දැන් ඔය ජිම් එකට යන එක, එහෙම නැතිනම් කායවර්ධන මධ්‍යස්ථානයකට යන එක සමහරුන්ට නම් සෝබන වැඩක්, තවත් සමහරුන්ට ආගමක්. හැබැයි ඒ මොකක් වුණත්, ජිම් එකට යන එක ශරීර සුවතාවය ගැන හිතන ඕනම කෙනෙක්ට හොඳ ඔප්ෂන් එකක්. හැබැයි ඉතින් එහෙම ජිම් යනවා කියලත් යන්නං වාලේ ගිහින් හරියන්නෙ නෑ. ඊට වඩා ජිම් එකට යන එක හොඳ සැලසුමක් ඇතුව, වර්කවුට් ප්ලෑන් එකකට, ඩයට් ප්ලෑන් එකක් එහෙම එක්ක කරන්න ඕන දෙයක්. ඒ වගේම ජිම් එකකට ගිහින් හැසිරෙන්න ඕන විදියක්, ජිම් එකේ අනුගමනය කරන්න ඕන පුරුදු එහෙමත් තියෙනවා. ආන්න එව්වත් අමතක කරන්න හොඳ නෑ.
දැන් මේ කාලේ හැමතැනම කොවිඩ්-19 වසංගතේ පැතිරිලානේ. එතකොට ජිම් එකක් වගේ සෙනඟ රැස්වෙන තැනකින් වුණත් බොහෝම ලේසියෙන් මේක පැතිරිලා යන්න පුළුවන්. හැබැයි එහෙම කියලා ජිම් නොගිහින් හිටියට වැඩකුත් නැහැනේ. ආන්න ඒ නිසා කරන්න තියෙන්නේ, පුළුවන් තරම් සෞඛ්‍ය උපදෙස් පිළිපැදගෙන ජිම් එකට යන එක. ඒ ඇරෙන්න කොරෝනා කාලේ ජිම් ගිහින් වුණත් කොරෝනාවෙන් හැකිතාක් පරිස්සම් වෙන්න උපදෙස් කීපයක් තමයි මේ දෙන්න යන්නේ.
1. හරි ජිම් එකක්
ඉස්සර නම් අපි හරි ජිම් එකක් තෝරගන්නවා කියලා කියන්නේ හොඳ කෝච් කෙනෙක් ඉන්න, හොඳ උපකරණ තියෙන, ඉඩ කඩ තියෙන, පහසුකම් තියෙන ජිම් එකක් කියන එකනේ. දැනුත් එහෙමම තමයි. හැබැයි ඒ වගේම තව දේවල් ටිකක් බලන්න තියෙනවා. කොහොමත් හොඳට ඉඩ කඩ තියෙන ජිම් එකක් වෙන්න ඕන. දහ දෙනෙක් ආවත් සාඩින් දැම්මා වගේ පැක් වෙන ජිම් එකක් නම් මේ කාලේ කොහොමටවත් එපා. ඊලඟට හොඳ වාතාශ්‍රයක් තියෙන ජිම් එකක් වෙන්න ඕන. ඉන්ඩෝර් ජිම් එකක් තෝරගන්නවා නං ඒ ගැන අහලා බලන්න ජිම් එකේ මැනේජ්මන්ට් එකෙන්. අවුට්ඩෝර් ජිම් එකක් නම් ඉතින් වාතාශ්‍රය ගැටළුවක්ම නැහැනේ. හැබැයි ඉතින් අවුට්ඩෝර් ජිම් එකක් වුණත් පොඩි තැනක අටවලා තියෙන එකක් හරියන්නෙ නෑ.
2. ඕෆ් පීක්
සාමාන්‍යයෙන් දැන් කාලේ සෞඛ්‍ය නිර්දේශයන්ගෙන් කියවෙන්නේ, පුළුවන් තරම් අත්‍යාවශ්‍ය දේවල් වලට ඇරෙන්න වෙන දේවල් වලට ගෙදරින් පිටතට නොයා ඉන්න කියන එක. හැබයි දැන් අපි කතා කරන්නේ ජිම් එකට යනවා කියන තැන ඉඳන් නේ. එතකොට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි, පුළුවන් තරම් ඕෆ් පීක් වෙලාවක එලියට බහින එක. ජිම් එකට තියෙන පීක් සහ ඕෆ් පීක් වෙලාවල්, ඒ කියන්නේ වැඩියෙන්ම මිනිස්සු එකතු වෙන වෙලාව සහ අඩුවෙන්ම මිනිස්සු එකතු වෙන වෙලාව ජිම් එකෙන් ජිම් එකට වෙනස් වෙන්න පුළුවන් සමහර විට. ඒත් ගොඩක් වෙලාවට උදේම ජිම් එකට සෙනඟ අඩුයි. හවසට වැඩියි කියලා කියන්න පුළුවන්. මේ විදියට මිනිස්සු ගොඩක් අඩුවෙන් ජිම් එකට එන වෙලාව අපිට තෝරගන්න පුළුවන්.
3. සෝෂල් ඩිස්ටන්සින්ග්
මේක ඉතින් ජිම් එකේදී විතරක් නෙවෙයි, කොයි දේට එලියට බැස්සත් පිළිපදින්න ඕන දෙයක්නේ. ඒ තමයි සමාජ දුරස්ථකරණය පවත්වා ගැනීම. සමහර වෙලාවට මේ දවස් වල ඇරලා තියෙන ජිම් වල වුණත් ඇතුළට ගන්නේ ජිම් එකේ කැපෑසිටි එකෙන් 50% ක් හරි සමහර වෙලාවට ඊටත් අඩුවෙන් වෙන්න පුළුවන්. කොහොම වුණත් අර උඩ කියපු විදියට ඕෆ් පීක් වෙලාවේ ජිම් යන එක මේකට හොඳ උපක්‍රමයක්. එතකොට බොහොම ලේසියෙන් සමාජ දුරස්ථකරණය ජිම් එක ඇතුලේ පවත්වගන්න පුළුවන්.
ඒ වගේම ඉතින් ජිම් එකේ සමහර පෙර පුරුදු එහෙමත් සෝෂල් ඩිස්ටන්සින් වෙනුවෙන් වෙනස් කරගන්න වෙනවා. ඒ කියන්නේ බඩියා ට්‍රෙඩ් මිල් එකේ යනකල් ට්‍රෙඩ් මිල් එකට හේත්තුව දාගෙන කයිය ගහන එක, බෙන්ච් ප්‍රෙස් කරන්න ගිහින් බෙන්ච් එකේ ඉඳගෙන කාගෙ හරි කෝප්පයක් හෝදන එක වගේ දේවල් සම්පූර්ණයෙන්ම නතර කරන්න වෙනවා.
4. හැමදේටම සැනිටයිසර්
සැනිටයිසර් කියන්නෙත් මේ කාලේ ආගමක් වගේ දෙයක්නේ. අන්න ඒ නිසා සැනිටයිසර් එකක් ගෙනියන්නම ඕන ජිම් එකට යනවා නං. ඊට පස්සේ? අපි මොකක් හරි උපකරණයක් අල්ලන්න කලින් ඒක සැනිටයිස් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, ඩම්බේල් දෙක අතට ගන්න කලින්, ඩම්බේල් දෙකේ හැන්ඩ්ල් දෙක සැනිටයිසර් දාලා පිරිසිදු කරලා අතට ගත්තට කමක් නෑ. එතකොට මොකක් හරි උපකරණයක හැන්ඩ්ල් එක වුණත් සැනිටයිසර් වලින් පිරිසිදු කරගන්න පුළුවන්. ඒ වගේම, තමන්ගේ අත් දෙකත් මතක ඇතිව සැනිටයිසර් වලින් විෂබීජහරණය කරගන්න ඕනමයි.
5. නෝ ෂෙයාරින්
මේක නං ඉතින් ජිම් එකට යනකොට දේව වාක්‍ය වගේ පිළිපදින්න ඕන දෙයක්. ඒ කියන්නේ ෂෙයාර් කිරිලි වානා. ජිම් එකේ වතුර ෆිල්ටර් එක උඩ තියෙන හැමෝම බොන වතුර කෝප්පෙන් බොන්න බෑ. අඩු ගාණේ තමන් ගෙනියන වතුර බෝතලේ යාලුවා එක්ක ෂෙයාර් කරගන්නවත් බෑ. සමහරු හිතනවා කට තියන්නෙ නැතුව කටට හලාගත්තට අවුලක් නෑනේ කියලා. ඒ ක්‍රමේ අවුලක් තිබ්බත් නැතත්, කොරෝනා එක්ක අවදානමක් ගන්න ඕනෙද? නෑනේ. ආන්න ඒ නිසා ජිම් එකට ගෙනියන තමන්ගේ වතුර බෝතලේ ඉඳලා හෙඩ්සෙට් එක දක්වා කිසිමාකාරයක දෙයක් තව කෙනෙක් එක්ක ෂෙයාර් කරගන්න හරි, තව කෙනෙක්ගේ දෙයක් පාවිච්චි කරන්න හරි නොයන එක තමයි නුවණට හුරු!
6. ෆේස් මාස්ක්
මෙන්න මේකත් ගොඩක් දෙනෙක්ට සෑහෙන්න කරන්න අමාරු දෙයක්. ඒ තමයි මාස්ක් එක දාලා එක්සයිස් කරන එක. සමහරු හිතනවා, මාස්ක් එක දාගෙන වර්ක් අවුට් කරනකොට, හුස්ම ගන්න ප්‍රමාණය අඩු වෙලා සිහි නැති වෙලා වැටෙයි කියලත්! හැබැයි ඇත්තටම ඔය විද්‍යාඥයෝ එහෙම කියන්නේ, වර්ක් අවුට් කරනකොට මාස්ක් එකක් දාගෙන හිටියා කියලා කිසිම ගැටළුවක් ඇතිවෙන්නෙ නෑ කියලා තමයි. අන්න ඒ නිසා ජිම් එකට ගිහිල්ලා වර්ක් අවුට් කරනකොට වුණත්, මහන්සි අරින කොට වුණත් මාස්ක් එක දාගෙන ඉන්න එක තමයි කාටත් ආරක්ෂාවක් වෙන්නේ.
7. ටවල් දෙකක්
සාමාන්‍යයෙන් ජිම් එකට යනකොට ටවල් එකක් ගෙනියන්නේ තමන්ගේ දාඩිය පිහිදගන්න වගේම, අපි මොකක් හරි උපකරණයක් පාවිච්චි කළාට පස්සේ, ඒකේ හැන්ඩ්ල් එකේ ගෑවෙන අපේ දාඩිය පිහිදාන්න. දෙවෙනි එක ජිම් එකේදී පිළිපදින්න ඕන හොඳ සිරිතක්. මොකද, එතකොට තව කෙනෙක් අපේ දාඩිය ගෑවුණු උපකරණ අල්ලන්න ඕන නැති නිසා. කොහොම වුණත් සාමාන්‍ය කාලෙකදී වුණත් ටවල් දෙකක් ගෙනියන එක හොඳයි. එකක් තමන්ගේ දාඩිය පිහිදන්න සහ අනික උපකරණයක් පාවිච්චි කළාට පස්සේ පිහිදලා එන්න. හැබැයි ඒ ඇරෙන්න විශේෂයෙන්ම දැන් කොරෝනා කාලෙදී අනිවාර්යයෙන්ම ටවල් දෙකක් ගෙනියන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ.
8. ගෘප් එපා
දැන් ඔය ජිම් එකක සමහර වෙලාවට තියෙනවනේ සාමූහික කණ්ඩායම් ක්‍රියාකාරකම්. ඒ කියන්නේ එක්කෝ එරොබික්ස්, එහෙම නැතිනම් ගොඩක් අය එකතු වෙලා කණ්ඩායමක් විදියට කරන එක්සසයිස් වගේ දේවල්. ඒවා කළාට කමක් නැහැ මීටර් එකහමාරක දෙකක පරතරයක් හැම කෙනෙක් අතරම පවත්වා ගෙන කරන්න පුළුවන් ඉඩක් තියෙනවා නම්. එහෙම නැතිනම් අනිවාර්යයෙන්ම කණ්ඩායම් එක්සසයිස් හෝ වෙනත් කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන එක මේ මොහොතේ ප්‍රතික්ෂේප කරන්න වෙනවා.
අර සමාජ දුරස්ථකරණය කියන එක මෙතනටත් අනිවාර්යයෙන්ම අදාළ වෙනවා.
දැන් පැහැදිළියිනේ. ලොක් ඩවුන් ඒරියා එකක එහෙම නෙවෙයි නම් ජිම් යන්න එපා කියලා අපි කියන්නෙ නෑ. හැබැයි මේ විදියට කටයුතු කළොත්, තමන්ට ජිම් එකෙන් කොවිඩ්-19 ආසාදනය එක සෑහෙන්න අඩු කරගන්න පුළුවන්.
Leave a Reply