දැන් ඔය අපේ අත්සන තියෙන්නේ. අන්න ඒ අත්සන කියන එක සෑහෙන ප්‍රබල දෙයක්නේ. ඒ කියන්නේ අපි මුලින්ම ජාතික මට්ටමේ විභාගයක් කාරිය කරන තැන ඉඳලා අපිටම කියලා ඉඩකඩම්, යානවාහන ඇතුළු ඕනෙම ලොකු දෙයක් ගන්න තැන වෙනකල් අපිට අත්සන වැදගත් වෙනවා. එතකොට අපි කසාද බඳින එකේදී ඉඳලා අවසාන කැමැත්ත දක්වාත් අත්සන වැදගත් වෙනවා. කොටින්ම කිවුවොත්, අත්සන කියන්නේ අපි යම් කිසි දේකට අපේ එකඟතාවය, අනුමැතිය දෙන බොරු කරන්න බැරි සාක්කියක් වගේ දෙයක්. ඒ නිසාම තමයි අපි හරියට අත්සනක් හදාගන්න ඕනෑ කරන්නෙත්.
හැබැයි හැමදාමත් අපි කොළේක පෑනකින් අත්සන් කරන්නම ඕනෙද? ඇත්තම කිවුවොත් ඉතාම වැදගත් ලිපිලේඛන සම්බන්ධයෙන් නම් උත්තරේ ඔව්. හැබැයි හැමදේකටම එහෙම ඕන නෑ. විශේෂයෙන්ම ඩිජිටල් ලෝකෙක, ඩිජිටල් ලිපිලේඛන එක්ක වැඩ කරන අපිට අත්සනත් ඩිජිටල්කරණය කරගන්න පුළුවන්. එහෙම කරගන්නවා නම් ලේසියි. ආන්න ඒ නිසා අපි හිතුවා ඩිජිටල් විදියට අත්සනක් හදාගන්න එක, එහෙම නැතිනම් ඊ-සිග්නේචර් එකක් -ඒ කිව්වේ ඉලෙක්ට්‍රොනික අත්සනක්- හදාගන්න එක ගැන කරුණු කීපයක් කියන්න.
1. මොකද්ද ඇත්තට ඊ-සිග්නේචර් එකක් කියන්නේ?
සරලවම කිවුවොත්, අපි භාවිතා කරන අපේ සැබෑ අත්සනේ ඩිජිටල් වර්ෂන් එකක්. ඒ කියන්නේ ඩිජිටල් වර්ෂන් එක ඇත්ත නෙවෙයි කියන එක නෙවෙයි. අපි කොළේක පෑනෙන් ගහන අත්සන හාඩ් කොපි එකක් නම්, ඊ-සිග්නේචර් එක කියන්නේ හරියට සොෆ්ට් කොපි එක වගේ. එතකොට අපි කොළේක අත්සන් කරනවා වගේම, අපි සොෆ්ට් කොපි එකක් විදියට තියෙන ඩොකියුමන්ට් එකක් සයින් කරන්න පුළුවන් අර අපේ අත්සනේ ඩිජිටල් සංස්කරණය නැතිනම් ඊ-සිග්නේචර් එක සොෆ්ට් කොපි ඩොකියුමන්ට් එක එඩිට් කරලා, ඒකේ අදාළ තැන යොදලා.
2. ඊ සිග්නේචර් වලංගුයිද?
වලංගුයි. ඒකේ ආයි අහන්න දෙයක් නෑ. ඇත්තටම කිවුවොත් ඇමරිකාවේ ඉලෙක්ට්‍රොනික අත්සන් සම්බන්ධයෙන් වෙනම පනතක් පවා ගෙනැල්ලා තියෙනවා. ඊ-සිග්නේචර් එක ඇත්ත අත්සනක් නෙවෙයි නේද, ඒක නිකම්ම ඉමේජ් එකක් වෙන්න පුළුවන් නේද කියලත් සමහරු අහනවනේ. ඒකට දෙන්න පුළුවන් උත්තරේ මේකයි. දැන් අපි ඉමේජ් එකක් විදියට හරි අපේ අත්සන යොදන එකෙන් අදහස් වෙන්නේ, අපි යම් දේකට අපේ අනුමැතිය දෙනවා කියන එක. එතකොට ඒක එතනින් එහාට වළංගුයි. ඒ කියන්නේ එතනදී කියවෙන්නේ අපි යම් ඩොකියුමන්ට් එකකට අත්සන් කරන්න තියෙන අභිප්‍රාය කියන එක. පැහැදිලියිනේ.
3. වාසි මොනවද?
ප්‍රධානතම වාසියක් වෙන්නේ කාලය ඉතුරු වීම. විශේෂයෙන්ම දැන් අද වෙනකොට කොවිඩ්-19 එක්ක ගොඩක් දෙනෙක් වර්කින් ෆ්‍රොම් හෝම් වගේ සංකල්ප වලට හුරු වෙලා. එතකොට මොකක් හරි ඩොකියුමන්ට් එකක් අපිට ඊමේල් එකක් විදියට කෙනෙක් එවුවහම, ඒක කොහොමද අපි අත්සන් කරල යවන්නේ? සැබෑ අත්සන පාවිච්චි කරනවා නං අපිට ඒ ඩොකියුමන්ට් එක ප්‍රින්ට් අවුට් එකක් අරගෙන, ඊට පස්සේ ඒකේ අත්සන් කරලා, ආයෙමත් ඒ අත්සන් කරපු ඩොකියුමන්ට් එක ස්කෑන් කරලා යවන්න වෙනවා. ඒක වැඩ ගොඩක්. හැබැයි ඊ-සිග්නේචර් එකට යන්නේ සොෆ්ට් කොපි ඩොකියුමන්ට් එක එඩිට් කරන වෙලාවයි මහන්සියයි විතරයි. ඒකෙන් කාලෙ වගේම සල්ලිත් ඉතුරු වෙනවා.
ඒ වගේම ගොඩක් දෙනෙක් ඊ-සිග්නේචර් භාවිතා කරන්න තව හේතුවක් තමයි, ඊ-සිග්නේචර් එකක පෙනුමේ කොලිටිය. ඒ කියන්නේ අතින් සයින් කරපු අත්සනකට වඩා, එක පාරක් අත්සන් කරලා හදාගත්තු ඊ-සිග්නේචර් එකේ ස්වභාවය කාලයත් එක්ක වෙනස් වෙන්නෙ නැහැනේ. ඒකෙන් කොලිටිය වැඩිවෙනවා.
4. කොහොමද හදාගන්නේ?
සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් ඊ-සිග්නේචර් එකක් හදාගන්නේ, සුදු කොළේක අත්සන ගහලා, ඒක ස්කෑන් කරලා ඉමේජ් එකක් විදියට අරගෙන තමයි. සාමාන්‍යයෙන් ඔය ග්‍රැෆික් දන්න කෙනෙක්ට දුන්නහම අත්සන ඉතුරු වෙන්න බැක්ග්‍රවුන්ඩ් එක ට්‍රාන්ස්පේරන්ට් කරලා හදලා දෙනවා.
කොහොම හරි හරියට හදාගත්තු ඊ-අත්සන ප්‍රොෆෙෂනල් විදියට වර්ඩ් ඩොකියුමන්ට් එකකට සයින් කරන්න ඕන වෙලාවට ගන්න විශේෂ ෆීචර්ස් මයික්‍රොසොෆ්ට් ඔෆිස් වල තියෙනවා. මෙතනින් ගිහින් බලන්න කරන විදිය.
ඔය ටච් කම්පියුටර් එකක්, ඒ කියන්නේ ටච් ස්ක්‍රීන් එකක් තියෙන ලැප් එකක් හරි ටැබ් එකක් හරි පාවිච්චි කරනවා නං, එහෙම ගහපු අත්සන උඩින් ගාණට ඇඳලා තව නීට් එකට අත්සන හදාගන්න පුළුවන්. ඕන නං ස්ටයිලස් එකකින් කෙලින්ම අත්සන් කරන්නත් පුළුවන්.
5. කෙලින්ම අත්සන් කරන්නත් පුළුවන්ද?
අපොයි පුළුවන්. මොකද බැරි. විශේෂයෙන්ම දැන් කාලේ ටැබ් උපාංග පාවිච්චි කරන අයට එහෙම බොහොම පහසුවෙන් ඩොකියුමන්ට් එකක සොෆ්ට් කොපි එකේ අත්සන් කරන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? අර තියෙන්නේ ස්ටයිලස් කියලා පෑනක් වගේ ගැජට් එකක්. ඒකෙන් අපිට ටච්ස්ක්‍රීන් එකක් උඩ පෑනකින් ලියනවා වගේම ලියන්න පුළුවන්. ආන්න ඒකෙන් අවශ්‍ය තැන අත්සන් කරන්න තමයි තියෙන්නේ. ඒකත් සැලකෙන්නේ ඊ-සිග්නේචර් එකක් විදියට තමයි. ඒකෙන් අර කලින් කියපු විදියට ඊ-සිග්නේචර් එක දාන්න එඩිට් කර කර ඉන්න වෙලාවත් ඉතුරුයි. හැබැයි ඒකේ ප්‍රශ්නේ වෙන්නේ, හැමවෙලේම එකම අත්සනක් ඉන්සර්ට් නොකර, සෑම වතාවකම ඩිජිටල් ක්‍රමේට වුණත් අපි අතින් අත්සන් කරන නිසා නීට් ගතිය පොඩ්ඩක් අඩුයි.
6. ආරක්ෂාව කොහොමද?
නිකම්ම අපි අත්සන තියෙන ඉමේජ් එක කොපි පේස්ට් කරලා යවන එක නම් ඉතින් ඒ තරම් ආරක්ෂාකාරී නෑ. මොකද එහෙම ඩොකියුමන්ට් එකක් එඩිට් මෝඩ් ගිහින් ඕන කෙනෙක්ට ඒ අත්සන තියෙන ඉමේජ් එක කොපි කරගන්න පුළුවන්. හැබැයි අපි උඩින් කියලා තියෙනවනේ ප්‍රොෆෙෂනල් විදියට කොහොමද වර්ඩ් ඩොකියුමන්ට් එකක් සයින් කරන්නේ කියලා. ආන්න එතකොට එහෙම ඕන ඕන අයට කොපි කරගන්න බැරි විදියට ආරක්ෂිතව අපේ ඊ-සිග්නේචර් එක යොදාලා අත්සන් කරලා ඩොකියුමන්ට් එක යවන්න පුළුවන්. ඒ ඇරෙන්න ඉතින් ඊ-සිග්නේචර් වල ආරක්ෂිත බව තහවුරු කරන්න මුදල් ගෙවලා ගන්න ඕන නොයෙකුත් ආරක්ෂිත උපක්‍රම තියෙනවා. අපිට ඉතින් එච්චර දුර යන්න ඕන නැහැනේ.
7. ප්‍රොෆෙෂනල් විදියට
අපි උඩින් කියපු විදියට මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලට වුණත්, එක්සෙල් වලට වුණත් ඊ-සිග්නේචර් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒක ඇතුළත් කළාට පස්සේ ක්ලික් එකෙන් දෙකෙන් ඕනම ඩොකියුමන්ට් එකක් මයික්‍රොසොෆ්ට් වර්ඩ් හරි එක්සෙල් හරි ඇතුලේ ඕපන් වෙනවා නං ඊ-සිග්නේචර් එක යොදන්න පුළුවන්. එහෙම ඊ-සිග්නේචර් එක නිර්මාණය කරනකොට, අත්සන් කරන කෙනාගේ භාවිතා වෙන නම, එයාව සම්බන්ධ කරගන්න පුළුවන් ඊමේල් ඇඩ්‍රස් එක වගේ දේවලුත් එතනට ලබාදෙන එක වටිනවා. මේ තොරතුරුත් ඊ-සිග්නේචර් එක සෙටප් කරනකොටම ලබාදෙන්න පුළුවන්. ඒ ඇරෙන්න ඊ-සිග්නේචර් එක සෙටප් කරනකොට අපි අත්සන ඩිජිටල් ක්‍රමේට යොදන හැම වතාවකම ඒක යොදපු දිනයත් ස්වයංක්‍රීයව සඳහන් වෙන්න විකල්පයක් තෝරගන්නත් තියෙනවා. ඕන නම් ඒකත් සිලෙක්ට් කරලා තියන්න පුළුවන්. ඒකෙනුත් හොඳ කොලිටියක් එනවා අපේ ඊ-සිග්නේචර් එකට.
හැබැයි තව දෙයක් මතක තියාගන්න ඕන. හොර අත්සන් ගහන එක හිරේ යන්න පුළුවන් වැඩක් වගේම, ඩිජිටල් හොර අත්සන් ගැසීම නැතිනම් ඊ-සිග්නේචර් එකක් අවභාවිත කිරීමත් ඒ විදියටම වැරැද්දක් විදියට සැලකෙන වැඩක්!
Leave a Reply