ජනගහණය මෙන් කිහිප ගුණයක් කොරෝනා එන්නත් ඇනවුම් කරගත් ඕස්ට්‍රේලියාව

අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙළ හිතුව තරම් ඉක්මන් නැහැ. දැනට අපේ රටට සයිනොෆාම් චීන එන්නත, ස්පුට්නික් රුසියානු එන්නත සහ ඉන්දියාවෙන් පැමිණි ඇස්ට්‍රාසෙනකා එන්නත ලැබී තිබෙනවා. ඒත් තවමත් බහුතරයක් එන්නත් කර තිබෙන්නේ බස්නාහිර පළාතේ විතරයි. දියුණු රටවල හරි ලස්සන වටපිටාවන් වල පහසුවෙන් ගිහින් වෙලාව වෙන් කරගෙන, එන්නත විදගන්න පුළුවන්. ඒත් ලංකාව තුන්වෙනි ලෝකේ රටක් නිසාදෝ හෝ මිනිසුන්ට වරුවක් විතර පෝලිමේ ඉඳලා තමයි එන්නත ගන්නට වුණේ. ඉතින් අපි ඕස්ට්‍රේලියාවේ තත්ත්වය ටිකක් සොයා බලමු.

 

 

1. ඇනවුම් කරලා තියෙන වැක්සීන් ප්‍රමාණය

දැනට සැලසුම් කර ඇති ඕස්ට්‍රේලියානු එන්නත් වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා මිලියන 170ක් පමණ ලැබෙන්නට නියමිතයි. ඒවා බෙදී යන්නේ මෙසේයි. 

  • ඇස්ට්‍රාසෙනකා මිලියන 53.8
  • ෆයිසර් එන්නත් මිලියන 40
  • නෝවාවැක්ස් මිලියන 51 (තවම අනුමත කරන මට්ටමේ ඇති)
  • මොඩර්නා මිලියන 25

මිලියන විසිපහකට ආසන්න ඕස්ට්‍රේලියානු ජනතාවට ජනගහණය මෙන් කිහිප ගුණයක් වැක්සීන් ඇනවුම් කර තිබෙන බව මෙයින් පෙනී යනවා.

 

 

2. ඇස්ට්‍රාසෙනකා බෙදා ගැනීම

මෙයින් ඇස්ට්‍රාසෙනකා එන්නත මගින් කලාතුරකින් ඇතිවන රුධිර කැටිගැසීමේ තත්ත්වයන් වාර්තා වීමත් සමග ලොව පුරා ඒ ගැන කතා බහ ඇතිවුණා. ඇතැම් දියුණු රටවල් හදිසියේම ඇස්ට්‍රාසෙනකා එන්නත් දීම අත්හිටෙව්වා. එයින් එක රටක් තමයි ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාව වරක් තමුන්ට ලැබෙන මේ අතිරික්ත එන්නත් සිය යාබද දුප්පත් රටක් වන පැපුවා නිව්ගිනියාව සමග බෙදාගන්නටද කටයුතු කළා. ඒ අනුව ඕස්ට්‍රේලියාවට ලැබෙන්නට නියමිත ඉතිරි ඇස්ට්‍රාසෙනකා එන්නත් ප්‍රමාණය දුප්පත් රටවල් සමග බෙදා ගනීය යන විශ්වාසය තියෙනවා. දැන් ඇස්ට්‍රාසෙනකා කැමති අයට ගන්න පුළුවන් වුවත් එය වඩාත්ම අවුරුදු 50න් ඉහළ අයට තමයි ඕස්ට්‍රේලියාවේ රෙකමන්ඩ් කරලා තියෙන්නේ.

 

 

3. මොඩර්නා වැක්සීන් 

මොඩර්නා සමාගම ඇමරිකානු එකක්. එය ෆයිසර් තරම් ලොකු එකක් නෙමෙයි. මොඩර්නා වලින් ඇනවුම් කළ එන්නත් වලින් මිලියනයක් පමණ 2021 ඔක්තෝම්බර් වල ඕස්ට්‍රේලියාවට ලැබෙන්නට නියමිතයි. ඒ එන්නත ෆයිසර් වගේම එම් ආර් එන් ඒ තාක්ෂණයෙන් හැදුන එන්නතක්. එහි අතුරු ආබාධ අඩුයි. ඒත් ෆයිසර් එක්ක සැසඳීමේදී එහි යම් අතුරු ආබාධ ටිකක් තියෙන බවක් වාර්තා වෙනවා. ඒ එන්නත සෙල්සියස් සෘණ 20 අගයේ ගබඩා කරන්නට ඕනි. ෆයිසර් එන්නත ගබඩා කරන්න ඕනි උෂ්ණත්වය එක්ක බලද්දි එය පහසු තත්ත්වයක් වෙනවා. කොහොම වුණත් ඒ එන්නත වුවත් 2022 වර්ෂයේදී තමයි එන්නට නියමිත වෙලා තියෙන්නේ. ඒ වගේම මේ එන්නත් වලින් අලුතින් හැදෙන කොවිඩ් ප්‍රභේද වලට අදාළ බූස්ටර් ශොට්ස් නිකුත් කරන්නත් දැනට ඕස්ට්‍රේලියාව සැලසුම් කරලා තියෙනවා.

 

 

4. බූස්ටර් ශොට්ස් ඇනවුම් කිරීම

සාමාන්‍ය එන්නත් වලට අමතරව මිලියන 25ක පමණ බූස්ටර් ශොට්ස් මොඩර්නා සමාගමෙන් ඕස්ට්‍රේලියාව ඇනවුම් කරලා තියෙනවා. ඒවායෙන් කොවිඩ් වල දැන් සහ අනාගත ප්‍රභේද වලට ප්‍රතිශක්තිය ලබාදෙන්න ඔවුන් අදහස් කරනවා. එය ඇත්තටම මේ වසරේ නෙමෙයි ලැබෙන්නේ ලබන වසරේ. ඒත් එන්නත් වලට තිබෙන ඉල්ලුම එක්ක දැනටම දකුණු අප්‍රිකා සහ බ්‍රසීලියානු වර්ග වලට සහ අනාගත කොවිඩ් වර්ග වලට සරිලන ආරක්ෂාව මේ 2022 බූස්ටර් ශොට්ස් මගින් ලැබේවිය කියන විශ්වාසය තියෙනවා.

 

 

5. වැක්සීන් මිශ්‍ර කිරීම

ජොන්සන්ස් ඇරුනාම අනෙක් එන්නත් වලට මාත්‍රා දෙකක් හෝ ඊට වඩා අවශ්‍ය වෙනවා. ලංකාවට වුණා වගේ පළමු මාත්‍රාව දුන්නට පස්සේ දෙවන මාත්‍රාව එන්නේ නැති හෝ එය අනවශ්‍ය වගේ වුණොත් දෙවන එකක් ගහන්න පුළුවන්ද කියලා ඕස්ට්‍රේලියාවේත් තවමත් සොයා බලමින් යනවා. එක්සත් රාජධානියේ නම් පළමු ඇස්ට්‍රාසෙනකා මාත්‍රාව ලබාගත් අයට දෙවන වරට ෆයිසර් හෝ මොඩර්නා ලබා දිය හැකිද කියලා අධ්‍යයනයක් කෙරිලා තියෙනවා. එහෙම වුණොත් වැක්සීන් වල මාත්‍රාව වගේම මාත්‍රා දෙකක් අතර තියෙන කාල වෙනස ගැනත් අලුත් දත්ත සොයාගන්නට විද්‍යාඥයන්ට සිදු වේවි කියලා ඕස්ට්‍රේලියාවෙත් සෞඛ්‍ය අංශ කතා වෙලා තිබුණා.

 

 

6. ඒ ඒ ඒවා ලැබෙන අය

වික්ටෝරියා ප්‍රාන්ත වැක්සීන් කටයුතු නම් ෆයිසර් වලින් දැනටම ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව වයස 50ට අඩු අයට තමයි එන්නත මුලින්ම දෙන්න ඉන්නේ. ඒ වගේම ආබාධිත අයට, මානසික රෝගී වැඩිහිටියන්ට, වයස 70ට වැඩි අයට සහ අවදානම වැඩි හමුදා සහ හදිසි අංශවලට වැක්සීන් එක ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. මේ එන්නත් වැඩ සටහනේදි අදාළ වයස කාණ්ඩයට ඇතුළත් නැති වුණත් ටැක්සි රියදුරන්ට, රයිඩ් ශෙයාර් කරන අයට, පොදු ප්‍රවාහන සේවකයින්ට මේ වැක්සීන් මුල් වටයෙදිම ලබා දෙන්න වික්ටෝරියා බලධාරීන් ක්‍රියාකරනවා. එහිදී වැක්සීන් ගහන අයට ලංකාවේ වගේ පෝලිමේ නොඉඳ වැක්සීන් ගන්න අදාළ වෙලාව වෙන්කරගන්න පහසුව තියෙනවා. එය දුරකථන ඇමතුමකින් වුණත් කරගන්න පුළුවන් ලේසි වැඩක්. වික්ටෝරියා ප්‍රාන්තයේ දැන් ඇස්ට්‍රාසෙනකා වැක්සීන් ඕන වෙලාවක ගහන්න පුළුවන් විදිහට වැක්සිනේශන් සෙන්ටර් වල තියෙනවා. ඒක ගහන්නේ වයස 50ට වැඩි අයට.

 

 

7. වැක්සින් ඒම ප්‍රමාද වීම

ඕස්ට්‍රේලියාව සාපේක්ෂව කොරෝනා පැතිරීම අඩු රටක්. ඔවුන් දැඩි නීති රෙගුලාසි මගින් ඉන්දියාවේ සිට ගුවන් මගීන් ඒමත් නවතා දැම්මා. ඉතින් පැතිරීම අවම කරගන්නට සමත් වුණත් ඕස්ට්‍රේලියාවටත් වැක්සීන් නිසි කලට ලැබුණේ නැහැ. මැයි මැද වනවිට ඕස්ට්‍රේලියානු ජනතාව මිලියන 3.5කට ආසන්න ප්‍රමාණයකට එක් වැක්සීන් මාත්‍රාවක් හෝ ලැබී තිබුණා. එන්නත් නිපදවීම ගැන ලෝකය පුරා විවිධ කඹ ඇදීම් තිබුණා. ඒ වගේම ඇස්ට්‍රාසෙනකා එන්නත ගැන ඇති වූ යම් යම් අතුරු ආබාධ, සාංකාවන් නිසාත් එන්නත් කරන වැඩපිළිවෙළ ටිකක් පමා වුණා.

 

අපේ රටේ ඇති හැකි ඉසුරුමත් අය ගොඩක් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ඒ වගේම ලංකාවේ නමගිය ව්‍යාපාරිකයින්, දේශපාලකයින් නිවාඩු ගත කරන්න එහෙමත් ඕස්ට්‍රේලියා රටට යනවා. ඕස්ට්‍රේලියාවට ලංකාවේ අය වැඩි නිසාද මන්දා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්නට එපා කියලා දැන්වීම් පළකිරීමත් සිද්ද වුණා. ඉතින් ඒ කොයි හැටි වුණත් වැක්සීන් අනුමත කිරීම, ඒවා එන්නත් කරන වැඩපිළිවෙළ වගේම කොරෝනා මර්දනයත් ඔසී රට අපිට වඩා හොඳට කරනවා. අපි දුප්පත් රටක් තමයි. ඒත් විශාල රාජ්‍ය සේවයක් තිබෙන අපිට “අපි තමයි හොඳටම වැක්සීන් කළේ” කියලා කියන්න පුළුවන් මට්ටමට ඉදිරියේදිවත් එන්නත් කරන වැඩපිළිවෙලක් වුණොත් හොඳයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *