බටහිර සභ්‍යත්වය තුළ ග්‍රීක ශිෂ්ටාචාරය කියන්නේ සියළු ශිෂ්ටාචාරවල තොටිල්ල කියලා මතයක් තියෙනවා. නමුත් ඉතිහාසය ගැන සොයා බලද්දී ග්‍රීසිය ආශ්‍රිතව ග්‍රීක ශිෂ්ටාචාරය ගොඩනැඟෙන්න කලින් එම භූමියේ පුරාණ ශිෂ්ටාචාර දෙකක් පැවතිලා තියෙනවා. ඒ අතරින් ක්‍රීට දූපත ආශ්‍රිතව ගොඩනැගුණු මිනෝන් ශිෂ්ටාචාරය සුවිශේෂී ස්ථානයක් ගන්නවා. මේ නිසා ඇතැම් අවස්ථාවල ක්‍රීට ශිෂ්ටාචාරය කියන නමත් මේ සඳහා භාවිතා වෙනවා. අපි අද මේ මිනෝන් ශිෂ්ටාචාරය පිළිබඳව තොරතුරු ටිකක් හොයලා බලමු.
1. මිනෝන්වරු
පුරාවිද්‍යාඥයින් සහ ඉතිහාසඥයින් විශ්වාස කරන විදිහට මිනෝන් ශිෂ්ටාචාරය ක්‍රිස්තු පූර්ව 2000 සිට 1400 දක්වා කාලය තුළ පැවතිලා තියෙනවා. මේ ශිෂ්ටාචාරයේ නම පිළිබඳව විවිධ සංවාද පැවතුණත් ග්‍රීක පුරාකතා වල සඳහන් වෙන මිනෝන් රජතුමාගේ නම මේ ශිෂ්ටාචාරය සඳහා දැනට භාවිතා වෙනවා. දැනට භාවිතයෙන් ගිලිහී ගොස් තිබෙන භාෂාවක් ඔවුන් කතා කළ බවට විශ්වාස කෙරෙන අතර රූපාක්ෂර වලට සමාන අක්ෂර මාලාවක් ඔවුන් භාවිතා කළ බවට සාධක කැණීම් වලින් හමුවූ මැටි පුවරු තුළින් හමු වෙනවා.
2. ගෘහ නිර්මාණ ශිල්පය
අද දක්වාම මෙම ශිෂ්ටාචාරය පිළිබඳව අධ්‍යයනය කරන පිරිස් පුදුමයට පත් කරන කාරණය වන්නේ මිනෝන්වරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයයි. ඔවුන් විසින් අති දැවැන්ත මාළිගා සංකීර්ණ ගොඩනගා තිබෙනවා. වර්තමානයේ කොනෝසොස් ලෙස හඳුනන නටබුන්ව ගිය මාළිගා සංකීර්ණය වර්ග අඩි 15,000ක ප්‍රමාණයක් පමණ පුරා පැතිර පවතිනවා. ඒ වගේම අපි කලින් සඳහන් කළ ග්‍රීක පුරා කතා වලට අනුව මිනෝන් රජු විසින් යක්ෂයකු සිරගත කිරීම සඳහා වංකගිරියක් බඳු ගොඩනැගිල්ලක් නිර්මාණය කළ බව සඳහන්. ක්‍රීටය පුරා මෙවැනි මාළිගා තුනක් පමණ විසිරී තිබෙන අතර මීට අමතරව ඔවුන්ගේ ජනපද සහ සුසානභූමිද හමුව තිබෙනවා.
3. කලාව
ලෝකයේ ඒ වන විට පැවති අනෙකුත් ශිෂ්ටාචාරවලට සාපේක්ෂව මිනෝන් ජනතාව උසස් කලාකාමී අදහස් සහිත පිරිසක්. ඔවුන් විසින් නිර්මාණය කරන ලද මැටි සහ පිඟන් භාණ්ඩ අලංකාර කිරීම සඳහා වර්ණවත් චිත්‍ර ඇඳීම සිදුකොට ඇති අතර ගස් වැල්, මල් සහ මුහුදු ජීවීන් එම සිතුවම් වලට ඇතුළත් කොට තිබෙනවා. මෙයට අමතරව තඹ ලෝහයෙන් නිර්මාණය කරන ලද කාන්තා පිරිමි සහ සත්ව ප්‍රතිමාද හමුවී තිබෙනවා. සිය මාළිගා අලංකාර කිරීම සඳහා බිතුසිතුවම් ඇඳ ඇති ඔවුන් ස්වභාවික දර්ශන පසුතල පමණක් යොදාගෙන තිබෙනවා. පැරණි ශිෂ්ටාචාරවල බිතුසිතුවම් අතරින් මිනිසුන් රහිතව ස්වභාවික දර්ශන පමණක් සිතුවමට නැගූ පළමු අවස්ථාවක් විදිහට මෙය සළකන්න පුළුවන්.
4. වෙළඳාම
මධ්‍යධරණී මුහුද තුළ ක්‍රීටය පිහිටා තිබෙන උපාය මාර්ගික වැදගත්කම නිසාම මිනෝන්වරු වෙළඳාම සිය ප්‍රධාන ජීවනෝපායක් කරගෙන තිබුණා. ඔවුන් සිය නාවික හමුදාව වර්ධනය කරගෙන තිබුණේ ආරක්ෂාව සහ වෙළඳාම සාර්ථක කරගැනීම සඳහායි. නිර්භීත සමුද්‍ර යාත්‍රිකයන් වූ ඔවුන් සම්පූර්ණ මධ්‍යධරණී මුහුදම පාහේ ගවේෂණය කිරීමට සමත් වූ අතර තම අසල්වැසි ශිෂ්ටාචාර සමඟ වෙළෙඳ සම්බන්ධතා ගොඩනගාගැනීමට සමත්වුණා. ලී, පිඟන් බඩු, රත්තරන්, රෙදි සහ කුළුබඩු වර්ග මේ වෙළඳාමේදී තීරණාත්මක වෙළඳ භාණ්ඩ වුණා.
5. සාමකාමී ජනතාවක්
තම අසල්වැසි ශිෂ්ටාචාරවලින් වෙන්ව දූපතක ජීවත් වීම නිසා මිනෝන්වරු අතිශය සාමකාමී ජනතාවක් වුණා. මේ නිසාම ඔවුන්ට බලකොටු ගොඩනඟා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් පැවතුණේ නැහැ. අපි කලින් සඳහන් කළ අතිදැවැන්ත මාළිගාවල පවා ආරක්ෂාවට පවුරු පදනම් තිබුණේ නැහැ. ඒ වගේම කිසිදු මිනෝන් බිතු සිතුවමක යුද්ධ දර්ශන ඇතුළත් නොවීමත් තවත් විශේෂත්වයක්.
6. මිනෝන්වරුන්ගෙ ඇදහීම්
මිනෝන්වරු විසින් දෙවඟනන් ඇදහීම සිදු කළ බවට සාධක හමුව තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන දෙවඟන මව් දෙවඟනක් වූ අතර ඇය දරු ප්‍රසූතියට අධිපති දෙවඟන ලෙස සැළකුණා. මෙයට අමතරව සතුන්ට සහ අස්වැන්නට අධිපති දෙවඟනන් රැසක් ඔවුන්ට සිටියා. මේ නිසාම ඉතිහාසඥයන් මිනෝන් ශිෂ්ටාචාරය මාතෘ මූලික ශිෂ්ටාචාරයක් බවට විශ්වාස කරනවා.
7. මිනෝන ශිෂ්ටාචාරයේ බිඳවැටීම
මිනෝන ශිෂ්ටාචාරයේ බිඳ වැටීමට ප්‍රධානම හේතුව වූයේ ගිනිකඳු විදාරණය බවට විශ්වාස කෙරෙනවා. මෙම ගිනිකඳු පිපිරීමත් සමඟ ඇතිවන උදම් රළ මගින් මිනෝන් නගර විනාශ වූ අතර ඔවුන්ගේ නාවික ශක්තියත් අවසන් වුණා. එසේම අහස වසා ගත් ගිනිකඳු අළු වගාබිම්වල තැන්පත්වීම නිසා ඔවුන්ගේ වගාවන්ද නිසරු වී සාගත තත්ත්වයක් ඇතිවුණා. මෙසේ දුර්වල බවට පත්වුණ මිනෝන ශිෂ්ටාචාරය වසර කීපයක් තුළ එවකට ග්‍රීසිය තුළ බලවත් වෙමින් පැවති මයිසිනියානුවන් විසින් ගිල ගනු ලැබුවා.
අපි මේ ආටිකල් සීරිස් එකේ ඊළඟ ආටිකල් එකෙන් මයිසීනියානු ශිෂ්ටාචාරය ගැන දැන කියා ගමු. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply