කොස් කාලෙට හැම ගෙදරකම මුල්ලක අනිවාර්යයෙන්ම එකතු වෙන දෙයක් මේ කොස් ඇට. මේවයින් හදන කෑම හරිම රසයි. මීට කලින් අපි කොස් ඇට රෙසිපි ආටිකල් එකක් ගෙනාවා මතක ඇති. අද අපි කියන්න යන්නෙ කොස් ඇට දාලා හදන්න පුළුවන් කරීස් ටිකක් ගැන. බලන්න මෙතන තියන හැම කරි එකක්ම ඔයාල දන්නවද කියලා.
1. කොස් ඇට සමග කොහිල මාළුව
අවශ්‍ය ද්‍රව්‍ය
- කොහිල මිටියක දළු
- කොස් ඇට කෝප්ප 1
- මිටි කිරි කෝප්ප 1
- දිය කිරි කෝප්ප 1 /2
- තුනපහ කුඩු මේස හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/2
- චොප්කරගත් සුදුළූණු බික් 2
- කපාගත් අමුමිරිස් කරල් 3
- ලියාගත් රතුළූණු ගෙඩි කිහිපයක්
- ලියාගත් රම්පා හා කරපිංචා
- කුරුඳු පොතු කැබැල්ලක්
- සියඹලා යුෂ තේ හැඳි 2
- ලුණු කුඩු ටිකක්
- පොල් තෙල් මේස හැඳි 1
- මුලින්ම කොහිල දළු වල තියන නූල් අයින් කරගන්න. ඒකේ තියන කටු හොඳින් සුද්ද කරලා සෝදලා කුඩාවට කපා ගන්න. ඊළඟට කොස් ඇට අරන්, ඒවා තලලා පොතු ඉවත් කරලා හොඳින් සෝදා ගන්න.
- භාජනයක් අරගෙන ඒකට මිටි කිරි, කොහිල දළු හා පොල් තෙල් හැර අනෙක් සියළුම දේවල් එකතු කරගන්න. දැන් මේ භාජනය ලිපේ තියන්න.
- දියකිරි හොඳින් හිඳිලා කොස් ඇට තැම්බුනාට පස්සෙ වෙනම භාජනයකට පොල් තෙල් එකතු කරලා රත් වුණාම ඒකට තම්බාගත් කොස් ඇට මිශ්‍රණය දාලා හොඳින් තෙම්පරාදු කරන්න.
- විනාඩියකට විතර පස්සේ මිටිකිරි එකතු කරන්න. හොද්ද උතුරන කොට ගින්දර අඩු කරලා කොහිල දළු ටික දාගන්න.
- පියනකින් වහලා හොඳට හිඳෙනකම් මද ගින්දරේ පිසගන්න. ලුණු පදම බලලා ලිපෙන් බාගන්න.
2. කොස් ඇට මිශ්‍ර මෑ කරල් ව්‍යාංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් මෑ කරල් කෝප්ප 1
- කොස් ඇට කෝප්ප 1/2
- ලියාගත් රතුළූණු ගෙඩි 2
- ලියාගත් සුදුළූණු බික් 2
- කපාගත් අමුමිරිස් කරලක්
- රම්පා හා කරපිංචා
- උම්බලකඩ
- මිටි කිරි කෝප්ප 1
- තෙල්
- මිරිස් කුඩු තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/4
- තුනපහ කුඩු තේ හැඳි 1/2
- ලුණු
- ගොරකා කෑලි 2
- කොස් ඇට අරන්, ඒවා තලලා පොතු ඉවත් කරලා හොඳින් සෝදා ගන්න. ඒකට ලුණු හා කහකුඩු දාලා තම්බා ගන්න.
- දැන් භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වෙන්න තියන්න. ඒකට සුදුළූණු, රතුළූණු, රම්පා, කරපිංචා, අමුමිරිස් දාලා තෙම්පරාදු කරගන්න.
- තෙම්පරාදු මිශ්‍රණයට මෑ ටික මිශ්‍ර කරලා තෙලේ බැදෙන්න දෙන්න. ඒ අතරතුර ඒකට ලුණු මිරිස්, කහ, තුනපහ, උම්බලකඩ, ගොරකා දාලා හොඳින් මිශ්‍ර කරමින් තෙලෙන් තෙම්පරාදු කරගන්න.
- ටික වේලාවක් මෑ තෙලෙන්ම තැම්බෙන්න තියලා කොස් ඇට ටික දාලා ඒකට මිටි කිරි ටිකක් දාලා හොඳින් පිසගන්න. මිටි කිරි වලින්ම ව්‍යාංජනය හිඳෙන්න තියලා ලිපෙන් ඉවත් කරගන්න.
3. බැදපු කොස් ඇට මිශ්‍ර කරවල බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය
- කොස් ඇට කෝප්ප 1
- බල කරවල කෑලි 6-7
- පොල් තෙල් ටිකක්
- ලුණු කුඩු
- කපාගත් අමුමිරිස් කරල් 2
- රම්පා හා කරපිංචා
- සියඹලා
- කෑලි මිරිස් තේ හැඳි 1
- තුනපහ තේ හැඳි 1/2
- කහකුඩු තේ හැඳි 1/4
- කොස් ඇට හතරට පළලා පැයක් විතර පෙඟෙන්න තියලා ගැඹුරු තෙලේ බැදගන්න. කරවල ටිකත් හොඳින් සෝදාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
- තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට ළූණු, අමුමිරිස්, රම්පා, කරපිංචා, සියඹලා දාලා කෑලි මිරිස්, තුනපහ, කහකුඩු දාලා කරවල ටික දාලා කලවම් කරන්න.
- අන්තිමට බැදපු කොස් ඇට ටිකත් දාලා හොඳින් කලවම් කරන්න. ලුණු අවශ්‍ය නම් විතරක් දාගන්න.
4. සාරණ සමග කොස් ඇට මිශ්‍ර මාළුව
අවශ්‍ය ද්‍රව්‍ය
- පිරිසිදු කරගත් සාරණ මිටියක්
- සුද්ද කර තලාගත් කොස් ඇට කෝප්ප 1/2
- කපා ගත් රතුළූණු ගෙඩි 2
- කරපිංචා ටිකක්
- අමුමිරිස් කරල් 2
- කහකුඩු තේ හැඳි 1/4
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- තුනපහ කුඩු තේ හැඳි 1/2
- ලුණු ටිකක්
- කුරුඳු පොතු කෑල්ලක්
- මිටිකිරි කෝප්ප 1
- දියකිරි කෝප්ප 1
- මුලින්ම කොස් ඇට ඇතිලියකට දාලා මිරිස් කුඩු, තුනපහ කුඩු, කහකුඩු, ලුණු කුඩු හා කුරුඳු, කපා ගත් රතුළූණු, අමුමිරිස්, කරපිංචා දමා දිය කිරෙන් උයා ගන්න.
- ඒක හොඳට තැම්බුනාම අතින් කෑලි කඩා ගත් සාරණ ඒකට එකතු කරලා මිටිකිරි ටිකක් දාලා හින්දවා ගන්න.
5. කොස් ඇට බීට් කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
- බීට් ගෙඩි 2
- කොස් ඇට කෝප්ප 1/2
- රම්පා හා කරපිංචා
- ලියාගත් රතුළූණු ගෙඩි 2
- කපාගත් අමුමිරිස් කරල් 2
- ලියාගත් සුදුළූණු බික් 2
- කහකුඩු තේ හැඳි 1/4
- මිරිස්කුඩු තේ හැඳි 1
- තුනපහකුඩු තේ හැඳි ½
- උළුහාල් තේ හැඳි ½
- කුරුඳු පොතු කෑල්ලක්
- එනසාල් ඇටයක්
- මිටිකිරි කෝප්ප 1
- කොස් ඇට සුද්ද කරලා, තලලා, සෝදලා වතුර, කහ හා ලුණු ටිකක් දාලා තම්බගන්න.
- බීට් හීනියට ලියලා වතුර ටිකක් දාලා කහකුඩු, මිරිස්කුඩු, තුනපහකුඩු, ළූණු, සුදුළූණු, රම්පේ හා කරපිංචා, එනසාල්, කුරුඳු හා උළුහාල් දාලා ලිපේ තියන්න.
- බීට් තැම්බුනාම මේකට තම්බාගත් කොස් ඇට ටික දාලා මිටිකිරි දාලා උතුරවගන්න. රස අනුව ලුණු දාගන්න. හිඳෙනකල් ලිපේ තියල ඉවත් කරගන්න.
6. කොස් ඇට නිවිති ව්‍යාංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
- නිවිති කොළ මිටියක්
- අමුමිරිස් කරල් 2
- සුදුළූණු බික් 2
- රතුළූණු ගෙඩි 2
- සියඹලා ටිකක්
- කහකුඩු තේ හැඳි 1/4
- තුනපහ කුඩු තේ හැඳි 1
- නිවිති කොළ අරන් ලුණු ටිකක් දාලා ටික වේලාවක් තියන්න. ඒ ටික හොඳින් සෝදල පිරිසිදු කරගන්න.
- ඊළඟට කොස් ඇට වල පොතු ඉවත් කරලා හොඳින් පිරිසිදු කරගන්න. කුඩා කෑලි වලට කපා ගන්න.
- භාජනයක් අරගෙන ඒකට කපා ගත් කොස් ඇට ටික දාලා ඒකට කහකුඩු, තුනපහ කුඩු, ලුණු කුඩු හා වතුර ටිකක් දාලා තැම්බෙන්න තියන්න.
- කොස් ඇට හොඳින් තැම්බුනාම ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා මිටි කිරි ටිකක් දාන්න. හොඳින් පිස ගන්න.
- උතුරන කොට සාරණ, කපා ගත් අමුමිරිස්, සුදුළූණු, රතුලුණු හා සියඹලා ඒකට දාගන්න. කිරි උකු වෙනකල් හැඳිගාන්න.
7. කොස් ඇට මිශ්‍ර තම්පලා
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්පලා මිටියක්
- තම්බා ගත් කොස් ඇට කෝප්ප 1
- ලොකු ළූණු ගෙඩි 1/2
- සුදුළූණු බික් 2
- අමුමිරිස් කරල් 2
- තුනපහ කුඩු තේ හැඳි 1/2
- කහකුඩු තේ හැඳි 1/4
- සූදුරු තේ හැඳි 1/4
- ලුණු කුඩු ටිකක්
- මිටිකිරි කෝප්ප 1
- භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් වෙන්න තියන්න. ඊළඟට ඒකට කපාගත් ලුණු, අමුමිරිස් හා සුදුළූණු දාගන්න. හොඳින් තෙම්පරාදු කරගන්න.
- හොඳින් තෙම්පරාදු වුණාම ඒකට තම්බා ගත් කොස් ඇට එක් කරලා කලවම් කරන්න. ඒකට තුනපහ කුඩු, සූදුරු, කහකුඩු, ලුණු කුඩු දමා නැවත කලවම් කරන්න.
- ඒකට තම්පලා කොළ ටික දමා ගන්න. හොඳින් කලවම් කරලා විනාඩි 5ක් විතර පියන වහලා පිසගන්න.
- ඊළඟට ඒකට මිටිකිරි දාලා නැවත විනාඩි 3ක් විතර පියන වහලා පිසගන්න.
Leave a Reply