2021 අවුරුද්දට ගන්න තියෙන හොඳම ඩ්‍රෝන්ස් කීපයක්

ඩ්‍රෝන්ස් නැතිනම් ඩ්‍රෝන යානා කියන්නේ මොනවද කියලා දන්නවනේ? අර රිමෝට් කන්ට්‍රෝල් එකකින් උඩ යවන්න පුළුවන්, එහෙම උඩ යවලා උඩ ඉඳන් වීඩියෝ, ෆොටෝ එහෙම ගන්න පුළුවන් පියාඹන පීරිසි වගේ හතර අතේ කරකැවෙන රූම් පෙති හතරක් තියෙන පුංචි පහේ හුරුබුහුටි යානා තියෙන්නේ. ආන්න එව්වා තමයි ඩ්‍රෝන්ස් කියන්නේ. දැන් අපිට මොකටෙයි මේ ඩ්‍රෝන් එකක්. ඒක ගැන සවිස්තරාත්මකව අපි ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් අහසේ ඉඳන් ලස්සන ලස්සන ෆොටෝස්, වීඩියෝස් ගන්න, ජොලියක් ගන්න වගේ දේවල් වලට වගේම තව සෑහෙන්න තරමේ දේවල් වලට ඩ්‍රෝන් එකක් ගන්න එක වටිනවා.

සාමාන්‍යයෙන් ඉස්සරට වඩා දැන් ඩ්‍රෝන භාවිතය සුලභයි. ඒ නිසාම මිල ගණන් එහෙම වුණත් සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. අන්න ඒ නිසා අපි හිතුවා, 2021 අවුරුද්දේ ගන්න තියෙන හොඳම ඩ්‍රෝන් ඩිසයින් කීපයක ලිස්ට් එකක් අරගෙන එන්න.

 

1. DJI Air 2S

මේක ගොඩක් අය ගන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මේකේ කැමරාවේ කොලිටිය. අඟල් 1 ක ප්‍රමාණයේ විශාල කැමරා සෙන්සරයක්, මෙගාපික්සල් 20 ක රිසොලුෂන් එක්ක තියෙන මේකේ කැමරාවෙන් 5.4K ගුණාත්මක භාවයේ වීඩියෝ 30fps ශීඝ්‍රතාවයකින් ෂූට් කරන්න පුළුවන්. 4K වීඩියෝ නම් 60fps ශීඝ්‍රතාවයක් ලැබෙනවා. මේකේ තියෙන DJI ලගේ නවීනතම OcuSync 3.0 ඉමේජ් ට්‍රාන්ස්මිෂන් තාක්ෂණයත් වැදගත්. කිලෝමීටර් 8-12 ත් අතර රේන්ජ් එකක් තියෙන මේ ඩ්‍රෝන් එකේ පියාසර කාලය විනාඩි 31 ක්. මේක DJI ලගෙ මීට කලින් තිබුණු ජනප්‍රිය Mavic Air 2 සහ Mavic 2 Pro ඩ්‍රෝන් දෙකේම හොඳම ෆීචර්ස් වල එකතුවක් කිව්වත් වැරදි නෑ. ඇමසන් එකේ ගාණ ඩොලර් 999 යි!

 

2. DJI Mavic Air 2

අපි උඩින් කියපු විදියට DJI Mavic Air 2 එකට පස්සේ ආපු ඊටත් වඩා කොලිටි ඩ්‍රෝන් එක තමයි DJI Air 2S කියන්නේ. එතකොට ඇයි කෙනෙක් DJI Mavic Air 2 එක ගන්නේ? එක හේතුවක් තමයි, මේකට වඩා කොලිටි අලුත් ඩ්‍රෝන් ආවා කියලා කිව්වත්, ඒවා DJI Mavic Air 2 එකට වඩා සුපිරිම සුපිරියි කියන්න බෑ. ඒවත් හොඳයි. මේක තාමත් හොඳයි! අනික දැන් වෙනකොට මේකේ ගාණත් තව අඩුයි. තාමත් බොහොම ලේසියෙන් පියාසර කරන්න පුළුවන් යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඩ්‍රෝන් අතරේ ඉස්සරහින්ම තියෙන එකක් තමයි DJI Mavic Air 2 එක. මේකේ 4K ගුණාත්මක භාවයේ වීඩියෝ 60fps ශීඝ්‍රතාවයෙන් පටිගත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 34 කවත් පියාසැරි කාලෙකුත් ලබාදෙන හොඳ බැටරියකුත් තියෙනවා.

 

3. Ryze Tello

ලොකු වැඩකට නැතුව ආතල් එකට පොඩි සයිස් ඩ්‍රෝන් එකක් හොයනවා නං මෙන්න භාණ්ඩයක්. බර ග්‍රෑම් 80 යි. ඉතාම සැහැල්ලුයි සහ කුඩායි. අල්ලේ තියාගන්න පුළුවන්. මේක සරල නිසාම එහෙමට ලොකු වීඩියෝ කැම් එකක් එහෙම නං නෑ. සාමාන්‍ය හොඳ කොලිටියේ වීඩියෝ ෂූට් කරන්න පුළුවන් මෙගාපික්සල් 5 ක කැම් එකක් තියෙන්නේ. ඒ කියන්නේ 720p කොලිටියේ වීඩියෝස්. මේකේ බැටරියේ විදියට පියාසර කාලය වැටෙන්නෙත් විනාඩි 13 ක් වගේ තමයි. එතකොට ලොකු රේන්ජ් එකකුත් නෑ. මීටර් සීයයි. හැබැයි මේක ඉතාම සැහැල්ලු නිසා විශේෂයෙන් සුළං එහෙම තියෙන පැත්තක නං මීටර් 40 ක විතර රේන්ජ් එකේ තියාගෙන ඉන්න එක නුවණට හුරුයි. ලොකු වැඩවලට නැතත් ෆන් එකක් ගන්න අඩු ගාණකට ගන්න පුළුවන් හුරුබුහුටි ඩ්‍රෝන් එකක් විදියට මේක මරු.

 

4. DJI Mavic Mini

ෆන් එකට පාවිච්චි කරන්න පුළුවන් අඩු ගණන් වල මිනි ඩ්‍රෝන්ස් සෑහෙන්න හොයාගන්න පුළුවන්. හැබැයි ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ මිනි ඩ්‍රෝන්ස් ගැන කතාකරනකොට කෙනෙක්ට තියෙන විකල්ප අඩුයි. අන්න ඒ වලින් එකක් තමයි DJI Mavic Mini කියන්නේ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 250 කටත් අඩු ප්‍රමාණයක සැහැල්ලු යානාවක් වෙන මේ ඩ්‍රෝන් එක බොහොම හුරුබුහුටියි. අත්ල මත තබාගන්න පුළුවන් තරම් හුරුබුහුටියි. මේකේ ප්‍රමාණය එහෙම වුණාට, තාමත් මේකට 2.4K කොලිටියේ වීඩියෝ 60fps ශීඝ්‍රතාවයෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ප්‍රමාණයට වඩා බැටරිය ප්‍රබලයි. DJI Mavic Mini ඩ්‍රෝන් එක විනාඩි 30 ක් පමණ පියාසර කරවන්න මේ බැටරිය ප්‍රමාණවත්. ඩ්‍රෝන් ආධුනිකයෙක්ට මේක හොඳ තෝරාගැනීමක් කිව්වත් වැරදි නෑ.

 

5. DJI Mini 2

හරි, දැන් අපි මිනි ඩ්‍රෝන්ස් ගැන කතා කරනකොට DJI Mavic Mini එක මරු කියලා කිව්වනේ. හැබැයි DJI ප්‍රොඩක්ෂන් ලයින් එකේම එන තව මිනි ඩ්‍රෝන් එකක් තියෙනවා, DJI Mini 2 කියලා. එතකොට මොකක්ද වෙනස? DJI Mavic Mini එක ආධුනිකයෙක්ට හොඳ ප්‍රොෆෙෂනල් මිනි ඩ්‍රෝන් එකක් නම්, DJI Mini 2 කියන්නේ එතනින් අප්ග්‍රේඩ් එකක් කියලා කියන්න පුළුවන්. මේ දෙකේම බර ගෑම් 250 කට අඩුයි. හැබැයි DJI Mini 2 එකේ කැමරා පර්ෆෝමන්ස් සෑහෙන්න ඉහළයි. මේකේ 4K කොලිටියේ වීඩියෝ 30fps ශීඝ්‍රතාවයෙන් රෙකෝඩ් කරන්න පුළුවන්. DJI Mavic Mini එකේ නැති 4X සූම් හැකියාවත් DJI Mini 2 එකේ තියෙනවා. ඒ වගේම DJI Mini 2 එකේ තියෙන OcuSync 2.0 තාක්ෂණයත් එක්ක ට්‍රාන්ස්මිෂන් කොලිටියත් ඉතාම ඉහළයි. කිලෝමීටර් 10 ක වගේ ට්‍රාන්ස්මිෂන් රේන්ජ් එකකුත් තියෙනවා. විනාඩි 30 කට වැඩි පියාසර කාලයකුත් මේකේ ප්‍රබල බැටරියට ලබාදෙන්න පුළුවන්.

 

6. DJI Phantom 4 Pro V2.0

මේක ටිකක් පරණ, විශාල ප්‍රමාණයේ ඩ්‍රෝන් එකක්. මේක කිලෝ 1.375 ක් වගේ බරයි. ප්‍රමාණයෙන් ගත්තත් ටිකක් හැඩිදැඩියි. ඒත් තාමත් ඩ්‍රෝන් එකක් ගන්න කෙනෙක්ට බය නැතුව විශ්වාසය තියන්න පුළුවන් ඩ්‍රෝන් එකක් කියලා මේක හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ සයිස් එකත් එක්ක හිතන්න බැරි තරමට DJI Phantom 4 Pro V2.0 එක වේගවත්. ඒ වගේම මෙගාපික්සල් 20 ක විභේදනයක් එක්ක විශාල අඟල් 1 ක ප්‍රමාණයේ කැමරා සෙන්සර් එකත් එක්ක, හොඳ කැමරා අත්දැකීමක් ලබාදෙන්න පුළුවන් මේ ඩ්‍රෝන් එකට. 4K කොලිටියේ වීඩියෝ ලබාදෙන්න මේ කැමරාවට පුළුවන්. ඉතාම හොඳ හැසිරවීමක් ලබාදෙන මේ ඩ්‍රෝන් එකටත් විනාඩි 30 ක් වගේ කාලයක් පියාසර කරන්න පුළුවන්. හැබැයි පරණ ඩ්‍රෝන් එකක් වුනත් තාමත් මිල ගණන් පහළ බැහැලා නෑ.

 

7. DJI FPV

DJI ප්‍රඩක්ෂන් ලයින් එකෙන්ම එන මේ ඩ්‍රෝන් එක වෙනම ආතල් එකක්. අනික් අපි කතා කරපු ඩ්‍රෝන් වලින් ග්‍රහණය කරගන්න වීඩියෝස් සහ ෆොටෝස් එක්ක බලනකොට, DJI FPV එකෙන් ලබාදෙන වීඩියෝස් සම්පූර්ණයෙන්ම first person point of view එක තමයි දෙන්නේ. ඒ කියන්නේ හරියට අපි ඩ්‍රෝන් එකේ නැගලා පියාඹනවා නම් අපිට පේන වීව් එක තමයි අපිට ලැබෙන්නේ. දැන් මේ DJI FPV ඩ්‍රෝන් එකෙන් ලැබෙන වීඩියෝ ෆීඩ්බැක් එක කෙලින්ම ගොග්ල්ස් දෙකකට හරි හෙඩ්සෙට් එකකට හරි ලබාගත්තොත් මේ එක්ස්පීරියන්ස් එක සුපිරි ලෙවල් එකෙන්ම ගන්න පුළුවන්. ග්‍රෑම් 795 ක් බර මේ ඩ්‍රෝන් එකට කිලෝමීටර් 10 ක වගේ රේන්ජ් එකක් තියෙනවා. ඒ වගේම මේකේ කැමරාවට 4K කොලිටි වීඩියෝස් 60fps ශිඝ්‍රතාවයෙන් රෙකෝඩ් කරන්න පුළුවන්. අංශක 105′ ක super-wide දර්ශන පථයකුත් ලබාදෙනවා.

 

හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඩ්‍රෝන් එකක් ගත්තා වගේ නෙවෙයි. හිතූ හිතූ හැටියේ උඩ අරින්න බෑ. උදාහරණයක් විදියට ගත්තොත් පබ්ලික් ප්ලේස් එකක තමන්ගේ හිතුමනාපෙට ඩ්‍රෝන් එකක් උඩ යවන්න බෑ, ඊට කලින් ඒකට අවසර ගන්න ඕන. එතකොට වෙනත් කෙනෙක්ට හෝ ආයතනයකට අයිති තැනක අවසරයක් නැතුව ඩ්‍රෝන් උඩ අරින්නත් බෑ. ඒ වගේම ඩ්‍රෝන් එකක් මාර්ගයෙන් තවත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන්නත් බෑ. ආන්න ඒ කරුණු ටිකත් මතක තියාගෙනම ඩ්‍රෝන් එකක් ගමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *