විවිධ රටවල නර්තන සම්ප්‍රදායන් ගැන දැනගමුද?

නටන්න නම් කාටත් පුළුවන්නේ. ඔය අපේ මියුසිකල් ෂෝ වල එහෙම ලොවෙත් නැති නැටුම් ක්‍රම තියෙනව. කොච්චර නටනවද කියනව නම් ජාතික ගීයටත් නටනවා. හැබැයි අද කියන්නෙ ඒ නැටුම් ගැන නෙවෙයි. මේ කියන්න හදන්නෙ සාම්ප්‍රදායික නැටුම් ක්‍රම ගැන. ලංකාවෙ අපේ නැටුම් පරම්පරාවල අය නැටුම් වලට ගොඩක් දක්ෂයි. ඒ වගේම උඩරට, පහතරට වගේ ගොඩක් ලස්සන නැටුම් සම්ප්‍රදායන් අපේ රටේ තියනවා. ඒවා ගැන අපි ඉස්කෝලෙදිත් ඉගෙන ගත්තනෙ. අපේ ඒ නැටුම් වගේම සාම්ප්‍රදායික නැටුම් ලෝකෙ හැම රටකම වගේ තියෙනවා. ඒ අතරින් ගොඩක් ප්‍රසිද්ධ රටවල් වල නර්තනයන් හා ඒවායේ තියන විශේෂිත බව ගැනයි අද අපි කතා කරන්නෙ. මේ කරුණු ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. 

 

1. ඩ්‍රැගන් ඩාන්ස් – චීනය

 චීනයේ ප්‍රසිද්ධම නර්තන ක්‍රමයක් තමා මේ ඩ්‍රැගන් ඩාන්ස් එක. අතීතයේ ඉඳලම චීනයේ උත්සව වල ප්‍රධාන තැනක් ගන්නවා මේ ඩාන්ස් එක. ඇත්තෙන්ම මකරා කියන්නෙ චීනයේ වැදගත් සංස්කෘතික අංගයක්. ඔවුන් එයින් ප්‍රබල බව, ධනය, බලය සංකේතවත් කරනවා. ඒ වගේම එමඟින් ඔවුන්ට වාසනාව ගේනවා කියලා විශ්වාස කරනවා. 

මේ නර්තනයට ගන්න මකරාව සකසගන්නෙ තණකොළ, උණ බම්බු, කඩදාසි හා රෙදි වලින්. උණ පටි වලින් මකරගෙ සැකිල්ල හදලා කඩදාසි හෝ විනිවිද පේන රෙදි වලින් කවර් කරනවා. ඒ වගේම මේ මකරා හදන්න සාමාන්‍යයෙන් ගන්නෙ ඔත්තේ සංඛ්‍යාවක සන්ධි ප්‍රමාණයක්. මොකද ඒක සුභදායකයි කියලා චීන වැසියන් විශ්වාස කරනවා. මේ වගේ 9, 13, වගේ සන්ධි ප්‍රමාණයකින් මේ මකරාව සාමාන්‍යයෙන් හදනවා. සන්ධි 15ට වඩා වැඩි මකරු ගොඩක් ශක්තිමත්ව හදනවා කියලයි කියන්නෙ. මේ මකරව අරන් යන්නත් සාමාන්‍යයෙන් මිනිස්සු 10 දෙනෙක්වත් ඕන වෙනවා. 

 

රෑ කාලේ උත්සව වලට ෆයර් ඩ්‍රැගන්ව තමයි හදන්නෙ. ඒක ඇතුළෙන් පහන් හෝ ලයිට් දාලා හැඩගන්වනවා. එතකොට ගිණිමකරෙක් වගේමයි දිස් වෙන්නෙ. මේ වගේ හදන මකරාව ගොඩක් පරිස්සමින් පන්සලක තැන්පත් කරලා අවශ්‍ය වෙලාවට තමයි එළියට ගන්නෙ. චීන වැසියන් උත්සවාකාරයෙන් මේ මකරාට ඇස් හයි කරලා තමයි නර්තනය පටන් ගන්නෙත්. ආස හිතෙනවා නේද ඒ නර්තනය බලන්න? ඒ වගේම චීනයේ තවත් ප්‍රසිද්ධ නර්තන කීපයක්ම තියෙනව. ලයන් ඩාන්ස්, ඩ්‍රම් ඩාන්ස්, rattle stick dance, yang ge flower වගේ නර්තන තමයි ඒ. 

 

 

 

2. Flamenco – ස්පාඤ්ඤ 

15 වන සියවසේ සිට ස්පාඤ්ඤයේ දකුණුදිග ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම නර්තන සම්ප්‍රදාය ඇමරිකානු හා කියුබානු සංස්කෘතීන්ගෙන් පෝෂණයට ලක්වූ නර්තන ක්‍රමයක්. ස්පාඤ්ඤයේ සාම්ප්‍රදායික නර්තනයන් අතරින් ඉහළම තැනක් ගන්න මේ ෆ්ලැමෙන්කෝ නැටුම භාව ප්‍රකාශන නර්තන ශෛලියක් විදියට තමා ප්‍රසිද්ධ. මේක එක තැනක ඉඳලා හෙමින් අංග චලයන් මගින් ආරම්භ කරල ඉදිරිපත් කරන, ආදරය, විරහව, ආඩම්බර බව යන හැඟීම් මේ නර්තනය මඟින් ප්‍රකාශ කරනවා. කාන්තාවන් සහ පුරුෂයන් යුගල වශයෙනුත් තනි තනිවත් මේ නර්තනයේ නිරත වෙනවා. මේ නර්තනයට ගිටාර් වාදන ශිල්පියෙක් හා ගායකයෙක් සම්බන්ධ වෙනවා. 

 

 

 

3. Kabuki – ජපානය

කබුකි කියන්නෙ ජපානයේ ගොඩක් ජනප්‍රිය ‍නර්තන කලාවක්. සියවස් 4කට එහා සිට පැවත එන සාම්ප්‍රදායික නාට්‍ය කලාවක් වන කබුකි නාට්‍ය, ගායනයෙන් මෙන්ම අලංකාර නර්තන වලින්ද සමවිතයි. මේ නාට්‍ය වල එන කබුකි නර්තන ඉදිරිපත් කරන්නෙ ජපානයේ සාම්ප්‍රදායික ඇඳුම වන කිමෝනාව ඇඳලා, කුමඩොරි කියන සාම්ප්‍රදායික මේකප් එක දාලා, ගොඩක් ලස්සනට සරසපු වේදිකාවක් උඩයි. මේක සරලවම කොයි වගේද කියනවා නම් අපේ මුද්‍රා නාටක වගෙයි. නර්තනයෙන් ඉදිරිපත් කෙරෙන නාට්‍ය කලාවක්. කබුකි නර්තනයේ ගොඩක් නර්තන රටාවන් වගේම මෝස්තර තියනවා. මේ චලන රටා ගොඩක්ම පුහුණුවෙන් හා ශාරිරීකව අත්දැකීම් වලින් ඉගෙනගන්න ඒවා. මෙම නර්තනයේදී චලන ක්‍රම, ශරීරය හැසිරවීමේ ක්‍රම ගොඩක් ඉගෙන ගන්නත් තියෙනවා. අංග චලනයෙන්, අභිනයෙන් සහ සංගීතයෙන් තමා නාට්‍යයේ අන්තර්ගතය වැඩියෙන්ම විදහා පාන්නෙ. 

 

 

 

4. Hula – හවායි

ලෝකේ තියන ගොඩක් ලස්සන වගේම සංචාරක ආකර්ෂණය දිනාගත්තු රටක් තමයි හවායි කියන්නෙ. මේ රටේ අමුත්තන් පිළිගන්න, සංස්කෘතික අංග වලදි, විශේෂ උත්සව වලදි මේ අලංකාර නර්තනය සිදුකරනවා. ඉස්සර මේක හවායි වල රජු ඉදිරියේ හොඳට පුහුණු වුණු නර්තන ශිල්පීන් සිදුකළ ආගමික නර්තනයක්. 1830දි විතර එවකට හිටපු රැජිනක් මේ හුලා නර්තනය ප්‍රසිද්ධ ස්ථාන වල රඟ දක්වන්න තහනම් කළා. ඒත් ඒ රැජින මියගියාට පස්සෙ හවායි වැසියන් නැවතත් මේ නර්තනය පටන්ගත්තා. ගැහැණු පිරිමි දෙපාර්ශවයම මේ නර්තනයේ යෙදෙනවා. ලස්සනට හදපු මල් මාලා, මල් ඔටුණු වගේම කොළ අතු වලින් හදපු සායකින් සැරසිලා තමයි මේ නර්තනය සිදුකරන්නෙ. ඇත්තටම බලන් ඉන්න හරිම ආස අංගයක් තමයි මේ. 

 

 

 

5. Bharatanatyam – ඉන්දියාව

ඈත ඉතිහාසයකට හිමිකම් කියන ඉන්දියාවේ තියන නර්තන සම්ප්‍රදායයන් විශාල ප්‍රමාණයක් අතරින් භරතනාට්‍යම් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු වල ගොඩක් ප්‍රසිද්ධයි. මේ නර්තනයට අංග 6ක් තියනවා. මේ භරතනාට්‍යම් කියන වචනයේ තේරුම භාවාත්මක, රිද්මයානුකූල, සංගීතමය නර්තනයක් කියන එකයි. කෙටියෙන් නම් භාව, රංග සහ තාල කියන තුනේ එකතුවක් තමා භරතනාට්‍යම් කියන්නෙ. මේ නර්තනය මඟින් ශරීරයට සැහැල්ලුවක්, හොඳ ව්‍යායාමයක් ලබා දෙනවා වගේම රුධිර සංසරණයත් දියුණු කරනවා කියන එක එහි යෙදෙන ප්‍රසිද්ධ නර්තනවේදීන්ගේ අදහසක්. මේ නර්තනයට අධිපති වන්නෙ ශිව දෙවියන් කියලයි ඉන්දියානුවන් විශ්වාස කරන්නෙ. ඒ නිසාම මේක බොහොම පාරිශුද්ධ භාවයෙන් යුක්තව සිදු කරනවා. සිල්ක් සාරි හෝ එම්බ්‍රොයිඩර්වලින් සැකසූ අලංකාර සාරි තමයි මේ නර්තනයට භාවිතා කරන්නෙ. මේ වෙනකොට ලෝකේ පුරාම කාන්තා හා පිරිමි නර්තන ශිල්පීන් මේ නර්තන කලාව පුහුණු කිරීම් සිදුකරනවා. තනි නර්තන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් රඟ දක්වන මේ භරතනාට්‍යම් වලට ගායන කණ්ඩායමක් සහ සංගීත කණ්ඩායමක් දායකත්වය සපයනවා.

 

 

 

6. Tarantella – ඉතාලිය

15 වන සියවසේ දකුණු දිග ඉතාලියේ සාම්ප්‍රදායික යුගල නර්තන කලාවක් තමයි මේ. පුනරුද සමයේ ගොඩක් ප්‍රචලිත වුණු මේ නර්තනය මුලින්ම රෝග සුව කරන්න යොදාගන්න නැටුමක් විදියට තමයි ආරම්භ කරලා තියෙන්නෙ. ඊටපස්සෙ අවුරුදු ගණනාවකින් මේක කලාවක් බවට පත්වෙලා. බහුලවම යුගල වශයෙන් නර්තනයේ යෙදුනත් තනිවමත් නටන්න පුළුවන් නර්තනයක් මේක. ඉතාලියේ මේක “මකුළුවාගේ නැටුම” කියලත් හඳුන්වනවා. වේග රිද්ම නර්තනයක් විදියටත් මේ ටැරන්ටෙල්ලා නැටුම හඳුන්වන්න පුළුවන්. මේ නර්තනයට විශේෂයෙන්ම මහපු ගවුමක් තියනවා. ඒ වගේම ඒකට ආවේණික සුදු, කළු හා රතු වර්ණයෙන් මේ ගවුම නිර්මාණය කරලා තියෙන්නෙ. පිරිමි අය නම් විශේෂයෙන් හදපු සපත්තු, කළු කමිසයක්, කුඩා තොප්පියක් හා ස්කාෆ් එකක් පළඳිනවා. කකුලෙන් කරන ඉතා ලස්සන රංගනයක් එක්ක යන මේ නැටුමට සංගීතය සපයන්නෙ ගිටාර්, එකෝඩියන්, බටනලා හා මැන්ඩලීන් වලින්. මේක බලන් ඉන්න හරි ආස හිතෙන මනරම් නර්තනයක්.

 

 

 

7. Tinkling – පිලිපීනය

ස්පාඤ්ඤ යටත් විජිත යුගයේ සිට ආරම්භ වූ පිලිපීනයේ මේ නර්තන සම්ප්‍රදාය ටිකක් වෙනස් ආරක් ගන්නවා. මේක ගොඩක් පුහුණුව ලැබූ කාන්තාවන් හා පිරිමින් වේගයෙන් උණ බම්බු මත කකුල් එහා මෙහා කරමින් සිදු කරන නර්තනයක්. මේකට උණ බම්බු ක්‍රියාකරවන්නන් වෙනම හෝ නර්තනයේ යෙදෙන අයම හුවමාරු කරමින් කරනවා. එකල ගොවීන් අටවන උණබම්බු උගුල් වලට ටින්ක්ලි කුරුල්ලො කොටන සද්දෙ තමා මේ නැටුමෙන් නිරූපණය කරන්නෙ. 

පහත වීඩියෝ එකෙන් බලන්න… මේක හරිම සීරුමාරුවට කරන වෙනස්ම විදියෙ නර්තනයක් බව තේරෙනවා. ඒ වගේම උණ බම්බු බිම ගැටෙන සද්දෙ හරිම ලස්සනට ඇහෙනවා. 

 

 

 

 

තවත් දවසක මේ වගේ ලෝකෙ පුරා තියෙන අපූරු දේවල් ගැන තොරතුරු එක්ක නැවත හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *