මේ ලියන ලිපි පෙළ ගැන අටුවා ටීකා ටිප්පණි ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පල්ලෙහා අපි මේ ලිපි පෙළේ පැරණි ලිපි කිහිපයක් අමුණලා තියෙනවා. ඒව කියවගෙනම ඔබට මේ ගැන තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා වැඩි කතා බතා නැතුව අපි දේශපාලන ලෝකයේ අප්‍රකට කතා හොයාගෙන යමු.
ලංකාවෙ දේශපාලනඥයින් ගැන රස කතා – 1 කොටස
ලංකාවේ දේශපාලනඥයින් ගැන රස කතා – 2 කොටස
ලංකාවේ දේශපාලනඥයින් ගැන රස කතා – 3 කොටස
ලංකාවෙ දේශපාලනඥයින් ගැන රස කතා – 4 කොටස
ලංකාවේ දේශපාලනඥයන් ගැන රස කතා – 5 කොටස
1. ටී. බී ඒකනායකගේ සපත්තු
මීට වසරකට වගේ කාලයකට කලින් හදිස්සියේ අභාවප්‍රාප්ත වුණ ටී. බී ඒකනායක, වරක් උත්සවයකදී ඇබැද්දියකට මුහුණ දුන්නා. ඒ ඔහුගේ සපත්තුවේ අඩි ගැලවී යෑම නිසා. මේ ඇබැද්දිය පිළිබඳව පත්තර වල පවා ගියා. පස්සේ මෙතුමාට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයකින් දුරකථන ඇමතුමක් ආවා එතුමාගෙ සපත්තු දෙක මිලදී ගන්න සූදානම් කියලා. මේක අහපු එතුමා ඒ ගැන සන්තෝෂයට පත් වෙලා ඒ ලැබෙන මුදලින් තමන්ගේ පළාතේ දරුවන්ට සපත්තු අරන් දෙන්න බලාපොරොත්තු වෙන බවත් මාධ්‍ය හමුවේ කියා සිටියා. හැබැයි පස්සේ හෙළි වුණේ ඒ ඇමතුම එතුමාගේ යාළුවො විසින් විහිළුවට දීපු ඇමතුමක් කියලා.
2. රත්නසිරි වික්‍රමනායකගේ කෙලින් වැඩ
රත්නසිරි වික්‍රමනායක මහතාගේ එකම දියණිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක වසර ගණනාවක් එංගලන්තයේ පදිංචිව සිටි තැනැත්තියක්. ඇය ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අයදුම්පත් ඉදිරිපත් කළත් ඒ කටයුතු සිද්ධ වෙන්න වසරක පමණ කාලයක් ගත වුණා. අවසානයේදී ඒ ලියකියවිලි ඇයගේ අතට ආවේ තමන්ගේ පියාගේ අත්සනින්. මින් පුදුමයට පත් වූ ඇය “තාත්තා දැන්ද මගේ ඩොකියුමන්ට් අත්සන් කළේ?” කියලා ඇහුවා. වික්‍රමනායක මහත්තයා උත්තර දීලා තියෙන්නේ “මට ඉතිං ආපු විදිහට තමයි අත්සන් කළේ” කියලායි.
3. නාමයෝජනා මණ්ඩලයේ බූරුවෙක් ඉඳලා
මේ කතාව අපි හැමෝම දන්න කතාවක්. හැබැයි ඒක අමතක වෙයි කියල හිතල තමයි මේ ලිපියට ඇතුළත් කරන්නේ. පසුගිය මහ මහමැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබා දීපු ජනප්‍රිය නිළි ඕෂධී හේවාමද්දුම අශ්වයන් සහ බූරුවන් දෙපිරිසක් සඳහා නාමයෝජනා ලැබිලා තියෙන බවත් අශ්වයන් සඳහා ඡන්දය දීම ඡන්දදායකයන්ගේ වගකීම බවත් ප්‍රකාශ කළා. ඇගේ මේ ප්‍රකාශය බොහෝ දෙනකුගේ හාස්‍යයට ලක් වූ අතර අවසානයේ දී බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඕෂධී හේවාමද්දුමට නාමයෝජනා ලැබී ඇත්තේ අදාළ නාමයෝජනා මණ්ඩලයේ බූරුවෙක් සිට ඇති නිසා බවයි.
4. බම්බුව
මේ කතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් වෙන්න කලින් සිද්ද වෙච්ච කතාවක්. ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ වී පිහිටුවා ගනු ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය අවසාන කාලයේ දී දෙදරා යෑමකට ලක් වුණා. එහිදී එවකට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගණිකාවකට සමාන කළා. ඉන් දැඩි ලෙස කෝපයට පත් වූ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන “බම්බුව තමයි” යැයි ප්‍රසිද්ධ සභාවක ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කළා. මේ නිසා ඒ දවස් වල මෛත්‍රීපාල සිරිසේනට බම්බුව තමයි යැයි සඳහන් වුණු එස්. එම්. එස් පණිවිඩ රාශියක් ලැබී තිබුණ බව ඔහු පසුකලෙක සිනාවෙමින් පවසා තිබුණා.
5. එහෙනම් ඩඩ්ලි මැරෙන්නේ ඉස්සෙල්ලා
ඩඩ්ලි සේනානායක තරුණ කාලයේදී මනාලියක් බැලීමට සිරිමාවෝ රත්වත්තේ මෙනෙවියගේ නිවසට ගිය බව ප්‍රසිද්ධ කාරණයක්. වතාවක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික කුරුකුලසුරිය මේ පිළිබඳව පුවත්පතකට ලිපියක් ලියනු ලැබුවා. ඉන්පසුව දිනක රනිල් වික්රමසිංහව ඔහුට මුණගැසුණු අතර බුද්ධික දුටු වහාම “අර කසාදෙ වුණා නම් වෙන දේ බුද්ධික දන්නවාද?” කියලා රනිල් ඇහුවා. මොකක්ද කියලා බුද්ධික අහපු ගමන් “එහෙනම් ඩඩ්ලි ඊට කලින් මැරෙනවා” කියලා හිනාවෙලා රනිල් කියලා තියෙනවා. මේ කතාව පෞද්ගලික අපහාසයක් නොව හුදෙක් සිනහවම සඳහා පමණක් කියූ දෙයක් කියලා බුද්ධික අවධාරණය කරනවා.
6. ඒකට තමයි වෙරළ තියෙන්නේ
මේ කතාව අපට ඇහෙන්නේ මහින්ද රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විපක්ෂ මන්ත්‍රීවරයා පාද යාත්‍රාව සංවිධානය කරන කාලෙදී. ඔය පාද යාත්‍රාව තනිකරම සංවිධානය වුණේ මහින්ද රාජපක්ෂගේ ඕනකමට. මේ ගැන දැනුවත් කරන්න අනුර බණ්ඩාරනායකව මුණගැහෙන්න ගියාම අනුර විවිධ ප්‍රශ්න අහල තියෙනවා. අන්තිමටම අහල තියෙන්නෙ “දැන් ඔච්චර කට්ටියකට වැසිකිළි පහසුකම් කොහොමද දෙන්නේ?” කියලා. මේ ප්‍රශ්නෙට හිනාගිය මහින්ද “අයියෝ ලොක්කා අපි යන්නේ ගාලු පාරනේ, ඊට අනිත් පැත්තෙ තියෙන්නෙ බීච් එකනේ” කියලා උත්තර දීලා තියෙනවා.
7. මම කීයටවත් ඔයාව නම් ණයට ගන්නේ නෑ
එක්තරා දවසක පාර්ලිමේන්තුවේ දී විවියන් ගුණවර්ධන මැතිණිය වේගවත් කතාවක් පවත්වමින් ඩඩ්ලි සේනානායක රජයේ ණය ගැනීම පිළිබඳව දැඩි විවේචනයක යෙදුණා. ඇය තම කතාව නොනවත්වාම සිදු කරන ආකාරය දුටු ඩඩ්ලි සේනානායක මහතා අවසානයේ දී “මම කීයටවත් ඔයාව ණයට ගන්නේ නෑ” කියා පැවසුවා. මුළු මහත් සභාවම සිනා හඬින් ඇළලී ගිය අතර විවියන් ගුණවර්ධන මහත්මියටත් සිය සිනහව නවත්වාගන්නට බැරි වුණා.
එහෙම නම් ඉතින් සුපුරුදු විදිහට මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply