මේ දවස්වල හැමෝම කතාවෙන ඊශ්‍රායලය ගැන තොරතුරු

මේ දවස් වල අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම අවධානය දිනාගෙන තියෙන්නේ කොවිඩ් වසංගතයට පස්සේ ඊශ්‍රායලය කියන පුංචිම පුංචි රට. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි ඒ රටේ තියෙන යුධ හැකියාව නිසයි. ඉතින් මේ ප්‍රශ්නෙදි අපේ කට්ටිය සමහරු ඊශ්‍රායලයේ පැත්තේ ඉන්නවා. තව සමහරු පලස්තීනය පැත්තේ ඉන්නවා. කොහොම උනත් කවුද හරි කවුද වැරදි කියල නෙමෙයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මතක තියාගන්න, ඊශ්‍රායලය කියන්නෙත් යුද්ධය විතරක් හුරු පුරුදු රටක් නෙමෙයි. අපි ඇයි එහෙම කියන්නේ කියල ලිපිය අවසානය වෙනකන් කියෙව්වම ඔයාටම තේරුම් යාවි. එහෙනම් අපි හැරෙමු කතාව පැත්තට මේ කවුරුත් කතා වෙන ඊශ්‍රායලය ගැන.

 

1. ඊශ්‍රායලය බිහිවීම

ඊශ්‍රායලය බිහිවෙන්න මුලික හේතුව වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇති වුණු තත්ත්වයයි. දෙවෙනි ලෝක යුද්ධෙදි වැඩියෙන්ම මරණයට පත් වුණේ යුදෙව් ජාතිකයිනුයි. අපි හැමෝම දන්නා විදිහට ජර්මනියේ හිට්ලර් දෙවෙනි ලෝක යුද්ධ කාලේදී යුදෙව්වන් ලක්ෂ හැටක් විතර සමූල ඝාතනය කළා කියල තමයි සැළකෙන්නේ. ඉතින් ඔය යුද්දේ ඉවර වෙද්දී ඉතුරු වුණු යුදෙව්වෝ ලෝකේ පුරා විසිරිලා තමයි හිටියේ. අන්න ඒ වගේ අවස්ථාවක පලස්තීනයේ ආරක්ෂක භාරකාරීත්වය දරමින් හිටපු බ්‍රිතාන්‍යය විසින් යුදෙව් ජනයා සඳහා රාජ්‍යයක් එහි ස්ථාපිත කළ යුතුයි කියන ප්‍රතිපත්තියකට එනවා. එහෙම පිළිගත්තු ලේඛනය විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් බැල්ෆර් ප්‍රකාශය. ඉන් පස්සේ 1948 දී නිල වශයෙන් ඊශ්‍රායලය කියල රටක් ලෝක සිතියමට එකතු වෙනවා. හැබැයි බැල්ෆර් ප්‍රකාශය 1917 නිකුත් කරලා 1948 වෙනකන් ගොඩක් ලොකු සිද්දි ගොඩක් මේ සම්බන්ධයෙන් සිද්ධ වෙනවා.

 

2. යුද්ධ

ඉතින් කොහොමින් කොහොමහරි 1948 මැයි 14 වෙනිදා රටක් විදිහට ප්‍රකාශයට පත් කළ දවසට පහු වෙනිදාම අසල්වැසි අරාබි රටවල් ගණනාවක් ඒ ඒ රටවල හමුදාවන් එවල ඊශ්‍රායලයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. ඒ වෙද්දී හරි හමන් විදිහකට යුද පුහුණුවක් වත් නොලබා හිටපු ඊශ්‍රායලය ඒ යුද්ධය මාස නවයක් විතර ඇදගෙන යන්න සමත් වෙනවා. එහෙම ගිහින් අවසානයේ ඒ යුද්ධය ජයග්‍රහණයකින්ම අවසන් කරනවා කවුරුවත් නොහිතපු විදිහට. ඊට පස්සේ 1967 දී කවුරුත් දන්නා දින හයේ යුද්ධය ඇති වෙනවා. ඒ තව රටවල් හතරක්, ඒ කියන්නේ ඊජිප්තුව, ජෝර්දානය, සිරියාව සහ ඉරාකය කියන රටවල් ඊශ්‍රායලයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඉතින් පුදුමාකාර විදිහට මේ යුද්ධය ඊශ්‍රායලය දවස් හයකින් ඉවර කරනවා තවත් ජයග්‍රහණයකින්. ඒ වගේම ඊශ්‍රායලය තමන්ගේ රටේ ප්‍රමාණයත් ලොකු කරගන්නවා ඒ රටවල භූමියෙන් අල්ලාගෙන. ඉන් පස්සේ ආයේ ඊජිප්තුව තමන්ගෙන් අල්ලගත්තු භුමිය වෙනුවෙන් සටනක් කරනවා. ඊට අමතරව මේ වෙනකොට යුද්ධ දහයකට විතර මේ පුංචි රට පැටලිලා තියෙනවා.  

 

3. සංවර්ධනය

ඊශ්‍රායලය කියන්නේ අපේ රටේ වගේම පාර්ලිමේන්තු ක්‍රමය සහ සර්වජන ජන්ද බලය සහිතව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන රටක්. ලංකාව නිදහස ලබාගත්තු අවුරුද්දේ බිහිවුණු රටක් උනාට ඊශ්‍රායලය මේ වෙද්දී සංවර්ධිත රටක් බවට පත්වෙලා ඉවරයි. ඒ වගේම 2019 වෙද්දී ලෝකයේ 32වන විශාලතම ආර්ථිකයක් හිමි රට බවටත් එරට පත් වෙනවා. 2020 මානව සංවර්ධන දර්ශකයේ 19 වෙනි තැනත් ඊශ්‍රායලය හිමි කරගන්නවා. 

 

4. තාක්ෂණය 

ගොඩක් ලොකු ඉතිහාසයක් නැති රටක් උනත් ඉතාම කෙටි කාලයක් තුල සීග්‍ර වර්ධනයක් අත්පත් කරගත්තු රටක් තමයි ඊශ්‍රායලය කියන්නේ. මේගොල්ලොන්ගේ තාක්ෂණික දැනුම ලෝකේ ඉහළම තැනක තියෙනවා. විශේෂයෙන් මෙයාලට යුද්ධ කරන්න අවශ්‍ය වෙන බොහොමයක් උපකරණ අවි ආයුධ රට ඇතුළෙම නිෂ්පාදනය කරගන්නවා. විශේෂයෙන් කෆීර් යානාව කියන්නේ ඊශ්‍රායලයේ නිෂ්පාදනයක්. අද වෙද්දී අභ්‍යවකාශය තරණය කරන්න පුළුවන් සීමිත රටවල් ප්‍රමාණය අතරට ඊශ්‍රායලයත් එකතු වෙනවා. ඒ වගේම නව තාක්ෂණික උපකරණ (ජංගම දුරකථන, වෛද්‍ය උපකරණ, ඩ්රෝන යානා) බොහොමයක් ඊශ්‍රායලය තුළ නිපදවෙනවා.  ඒ හේතු නිසාම ඊශ්‍රායලය Research & Development වෙනුවෙන් ජාතික නිෂ්පාදිතයෙන් වැඩිම ප්‍රතිශතයක් වෙන් කරන රට බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් පහුගිය දවස් වල ගොඩක් දෙනෙක් කතාවුණු Iron Dome කියන ආරක්ෂක මිසයිල පද්ධතිය එහෙමත්  ඊශ්‍රායලයේ තාක්ෂණික හැකියාව හොඳින්ම පෙන්නුම් කරනවා.

 

5. ශ්‍රම බලකාය

රටේ මුළු ජනගහණය 2008 ලේඛන වලට අනුව ලක්ෂ 75ක් වගේ තමයි වෙන්නේ. හැබැයි ඒ ඉන්න බොහොමයක් ඉතා හොඳ අධ්‍යාපනයක් ලබපු අය. කොටින්ම කිව්වොත් යුද්ධ වල ඉදිරියෙන්ම සටන් කරන සෙබළුන්ටත් උපාධි, පශ්චාත් උපාධි තියෙන රටක් තමයි මේ. ඒ වගේම නොබෙල් ත්‍යාගලාභීන් බොහොමයක් ඊශ්‍රායලය මව් රට කරගත් උදවිය. පුද්ගලයෝ විදිහට කිව්වොත් ඇල්බර්ට් අයින්ස්ටයින්, මාර්ක් සකර්බර්ග්, සිග්මන් ප්‍රොයිඩ්, ස්ටීවන් ස්පිල්බර්ග්, සර්ජි බ්‍රින් වගේ තව බොහෝ දෙනෙක් යුදෙව් ජාතිකයින්.

 

6. ක්‍රීඩාව

මෙච්චර දියුණු රටක් ක්‍රීඩාව සම්බන්ධව උනන්දුවක් දක්වන්නේ නැති රටක් වෙන්න බෑනේ. ඔව්. එක ඇත්ත. ඊශ්‍රායලයේ ජනප්‍රියම ක්‍රීඩා වෙන්නේ ෆුට්බෝල් සහ බාස්කට්බෝල්. ඒ දෙකට අමතරව විශේෂ තැනක් චෙස් ක්‍රීඩාවට ලැබිල තියෙනවා වයස් භේදයක් නැතුව. මේ රටේ පෙරපාසල් වයසේ ඉඳන් චෙස් ක්‍රීඩාවට ළමයි යොමු වෙනවා. මේ වෙද්දී ඔලිම්පික් පදක්කම් නමයකට ඊශ්‍රායලය හිමිකම් කියනවා. ඒ වගේම පැරාලිම්පික් පදක්කම් 100කට අධික ප්‍රමාණයක් එරට ලබාගෙන තියෙනවා. 

 

7. හමුදාව

අපි කලින් කිව්වා වගේ ඊශ්‍රායලය කියන්නේ යුද්ධ කරන්න උපන් හපන්නු ඉන්න රටක්. යුදෙව්වන්ගේ ජාන වල ඒ හැකියාව තියෙනවා. ඊශ්‍රායල් හමුදාව කොටස් තුනකින් යුක්තයි. පාබල, ගුවන් හා නාවික කියන්නේ ඒ කොටස් තුනයි. ඒ කොටස් තුන එක හමුදාවක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ IDF (Israel Defense Force) ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කියන ඒකකය ඇතුළෙයි. මේ හමුදාව, ඊශ්‍රායලය නිල වශයෙන් පිහිටුවන්නටත් කලින් ඉඳලම යුදෙව්වන් අතර තිබුණු නිල නොලත් හමුදාවක් වෙච්ච Haganah කියන භට පිරිස් එකතුවෙන් තමයි බිහිවෙන්නේ. සියළු ඊශ්‍රායල වැසියන් හමුදා පුහුණුව ලැබිය යුතුයි. කාන්තාවන් පවා. ඒ වගේම මේගොල්ලොන්ට විශේෂ වෙච්ච ආත්මාරක්ෂක සටන් කලාවක් පවා තියෙනවා. ඒ වගේම සියළුම දෙනා හමුදා පුහුණුව ලබල තියෙන නිසා ඉතාම කෙටි කාලයකින් විශාල හමුදාවක් එකතු කරන්න ඊශ්‍රායලයට හැකියාව තියෙනවා.

දැනටත් යම් කෙනෙක්ට තමන් යුදෙව්වෙක් කියල ඔප්පු කරන්න පුළුවන් උනොත් ඊශ්‍රායලය උඩින්ම තමන්ගේ රටේ පුරවැසිභාවය ඒ කෙනාට පිරිනමනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *