහෙම විවිධ ගස් පූජනීයත්වයෙන් සැළකෙනවා. විශේෂයෙන්ම නුග ගස් සහ නා ගස්. මේ ගස් ආශ්‍රය කරගෙන වෘක්ෂ දේවතාවන් වැඩ වාසය කරනවා කියන විශ්වාසය තමයි මේ සඳහා වැඩිපුර බලපාන්නේ. අපි අද කතා කරන්න යන්නේ ලෝකය පුරා මේ විදිහටම පූජනීයත්වයෙන් සැළකෙන වෘක්ෂ කීපයක් පිළිබඳව.

 

1. බෙයබැබ් (Baobab)

බෙයබැබ් ගහ මැඩගස්කර වාසීන්ට අතිශය පූජනීය වෘක්ෂයක්. දෙවි දේවතාවුන් වහන්සේලා මේ ගස ආශ්‍රය කරගෙන වාසය කරන බවට ඔවුන් විශ්වාස කරනවා වගේම තමන්ගේ පවුලේ මියගිය සාමාජිකයන්ද මේ ගස ආශ්‍රය කරගෙන ජීවත් වෙනවා කියලා  ඔවුන් දැඩි ලෙස විශ්වාස කරනවා. මේ නිසාම මේ ගස් පාමුලට මීපැණි, වයින් වර්ග පමණක් නොව ඇතැම් විට මුදල් පවා මැඩගස්කර වාසීන් පූජා කරනවා. ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ මේ ගසේ හැදෙන පළතුරු ප්‍රතිශක්තිකරණ ගුණයෙන් ඉහළ නිසා මේ විශ්වාසවලට  පදනම වැටුණා කියලායි. 

 

2. නටන ගහ (The dance tree)

වර්තමාන ජර්මනිය පිහිටා තිබෙන බිම් ප්‍රදේශය ක්‍රිස්තියානිකරණයට ලක් වීමට පෙර මේ ශාක සඳහා දේශීය ජන ඇදහිලි වල සුවිශේෂී ස්ථානයක් හිමි වුණා. පුරාණ ජර්මන් ගෝත්‍රිකයන් සිය ඒකරාශි වීම් සිද්ධ කරනු ලැබුවේ මේ ගස්වල සෙවණ යටයි. විශේෂයෙන්ම යුක්තිය පසිඳලීමේ කටයුතු මේ ගස ආශ්‍රයෙන්ම සිදු කරනු ලැබුවා. ක්‍රිස්තියානි දහම පැතිරීමත් සමඟම මෙම සම්ප්‍රදාය වෙනස් වුවත් අද දක්වාම මෙම ශාක විශේෂය යුක්තියේ සහ ආරක්ෂාවේ සංකේතයක් ලෙස සළකනු ලබනවා.

 

3. ග්ලාස්තොන්බරිහි ශුද්ධ වූ තෝන් (කටු) වෘක්ෂය (The Holy thorn tree of glastonbury)

දකුණුදිග එංගලන්තයේ පිහිටා තිබෙන මෙම පූජනීය වෘක්ෂය එරට ක්‍රිස්තියානි ඇදහීම් සමග බැඳී පවතිනවා. එක්තරා ජනප්‍රවාදයකට අනුව ජේසුස් වහන්සේගේ සැරයැටිය උන්වහන්සේගේ මරණයෙන් පසුව එංගලන්තය වෙත ගෙනවිත් තිබෙනවා. එහිදී ඇරිමේතියාවේ ජෝසෆ් නම් එම ශුද්ධ වස්තුවේ භාරකරු අතරමග විඩා නිවා ගැනීමට මෙම ගස යට නිදාගෙන තිබෙනවා. පසුදින බලන විට මෙම සැරයැටිය ගස විසින් සිය මුල් මගින් බදා ගෙන තිබෙනවා. මුල් සැරයටිය ඉංග්‍රීසි සිවිල් යුද සමයේ දී ඉවත් කළ බව කියැවෙන අතර වර්තමානයේදී එහි අනුරුවක් තැන්පත් කොට තිබෙනවා.

 

4. ද ලෝන් සයිප්‍රස් ගස (The Lone Cypress Tree)

කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙරළක් අද්දර පිහිටා තිබෙන මෙම ගස පිහිටා තිබෙන ආකාරය නිසාම එය පූජනීයත්වයෙන් සැළකීමට පටන් ගෙන තිබෙනවා. වසර 200ක පමණ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මේ ගස ගලක් මත වැඩී තිබෙන්නේ විස්මයජනක ආකාරයෙන්. මේ නිසාම කැලිෆෝනියා ප්‍රාන්තයේ නිල නොලත් සංකේතයක් ලෙස  මෙම ගස භාවිතා වෙනවා.

 

5. මෙක්සිකෝවේ ටූලි ගස (The Tule tree of Mexico)

අද වන විට මේ ගස මෙක්සිකෝවේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණයක් බවට පත්ව තිබෙනවා. පුරාණ ශිෂ්ටාචාරවල නටබුන් නැරඹීමට මෙක්සිකෝව වෙත වැඩි වශයෙන් පැමිණෙන සංචාරකයන් මෙම ගස නැරඹීමට යන්නේ එහි ඇති අති දැවැන්ත ස්වභාවය නිසයි. අද වන විට ලෝකයේ ඇති විශාලතම ශාකයට හිමි වාර්තාව මෙම ටූලි ගස විසින් අත්පත් කරගෙන තිබෙනවා. අඩි 160ක පමණ වටප්‍රමාණයකින් යුක්ත මෙම ගසේ බර ටොන් පන්සිය පණහක් වන බව කියවෙනවා.

 

6. ඒබ්‍රහම්ගේ ඕක් ගස

දෙවියන්වහන්සේ විසින් ඒබ්‍රහම් හට ඔහුට ඊසාක් නම් පුත්‍රයා උපන් බව පැවසූ ස්ථානයේ මෙම ඕක් ගස පිහිටා ඇති බවට විශ්වාසයක් පවතිනවා. මේ ගසෙහි වයස අවුරුදු පන්දාහක් පමණ පැරණි බවටත් කියවෙනවා. කෙසේ නමුත් මීට වසර විස්සකට පමණ පෙර මෙම ගස මිය ගිය බව කියවුණත් පසුව එහි දළු දැමීමට පටන් ගත් බව ඇසීම බොහෝ දෙනෙක් සතුටටත් පත්කළ ආරංචියක් බවට පත්වුණා.

 

7. ආමන්ඩ් ගස

සරත් සමය ආරම්භ වීමත් සමග පළමුව දළු දමන ශාකය සහ එම සමය අවසාන වන විට අනෙකුත් ශාක අතරින් අවසානයටම කොළ හැලෙන ශාකය වීම නිසා අතීතයේ පටන් මෙම ගස පූජනීයත්වයෙන් සැළකුණා. විශේෂයෙන්ම බයිබලයේ පරණ තෙස්තමේන්තුව තුළ මෙම වර්ගයේ ගස් පිළිබඳව විවිධ අවස්ථාවල සඳහන් වෙනවා.

 

අපි මේ ලැයිස්තුව සඳහා ඇතුළත් කළේ පූජනීය වෘක්ෂ කීපයක් පමණයි. මීට අමතරව  විවිධ රටවල සංචාරය කර ඇති ඔබ ඒ ඒ රටවල පූජනීයත්වයෙන් සැළකෙන වෘක්ෂ ගැන දන්නවා ඇති. ඒ ගැන කුඩා සටහනක් කමෙන්ට් එකක් විදිහට එකතු කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *