පාරේ අනතුරක් දැක්කහම කරන්න, හැසිරෙන්න ඕනේ කොහොමද?

රිය අනතුරක් කිව්වම අපේ ඔළුවට ඉස්සෙල්ල එන්නේ වාහන තදබදයක් එක්ක මිනිස්සු ඒකරාශී වෙලා ඉන්න තැනක් ගැන. හැබැයි රිය අනතුරක් හෝ මාර්ගයේ මොනයම්ම විදිහේ අනතුරක් හරි සිදුවුණ ස්ථානයක් ඒ වගේ තැනක් වෙන්නේ අපේ තියෙන නොදැනුවත්කම නිසා. එහෙම නැත්නම් අනතුරු ස්ථානයක් කියන්නේ විනාඩි කිහිපයකින් සම්පූර්ණයෙන් ක්ලියර් වෙන්න ඕන දෙයක්.  හැබැයි අපේ පාරවල් වල ස්වභාවයත් මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයත් එක්ක එහෙම ක්ලියර් වීමක් ඒ තරම් ප්‍රයෝගික නෑ. කොහොම උනත් පාරේ එහා මෙහා යන කෙනෙක් විදිහට පාරේ අනතුරක් වෙලා තියෙනවා කියල දැක්කොත් මෙන්න මේ විදිහට හැසිරුනොත් ඒක ඔබේ වගේම අනිත් හැමෝගෙමත් යහපතට ලොකු උදව්වක් වේවි.

 

 

1. තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න

එක අනතුරක් වෙලා ඒකට උදව් කරන්න ගිය අය අනතුරට පත් වෙන අවස්ථා ගොඩක් අපි අහල තියෙනවා. ඒක රිය අනතුරු වලදී වගේම අනෙකුත් අනතුරු වලදීත් දකින්න ලැබෙන දෙයක්. ඒ නිසා අනතුරක් වෙලා තියෙනවා කියල දැක්කොත් දැක්ක පමණින් එතනට සම්බන්ධ වෙන්න උත්සහ කරන්න එපා. එතන ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනවද කියල පොඩි අදහසක් ඇති කරගන්න. මොකද පාරවල් වල සිදුවෙන හුඟක් අනතුරු වලින් පස්සේ ඒවා සම්බන්ධ කලකෝලහාල ඇතිවෙන අවස්ථා අපි ඕනතරම් දැකල තියෙනවා.  එහෙම ගැටළුවක් තියෙන බවක් පේනවා නම් ඊට අදාළ බලයලත් අධිකාරීන් දැනුවත් කිරීමයි සුදුසුම දේ. ඒ වගේම අනතුරටම සම්බන්ධ වෙනත් කාරණා නිසා ඒ ස්ථානය ආනාරක්ෂිත වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට විදුලි රැහැන් කණුවක් වාහනයක් උඩට වැටිලා අනතුරක් වෙලා නම් එතන විදුලි කාන්දු වීමක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තැනකට එක පාරට සම්බන්ද වෙන්න එපා. කල යුතු වෙන්නේ විදුලි බල මණ්ඩලය දැනුවත් කිරීමයි. 

 

 

2. නීතියට අනුකුලව හැමදේම

අනතුරක් කියල කියන්නේ බොහෝ වෙලාවට සෘජුවම නීතිය එක්ක සම්බන්ධ වෙන සිදුවීමක්. ඒ නිසා ඔබ රිය අනතුරකට මුහුණ දීපු කෙනෙක් නම් හෝ ඊට උදව් කරන්න ගිය කෙනෙක් නම්, ඔබ කරන සියළු දේම නීතියට ගැටළුවක් නොවෙන විදිහට කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඔබට රිය අනතුරට පත් වෙච්ච පාර්ශ්වයන් බලහත්කාරයෙන් සමථ කරන්න වගේ දේවල් කරන්න බෑ. ඒ වගේම රිය අනතුරට අදාළ දේවල් සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ වෙනස් කරන්න කියල අනුබල දෙන්න බෑ. අනික වාහන ඉවත් කරන එක පවා ළඟම පොලිස් ස්ථානයේ මැදිහත් වීමෙන් කළොත් තමයි සුදුසු. ඒ වගේම රිය අනතුරක් නොවෙන වෙනත් අනතුරක් උනත් ඒ කිව්වේ පුද්ගලයින් අතරේ ගැටුම්, ගහ බැනගැනීම් වගේ උනත් ඔබ මැදිහත්වෙලා නොදැනුවත්ව කරන දේවල් වලින් ඒ ස්ථානයේ තියෙන අත්‍යාවශ්‍ය සාක්ෂි වලට හානිවෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන හොඳ අවධානයෙන් කටයුතු කරන්න. 

 

 

3. අත්‍යාවශ්‍යම නොවේනම් නවතින්න එපා

අනතුරක් සිදුවුණ ස්ථානයක් පසුවෙන සෑම අවස්ථාවකම ඔබ අනිවාර්යයෙන්ම එතන නවතින්න ඕනමයි කියල නීතියක් නැහැ. ඔබේ සහභාගීත්වය අවශ්‍ය නැති වෙලාවක්නම් දැක්කෙ නැහැ වගේ ගියාට කමක් නැහැ. ඒ මෙන්න මෙහෙමයි. පාරේ සිදුවෙලා තියෙන අනතුරක් දකින මුල්ම කෙනා, ඒ අනතුර පහුකරගෙන යන මුල්ම කෙනා ඔබනම් ඔබේ උදව් ඒ අයට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්න පුළුවන්. ඔබේ ඉක්මන් ඉදිරිපත්වීමෙන් ජීවිතයක් බේරෙන්න උනත් පුළුවන්. හැබැයි අනතුරක් වෙලා දැනටමත් ඒ වටේ සෑහෙන්න සෙනඟ පිරිලා ඉන්න අවස්ථාවක්නම් තව තව සෙනඟ පිරෙන එකෙන් රෝගීන්ට අපහසුවක්, පරීක්ෂණ වලට අපහසුවක් වගේම සාක්ෂි වලට හානියක් වෙන්නත් පුළුවන්.

 

 

4. නරඹන්නෝ අවශ්‍ය නැහැ

අපේ කට්ටිය කරන ඊළඟ නරකම වැඩේ තමයි මේක. පාරේ අනතුරක් වෙලා තියෙනවනම් ඒ වටේ අනතුර බලන්න වටවෙන පිරිස තමයි වැඩි. අනතුරට පත්වෙලා ඉන්න අයට අවශ්‍ය වාතාශ්‍රයවත් නොලැබෙන්න වටේටම සෙනඟ. ඊළඟ නරක වැඩේ තමයි යන එන වාහන ඇතුළේ ඉඳගෙනම ඒවා ස්ලෝ කරලා අනතුර නරඹන එක. ඒකෙන් වෙන්නෙ පාරේ අනවශ්‍ය ට්‍රැෆික් එකක් ඇතිවෙන එක. ඉතින් ට්‍රැෆික් එක පාලනය කරන්නත් ආයෙත් පොලීසියෙන් ගෙන්නන්න වෙනවා. 

 

 

5. තුවාලකරුවන්ගේ පරිස්සම

අනතුරක් සිදුවුණ ස්ථානයක තුවාලකරුවන් ඉන්න පුළුවන්. දැක්ක ගමන්ම අපිට හිතෙන්නෙ ඔවුන්ව රෝහලකට අරන් යන්න ඕන කියන එක තමයි. හැබැයි අනතුරේ ස්වභාවය අනුව අපි හිතුමතේට ඔවුන්ව වාහන වලට උස්සලා දාගන්න යන එකෙන්, ගැස්සි ගැස්සී වාහනයක අරන් යන එකෙන් අනතුරේ හානිය තවත් වැඩිවෙන්න පුළුවන්. මේ වෙලාවට ප්‍රථමාධාර දන්න කෙනෙකුගේ උදව් ගන්න පුළුවන්නම් තමයි හොඳ. එහෙම බැරිම අවස්ථාවකනම් කිහිප දෙනෙක් ඉක්මනින් සාකච්ඡා කරල රෝගියාට හානි නොවෙන හොඳම ක්‍රමයට ලඟම රෝහලකට අරගෙන යන එක තමයි වැදගත්ම. 

 

 

6. අනතුරට පත්වුණ අයගේ ආරක්ෂාව

ඒ වගේම තමයි අනතුරට පත්වුණ පාර්ශවයන් මේ වෙලාවේ ඉන්නෙ බොහොම අසරණ තත්ත්වයක. ඔවුන් සතු වාහනේ යතුරු, මිල මුදල්, පසුම්බි, ආභරණ වගේ වටිනා කියන දේවල් වලට ඇහැ ගහගෙන මේ තැනට එන අයත් මේ ලංකාවේ නැතුවා නෙමෙයිනේ. මතකනේ සුනාමි ව්‍යසනය වෙලාව. ඒ නිසා ඔබ එතනට උදව්වට යනවනම් ඒ ගැනත් අවධානය යොමු කරන්න. රෝගීන් ඉන්නවනම් ඔවුන් රෝහලට ගෙනිච්චට පස්සෙ උනත් ඔවුන්ගේ වටිනා කියන දේවල් පරිස්සමට ඔවුන්ගේ විශ්වාසවන්ත කෙනෙකුට හෝ පොලිස් නිලධාරියෙකුට බාරදෙන්න.

 

 

7. හදිසි ඇමතුම් සේවා සහය ලබාගන්න

ඊළඟ වැදගත්ම දේ තමයි මේක. අනතුරක් සිදුවුණ තැනකට ඔබ ගියපු ගමන්ම එතන පරිසරය බලන්න, අනතුරට හේතුව හොයන්න, ලෙඩ්ඩුන්ව උස්සන්න යන්න කලින් රජයේ හදිසි ඇමතුම් අංක වලට අනතුර දැනුම් දීලා ඉන්න. 119 පොලිස් ඇමතුම් අංකයට, ගින්නක් වගේනම් ගිනි නිවීමේ ඒකකයට, රෝගීන් ඉන්නවනම් 1990 සුවසැරිය ගිලන්රථ සේවයට වගේ අත්‍යවශ්‍ය ස්ථාන වලට දැනුම් දෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *