අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ විවිධ රටවල කෞතුකාගාරවලින් සහ ආයතනවලින් සොරාගන්නා ලද කලා නිර්මාණ කීපයක් පිළිබඳව. මේ කලා නිර්මාණ සොයා දෙන අයට මිලියන ගණන් මුදල් තෑගි ලබාදෙන්න නියමිත වුණත් වසර ගණනාවක් තිස්සේ මේවා ගැන හෝඩුවාවක්වත් හමුවෙලා නැහැ.
1. ශාන්ත ෆ්‍රැන්සිස්තුමාට සහ ශාන්ත ලෝරන්ස්තුමාට දර්ශනය වූ කිතු උපත (Nativity with St. Francis and St.Lawrence)
කැරවාජියෝ නම් බැරොක් සමයේ සුප්‍රකට චිත්‍ර ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රය සියවස් තුනක් පමණක් ආරක්ෂිතව ඉතාලියේ ශාන්ත ලෝරන්ස් ආරාමයෙහි අල්තාරයට උඩින් එල්ලා තිබුණා. 1969 වසරේ දී මෙම සිතුවම සොරාගත් අතර ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම් සැක කළේ සොරු කණ්ඩායමක් මේ සඳහා සහභාගී වී තිබූ බවයි. තනි සොරෙකුට පමණක් මෙම අති දැවැන්ත සිතුවම එහා මෙහා කිරීම අපහසු වීම මීට හේතුවයි. මාෆියා කණ්ඩායමක් විසින් මෙය සිදුකරන ලද බවට සැක කළත් අද දක්වාම මෙම චිත්‍රය කොහේ පවතින්නේද යන්න පිළිබඳව හෝඩුවාවක් නැහැ.
2. කොළ පැහැති ධාන්‍ය කන පරෙවියා (Le pigeon aux petits pois)
පැබ්ලෝ පිකාසෝ විසින් නිර්මාණය කරන ලද මෙම සිතුවමේ වර්තමාන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික බව විශ්වාස කෙරෙනවා. පැරීසියේ පිහිටි නව කලා නිර්මාණ සඳහා වන කෞතුකාගාරයෙන් මෙම චිත්‍රය ඇතුළු සුප්‍රකට නිර්මාණකරුවන් පස්දෙනෙකුගේ චිත්‍ර සොරා ගනු ලැබුවා. එම සොරකමට සම්බන්ධ වූ එක්තරා සොරෙකු පසුව පාපොච්චාරණය කර තිබුණේ තමන් ඇතුළු පිරිස පොලිස් රැහැනින් බේරීම සඳහා එම චිත්‍රය කුණු ගොඩකට දැමූ බවයි. කෙසේ නමුත් පොලිසිය එම ප්‍රකාශය විශ්වාස නොකළත් ඊට වඩා තොරතුරක් ඔහුගෙන් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.
3. යහපත් විනිශ්චකරුවෝ (The Just Judges)
බෙල්ජියමේ දේවස්ථානයක තැන්පත් කර තිබූ මෙම සිතුවම චිත්‍ර ශිල්පී යන් වෑන් අයික් හෝ ඔහුගේ සහෝදරයා වන හූබර්ට් වෑන් අයික් විසින් නිර්මාණය කළ එකක් බව විශ්වාස කෙරෙනවා. අදාළ රාමුවෙන් චිත්‍රය පරිස්සමෙන් ඉවත් කර සොරකම් කිරීමෙන් පසුව ප්‍රංශ බසින් “වර්සායි ගිවිසුම ප්‍රකාරව ජර්මනිය විසින් ගෙන යන ලදී” යන සටහන මෙහි තබා තිබුණා. පළමු ලෝක යුද්ධයේ දී ජර්මන් හමුදා විසින් මෙම සිතුවම බර්ලිනය වෙත ගෙන ගිය අතර යළිත් වර්සායි ගිවිසුම ප්‍රකාරව බෙල්ජියම වෙත මෙම සිතුවම ලැබී තිබුණා. සොරා ඉහත පණිවුඩය හරහා උත්සාහ කර තිබුණේ මෙම සිතුවම යළිත් ජර්මනිය වෙත රැගෙන ගිය බව දන්වන්නට විය හැකියි.
4. ගලීල මුහුදේ කුණාටුව (The Storm on the sea of Galilee )
ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පී රෙම්බ්‍රෑන්ට් විසින් අඳින ලද මෙම තෙල් සායම් චිත්‍රය ඔහු විසින් මුහුදක් පසුබිම් කරගෙන අඳින ලද එකම චිත්‍රය ලෙස සළකනු ලබනවා. ජේසුස් වහන්සේ විසින් ගලීල මුහුදේ ඇතිවුණු කුණාටුවක් සංසිඳවන ආකාරය නිරූපණය වන මෙම චිත්‍රය පසු කලෙක බොස්ටන් කෞතුකාගාරයේ හිමිකාරීත්වය යටතට පත්වුණා. 1990 වසරේදී එම කෞතුකාගාරයට කඩාවැදුණු සොරුන් පිරිසක් මෙම චිත්‍රය ඇතුළු කලා නිර්මාණ ගණනාවක් සොරාගනු ලැබුවා. ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ සිදුවූ විශාලතම කලා මංකොල්ලය මෙය ලෙස සැළකෙනවා.
5. පොපී මල් (Poppy Flowers)
මෙම සිතුවම ඊජිප්තුවේ කයිරෝ නුවර පිහිටා තිබෙන කලීල් කෞතුකාගාරයෙන් දෙවරක් සොරකම් කොට තිබෙනවා. පළමු සොරකම 1977දී සිදු වූ අතර ඉන් වසර 10කට පමණ පසුව මෙම සිතුවම සොයා ගැනීමට සමත් වුණා. යළිත් වරක් 2010 වසරේදී මෙම සිතුවම අතුරුදහන් වූ අතර මේ දක්වා එය පවතින ස්ථානය ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට සමත් වී නැහැ. වින්සන්ට් වෑන් ගෝ විසින් නිර්මාණය කරන ලද මෙම සිතුවමේ වර්තමාන අගය ඩොලර් මිලියන 55ක් පමණ වන බව ඇස්තමේන්තු ගතකොට තිබෙනවා.
6. ෆ්‍රැන්සිස් බේකන් (Francis Bacon)
ලූෂන් ෆ්‍රොයිඩ් විසින් නිර්මාණය කරන ලද මෙම සිතුවමින් ඔහු නිරූපණය කර තිබුණේ තමාට දැඩි ලෙස සමීප කලා නිර්මාණකරුවෙකු වන ෆ්‍රැන්සිස් බේකන්වයි. 1988 බර්ලිනයේ කලාගාරයක් තුළදී මෙම සිතුවම අතුරුදහන් වූ අතර එම අවස්ථාවේදී කලාගාරය සම්පූර්ණයෙන්ම මිනිසුන්ගෙන් පිරී තිබීම එක්තරා ආකාරයට විස්මයට කරුණක් වුණා.
7. සුදු සහ කහ පැහැයෙන් සැරසී පොත් කියවන තරුණිය (Reading Girl in White and Yellow)
හෙන්රි මටිස්ස විසින් නිර්මාණය කරන ලද මෙම සිතුවම ඇතුළු තවත් සිතුවම් කීපයක් රෝටර්ඩෑම්ජි කුන්ස්තාල් කෞතුකාගාරයෙන් සොරා ගනු ලැබුවා. මෙම සොරකම සිදු කළ පිරිස පසුව අල්ලාගත් අතර ඔවුන්ට අනුව එම සොර පිරිසේ සාමාජිකයෙකුගේ මවක විසින් තම පුතා සිදු කළ අපරාධයෙන් භීතියට පත්ව අදාළ සිතුවම පුළුස්සා දමා තිබෙනවා. නමුත් බොහෝදෙනෙක් මෙම ප්‍රකාශය පිළිගනු ලබන්නේ නැහැ.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply