ඔයාගේ හැඟීම් අල්ලගෙන කෙනෙක් ඔයාව බ්ලැක්මේල් කරන්න යනවා නම්, ඒකෙන් බේරෙන්නේ මෙහෙමයි!

ඔය ඉමෝෂනල් බ්ලැක්මේල් කියන එක අපි අහල තියෙනවනේ. ඇත්තටම ඉමෝෂනල් බ්ලැක්මේල් කියන්නේ මොකද්ද? අපි හිතමු කෙනෙක් එක්ක අපිත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබ්බා කියලා. ඒක දෙන්නට දෙන්නා නොගැලපෙන නිසා අවසන් වෙනවා කියලා හිතමු. දෙන්නා කතා බහ කරගෙන වෙන් වෙනවා. හැබැයි ඔන්න අනික් පැත්තේ කෙනා හිටපු ගමන් අපේ ජීවිතේට එබෙනවා. මහ රෑක කෝල් කරලා, “මං බීලා ඉන්නෙ, ඔයා නැති නිසා මං බොනවා” වගේ ටෝක් එකක් දෙනවා. එහෙම නැතිනම් කෝල් කරලා කියනවා “ඔයා මාත් එක්ක නැති නිසා මම ආයෙ ජීවිතේට කසාද බඳින්නෙ නෑ, සතුටින් ඉන්නකෝ ඔයා” කියලා. ආන්න ඉමෝෂනල් බ්ලැක්මේල්. තව උදාහරණයක් ගමු. ඔන්න අම්මලා තාත්‍තලා අපේ කසාදේ ගැන සෑහෙන්න වද වෙන කාලයක් එනවනේ. අපි කියමු අපි ප්‍රේම සම්බන්ධතාවයක ඉන්නවා. හැබැයි අම්මලා ඒකට කැමති නෑ. ඉතින් ඕං අම්මා කියනවා “අපි හදපු දරුවෝ අපිටවත් නැති වුණානේ. මෙහෙම ගියොත් ඉක්මනටම මට පපුවෙ අමාරුවක් හැදිලා මැරිල යයි” කියලා. දැන් අපි පුදුමාකාර අසීරුතාවයකට පත්වෙනව. අන්න ඉමෝෂනල් බ්ලැක්මේල්!

දැන් ඔය වගේ ඉමෝෂනල් බ්ලැක්මේල් කිරිලි, ඒ කියන්නේ කෙනෙක් අපේ ෆීලින්ග්ස් පාවිච්චි කරලා අපිව පාලනය කරන්න හරි, අපේ හිතන දේවල් වෙනස් කරන්න හරි යනවා නම්, අපිට ගොඩක් වෙලාවට කරකියා ගන්න දෙයක් නැතිවෙනවා. ගොඩක් වෙලාවට අපි ඒ මැනිපියුලේෂන් එකට අහුවෙනවා කර කියා ගන්න දෙයක් නැති නිසාම. ඒත් ඇත්තටම එහෙම වෙන්න ඕනද? අපි කියන්නෙ නෑ කියලා. ඉමෝෂනල් බ්ලැක්මේල් එකකට අහු නොවෙන්න නම් මේ විදියට වැඩ කරන්න තමයි තියෙන්නේ!

 

1. ඉමෝෂනල් බ්ලැක්මේල් එකක් අඳුනගමු

මේක තමයි මූලිකම දේ. අපිට පුළුවන් වෙන්න ඕන කෙනෙක් ඇත්තටම අපිව ඉමෝෂනලි බ්ලැක්මේල් කරනවද, එහෙම නැතිනම් අපෙන් සිදුවිය යුතු දෙයක් ඩිමාන්ඩ් කරනවද කියන එක පැහැදිලිව වටහා ගන්න. උදාහරණයක් විදියට ගත්තොත්, ළමයෙක්ට අම්මා කෙනෙක් කියනවා නං “මාව ගින්දරේ තියන්නෙ නැතුව යන තැනකට ගියහම ගියා කියලා කෝල් කරපං” කියලා, ඇත්තටම ඒක ඉමෝෂනල් බ්ලැක්මේල් එකක් නෙවෙයි. විශේෂයෙන්ම ළමයට අවුරුදු දහඅටක් දහනමයක් වුණත් ඉන්නේ අම්මා තාත්තා එක්ක නම්, දෙමාපියන්ට ඒ ළමයා ගැන වගකීමක් තියෙනවා. එතකොට අම්මගෙ තාත්තගෙ ගෙදර ඉන්න ගමන් බෝඩිංකාරයෙක් වෙන්න බෑ. එතකොට අර විදියට කියන්නේ ඒ වගකීමත් එක්ක සිද්ධ වෙන්න ඕන කාරණයක් ගැන.

තව උදාහරණයක් ගමු. “අපි මැරෙන්න කලින් අපේ හිත් සතුටු වෙලා මැරෙන්න ලේලියෙක් ගෙනෙං පුතේ” කිවුවහම අපිට හිතෙනවා ඒක දරු සෙනෙහසත් එකක් කියන දෙයක් කියලා. අනේ අපිව හදපු වඩපු අම්මා තාත්තනේ කියලා හිතෙනවා. ඇත්තටම නෑ. දරුවෙක්ට විවාහ වෙන්න බැරි හේතු තියෙන්න පුළුවන්. ඒ හේතු තේරුම් ගන්නෙ නැතුව මේ වගේ දෙයක් කියන එක ඉමෝෂනල් බ්ලැක්මේල් එකක් තමයි.

 

2. හැඟීම් වලට යට වෙන්න එපා

හොඳ හුස්මක් ගන්න. ඉමෝෂනල් බ්ලැක්මේල් කියන්නෙම අපේ හැඟීම් වලට කතා කරලා, අපිට දෙයක් නොකර ඉන්න බැරි තැනකට පත් කරන එකනේ. ඇත්තටම සමහර වෙලාවකට බස් එකට නගින හිඟන්නෙක් කරන්නෙත් ඒ දේම තමයි. අන්න ඒ නිසා හොඳ හුස්මක් ගන්න. කලබල වෙන්නේ නැතුව සන්සුන්ව හිතල බලන්න තත්ත්වය ගැන. ඒ වගේම අපේ හැඟීම් අවුස්සාගන්නේ නැතුව තියාගන්න උත්සාහ කරන්න. මේක වැදගත්. උදාහරණයක් විදියට ගත්තොත්, උඩ කියපු විදියේ දෙමාපියෝ සහ අපේ කසාදේ වගේ තැනකදී පොඩ්ඩක් හිතලා බලන්න අපි ඇත්තටම අම්මට තාත්තට යුතුකම් ඉෂ්ට කරන දරුවොද නැද්ද කියලා. ඇත්තටම යුතුකම් ඉෂ්ට කරන දරුවෝ නං, අර වගේ ඉමෝෂනල් බ්ලැක්මේල් කිරිල්ලකුත් අපේ යුතුකම විදියට ගන්න ඕන නැහැයි කියල තේරෙයි. අන්න ඒ විදියට ඉමෝෂනල් බ්ලැක්මේල් එකකින් සිද්ධ වෙන අපේ හැඟීම් පාවිච්චි වීම තේරුම් ගන්න.

 

3. ට්‍රිගර් පොයින්ට්ස්

සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක්ට ඉමෝෂනල් ට්‍රිගර් පොයින්ට්ස් තියෙනවා. අන්න එව්වා තමයි ඔය ඉමෝෂනල් බ්ලැක්මේල් කාරයෝ ගාණට පාවිච්චි කරන්නේ. ආන්න ඒ නිසා අපිත් කරන්න ඕන දේ තමයි, අපේ ඉමෝෂනල් ට්‍රිගර් පොයින්ට්ස් හඳුනා ගන්න එක. උදාහරණයක් ගමු. අම්මා තාත්තට ලැදි දරුවෙක්ට “අපිට සැනසිල්ලේ මැරෙන්න කසාදයක් කර ගනිං දරුවෝ” කිව්වහම හිතට හරිම අමාරු වෙනවා. ආන්න ඒකට හේතුව තමයි පවුලට තියෙන ලැදියාව අපේ ට්‍රිගර් පොයින්ට් එකක් වීම. තව කාරණයක් ගමු. ඔන්න අපේ බෝයිෆ්‍රෙන්ඩ් දන්නවා අපි පොදු තැනක රණ්ඩු සරුවල් වගේ අපි අවධානයට ලක්වෙන සීන් වලට තදින්ම අකමැතියි කියලා. ඉතින් එයා තර්ජනය කරනවා “මම මෙතන දෙක කරනවා ඔයා ආවෙ නැත්තං” කියලා.

අන්න එතකොට අපිට තේරෙන්න ඕන ඉමෝෂනල් බ්ලැක්මේලර් කෙනෙක්ට ඇත්තටම අපිට එරෙහිව බලයක් තියෙන්නේ, අපි ඔය තැන්වලදී ට්‍රිගර් වීමෙනුයි කියලා. අපි ඔය දේවල් වලට ට්‍රිගර් වෙන්නෙ නැතිනං අපිට “උඹ ඕන නැටුමක් නටපං” කියලා ඉන්න බැරිද? ආන්න ඒ නිසා අපේ ට්‍රිගර් පොයින්ට්ස් හඳුන ගන්න සහ ඒකත් එක්ක කලින් කියපු දේ ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ ඒ වෙලාවට හැඟීම් සන්සුන්ව තියාගන්න.

 

4. ගේමෙං නැතුව සාමෙං

මෙන්න මේකත් ඉතාම වැදගත් කාරණාවක්. දැන් කවුරුහරි අපිව බ්ලැක්මේල් කරනවා නං අපි ඌව නලවන්න යන්නෙ නෑනේ. එතනදී බය වෙලා ඉල්ලන දේ දීලා දාන සීන් එකක් නැතිනම් අපි අනිවාර්යයෙන්ම ගේමනේ ඉල්ලන්නේ. දැන් ඉමෝෂනල් බ්ලැක්මේල් එකකින් සාමාන්‍ය බ්ලැක්මේල් එකකින් වගේ අපිට බාහිර හානියක් වෙන්න තියෙන ඉඩ අඩුයිනේ. හැබැයි දැන් ඉමෝෂනල් ට්‍රිගර් එකත් අඳුනගත්තට පස්සේ කෙනෙක් ඉමෝෂනලි අපිව බ්ලැක්මේල් කරන කෙනා එක්ක ගේම ඉල්ලන්න සෑහෙන්න ඉඩක් තියෙනවා. ආන්න එහෙම වෙන්න එපා කියලා තමයි අපි කියන්නේ.

මෙතනදී තමයි පොලිටික්කෙක් විදියට හිතන්න ඕන. බොහොම පරිස්සමෙන්, සාවධානව එයා එක්ක කතාබහකට එළඹෙන්න. එයා අපිව අරන් යන්න හදන පැත්තට යනවා වගේ පෙන්නන්න. හැබැයි හොඳ නිරීක්ෂණයකින්, හොඳ ආත්ම දමනයකින් කටයුතු කරන්න. අපි මේක කරන්නේ ඉමෝෂනල් බ්ලැක්මේල් එකෙන් ගැලවෙන උපාය මාර්ගයක් හදාගන්න අපිට වෙලාව ගන්න උපක්‍රමයක් විදියට.

 

5. බ්ලැක්මේලර්ගෙන්ම උදවු ඉල්ලන්න

අපිව ඉමෝෂනලි බ්ලැක්මේල් කරන්න එන කෙනාගේ පාලනය කිරීම්, ඉල්ලීම් වලින් ගැලවෙන්න යොදාගන්න පුළුවන් හොඳ උපායක් තමයි, ඒ තත්ත්වය විසඳගන්න එයාගෙන්ම උදවු ඉල්ලන එක. උදාහරණයක් විදියට අපි කියමු ඔන්න බොස් අපිට කියනවා “මේ පොසිෂන් ගැලපෙන මනුස්සයා ඔයා, ඒ නිසා තමයි මම ඔයාව රෙකමන්ඩ් කළේ, වෙන කවුරු හිටියත් මම ඔයාව තමයි මෙතනට ගන්නේ” කියලා. අපි ඉතින් අනේ කියලා මනුස්සයට හෙන ගෞරවෙන් සලකනවා. හැබැයි ටික කාලයක් යනකොට ඔන්න අපිට ඔෆිස් වැඩ විතරක් නෙවෙයි, බොස්ගේ පුද්ගලික වැඩත් කරල දෙන්න වෙනවා. විටින් විට බොස් අපිට මතක් කරනවා එයා තමයි අපිව මේ තැනට ගෙනාවේ කියන එකත්, ව්‍යංගයෙන්. ආන්න එතකොට අපි අපිටම මතක් කරගන්න ඕන ඇත්තටම මම මෙතන ඉන්නේ මගේ හැකියාව නිසා බව. හැබැයි ඒ මදි. මේ උගුලෙන් කොහොමද ගැලවෙන්නේ? ඕන නම් බොස් ඊලඟට පුද්ගලික වැඩක් කරලා දෙන්න කිවුවහම කියන්න පුළුවන්, “බොස් මට ඕක කරන්න නම් පුළුවන්, හැබැයි ඔෆිස් එකේ වැඩත් එක්ක මේ වෙලාවේ මට යන්න විදියක් නැහැනේ, ගියොත් ඔෆිස් එකේ මේ වැඩ ටික මිස් වෙනවනේ, මොකද කරන්නේ, සර්ට මේ තත්ත්වේ විසඳගන්න මට උදවුවක් කරන්න පුළුවන්ද?” කියලා. එතකොට බොස් මොන බයිලේ ගැහුවත්, අපිට සර්ටම මේ බෝලේ පාස් කරන්න පුළුවන්.

තව උදාහරණයක් ගමු. දැන් කසාදේ ගැන මතක් කරලා දෙමාපියෝ අපිව ඉමෝෂනලි බ්ලැක්මේල් කරනකොට, අපිට කියන්න පුළුවන් මෙහෙම. “අම්මෙ ඇත්තටම මටත් කසාද බඳින්න වුවමනාව තදටම තියෙනවා. ඒත් දැන් මම මාස්ටර්ස් කරන්න පටන් අරගෙනනේ. ඒකත් එක්ක සල්ලිත් නෑ. අම්මලට පුළුවන්ද මට මේ තත්ත්වෙට උදවුවක් දෙන්න?” කියලා. එතකොට අපේ ඇත්ත හේතුව ඒක නම්, ප්‍රශ්නේ සරලවම විසඳෙන්නත් පුළුවන්. 

 

6. බැරි දේ බැහැ කියන්න

දැන් ඔය ඉමෝෂනලි අපිව බ්ලැක්මේල් කරන මනුස්සයෙක් එයාට ඕන දේ අපි ලව්වා කරවගන්න ආවහම අපිට උඩ කියලා තියෙන විදියට උපක්‍රමශීලීව ගැලවෙන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? එතකොට අපිට ගට තියෙන්න ඕන කෙලින්ම බැරි දේට බැහැයි කියන්න. ඒක රණ්ඩු වෙලා කියන්න ඕන නැහැ. අඬල දොඩලා කියන්න ඕනත් නැහැ. හැබැයි අපිට ස්ථිරව අපේ මතයේ ඉන්න හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕන. බොහොම කූල් එකේ ඉමෝෂනල් බ්ලැක්මේලර්ට “බොහොම කණගාටුයි, හැබැයි ඔයා කියන දේ මගෙන් කෙරෙන්නෙ නෑ” කියන්න හැකියාව තියෙන්න ඕන. 

 

7. හරියට අල්ලගන්න බැරිනම් අත්හරින්න

මේකත් ඉතින් ඉමෝෂනල් බ්ලැක්මේලර් කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට දීර්ඝකාලීනව හිතන්න ඕන දෙයක්. දැන් අපි උඩින් ගත්තු උදාහරණ එක්ක අපි කියමු අපේ දෙමාපියෝ තමයි අපිව ඉමෝෂනලි බ්ලැක්මේල් කරන්නේ කියලා. එතකොට සමහර වෙලාවට අපිට උපක්‍රමශීලීව ඒ අය එහෙම නොකරන තැනට සමහර විට හදාගන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම බැරි නම්, අපේ ස්වාධීනත්වය ලඟා කරගන්න එක තමයි හොඳම විසඳුම. ඒ කියන්නේ තමන්ට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් පසුබිම හදාගෙන තනි ජීවිතයක් පටන් ගන්න එක.

 

ඒ වගේම සමහර බැඳීම් අපිට ඉමෝෂනල් බ්ලැක්මේල් නිසා අතඅරින්නම සිද්ධ වෙන්න පුළුවන්. අපි කියමු අපිව නිරන්තරයෙන්ම ඉමෝෂනලි බ්ලැක්මේල් කරන පෙම්වතියක් කියලා. අපිට වරක්, දෙවරක්, තුන්වරක් නෙවෙයි කීප වාරයක්ම උත්සාහ කරන්න පුළුවන් එක්කෝ උපක්‍රමයෙන්, එහෙම නැතිනම් හොඳ සන්නිවේදනයෙන් මේ තත්ත්වය නවත්වගන්න. එතකොටත් ඒක වෙන්නෙ නැතිනම්? එහෙමනම් ඉතින් කණගාටුවෙන් වුණත් වෙන්වෙලා යන්න සිද්ධ වෙනවා. මොකද, ඉමෝෂනල් බ්ලැක්මේල් කිරිලි එක්ක කවදාවත් සාර්ථකව ජීවිතේ ගෙනියන්න බෑ. 

 

8. තමන් මනසින් ගොඩනැගෙන්න

මේක ඉතින් අවසානයට දෙන්න පුළුවන් පොදු උපදෙස. අපි හැමෝගෙම දුර්වල තැන් තියෙනවා. අපි හැමෝම කඩාගෙන වැටෙන තැන් තියෙනවා. හැබැයි ඒ වගේම අපි හැමෝටම ආයෙමත් නැගිටින්න, අපේ හිතේ ඉරිතැලිලා හිල් හැදිලා තියෙන තැන් පිළිසකර කරගන්න හැකියාවත් තියෙනවා. ආන්න ඒක ඔළුවේ තියාගන්න. තමන් යම් මොහොතක ඉමෝෂනල් බ්ලැක්මේල් එකකට අහුවුණා නම්, ඒ ඇයි කියන එක තමන්ම විශ්ලේෂණය කරලා බලන්න. ඊට පස්සේ තමන් ගැන හොඳ තක්සේරුවකට එන්න. තමන්ගේ මනස ශක්තිමත් කරගන්න. හොඳ ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් හදාගන්න. ආන්න එතකොට, ආයෙමත් කවදා හරි කවුරු හරි අපිව ඉමෝෂනලි බ්ලැක්මේල් කරන්න ආවොත්, උඩ කියලා තියෙන දේවල් කරන එක ඉතාම පහසුයි. 

 

 

දැන් එතකොට මේ කතාවේ ඉමෝෂනල් බ්ලැක්මේලර් ඔයා නම්? අන්න එහෙමනම් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක ඉස්සරහ දවසක කතා කරමු…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *