අපි අද කතා කරන්න යන මාතෘකාව තරමක් දුරට ලංකාවටත් අදාළ වෙන මාතෘකාවක්. ඒ තමයි ලෝකය පුරා තමන්ගේ රටට සහ ජනතාවට විරුද්ධව විවිධ දූෂිත ක්‍රියාමාර්ග වල යෙදිලා අවසානයේදී නීතියෙන් බේරිලා ජීවත්වෙන්න සමත් වෙච්ච රාජ්‍ය නායකයෝ කීපදෙනෙක් ගැන. ලංකාවෙ ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට අපේ රාජ්‍ය නායකයන්ට තියෙන චෝදනා ඔප්පු වෙච්ච චෝදනා නම් නෙමෙයි. හැබැයි අපි අද මේ ආටිකල් එකට ඇතුළත් කරලා තියෙන්නේ යම් අධිකරණයක් මගින් වැරදිකරුවන් ලෙස නිගමනය කිරීමෙන් පසුව වුණත් නීතියේ රැහැනින් බේරී සාමාන්‍ය ජීවිතයක් ගත කොට අවසානයේදී මියගිය රාජ්‍ය නායකයෝ කීපදෙනෙක් ගැන.
1. බෙන් අලි (Zine El Abidene Ben Ali)
අරාබි වසන්තයේ ප්‍රතිඵලයක් විදිහට 1987 ඉඳන් 2011 දක්වා ටියුනීසියාවේ ජනාධිපතිවරයා විදිහට කටයුතු කරපු බෙන් අලීට තම ධූරය අහිමිව ගියා. ඔහු ජනාධිපති ධූරයට පත් වන්නේත් කුමන්ත්‍රණයක් මගින්. නමුත් ඔහු ඉන් අනතුරුව පැවති සෑම ජනාධිපතිවරණයකින්ම පාහේ සියයට අනූවකට එහා ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබුණා. කෙසේ නමුත් 2011 වසරේ දී ඇතිවූ දේශපාලන නොසන්සුන්තාවයේ ප්‍රතිඵලයක් විදිහට ඔහු සිය පවුල සමඟ සෞදි අරාබියට පළා ගියා. ටියුනීසියානු අධිකරණය විසින් රජයේ මුදල් අපහරණය කිරීමේ චෝදනාව මත ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පනවනු ලැබුවත්, දශකයකට ආසන්න කාලයක් සෞදි අරාබියේ ගතකළ බෙන් අලී එහිදී වයස අවුරුදු 83ක් ආයු වළඳා මිය ගියා.
2. පැස්කල් ලිසෝව්බා (Pascal Lissouba)
කොංගෝ සමූහාණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට පත්වූ පළමු ජනාධිපතිවරයා වූ පැස්කල් ලිසෝව්බාගේ පදවිප්‍රාප්තියම එරට තුළ යම් නොසන්සුන්තාවයක් ඇති කිරීමට සමත්ව තිබුණා. අවසානයේදී එහි ප්‍රතිඵලය වූයේ රට නැවතත් සිවිල් යුද්ධයක් කරා ඇදීයාමයි. තම පාක්ෂික හමුදා පරාජයට පත්වන බව වටහාගත් ලිසෝව්බා ලන්ඩනය වෙත පළා ගියා. කෙසේ නමුත් කොංගෝවේ අධිකරණයක් මගින් දූෂිත වෙළඳ ගනුදෙනුවක් සඳහා මැදිහත් වීමේ චෝදනාව මත වසර 30ක සිරදඬුවමක් ඔහුට පනවනු ලැබුවා. නමුත් පසුගිය වසරේදී වයස අවුරුදු අසූ අටක් ආයු වැළඳූ ලිසෝව්බා ප්‍රංශයේදී මියගියේ කිසිඳු ආකාරයේ සිර දඬුවමක් නොලබාමයි.
3. මොබුටු සීසේ සෙකෝ (Mobutu Sese Seko)
කොංගෝවට නිදහස ලබා ගැනීම සඳහා සුවිශාල වැඩ කොටසක් ඉටු කළ ලුලුම්බා ඝාතනය කිරීමට බෙල්ජියම, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල රහස් ඔත්තු සේවාවල උපදෙස් පරිදි කටයුතු කළ මොබුටු එරට අසහාය පාලකයා බවට පත්වුණා. 1997 දක්වා දූෂණය ඉහවහා ගිය පාලන තන්ත්‍රයක් එරට තුළ ස්ථාපිත කළ මොබුටුව අවසානයේ දී පරාජය කිරීමට කැරළිකාර හමුදා සමත් වුණා. කෙසේ නමුත් මොරොක්කෝව වෙත පළා ගිය මොබුටු, මාස තුනකට පසුව මිය ගියේ සිය කිසිදු අපරාධයකට දඬුවමක් නොලබායි.
4. සයඩ් බාරේ (Siad Barre)
සෝමාලියාව විනාශය කරා ඇද දැමූ පාලකයා ලෙස සයඩ් බාරේ ඉතිහාසයේ කුණු බක්කියට යැවිය යුතු චරිතයක් වනවා. හමුදා කුමන්ත්‍රණයක් මගින් එරට බලය අල්ලා ගත් ඔහු එරට කොමියුනිස්ට්වාදී අදහස් අනුව පාලනය කිරීමට උත්සාහ කරන කරනු ලැබුවා. ආඥාදායක පාලනයක් ගෙන ගිය ඔහු විසින් ජන සංහාර කීපයක් සඳහාද අණ නිකුත් කොට තිබුණා. 1991 දී ඇති වූ සිවිල් යුද්ධයේදී ඔහු සෝමාලියාවේ මොගඩිෂු අගනුවරින් පළා ගියේ එරට මහ බැංකුව සතු රත්රන් සහ විදේශ මුදල් සංචිත ද සමගින්. එහි වටිනාකම ඩොලර් මිලියන 27ක් පමණ වන බව කියවෙනවා. කෙසේ නමුත් ඔහුට එරෙහිවද නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු අතර 1995 දී නයිජීරියාවේදී සයඩ් බාරේ මියගියා.
5. එරික් හොනකර් (Erich Honecker)
නැගෙනහිර ජර්මනියේ අවසාන පාලකයා වූ එරික් හොනකර් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෝවියට් පාලනය රූකඩයක්. ඇතැම් අවස්ථාවල ඔහු සෝවියට් පාලකයන්ටත් වඩා මාක්ස්වාදී අදහස් වල ගැත්තෙක් වුණා. ගොර්බචෙව් විසින් සෝවියට් රුසියාව තුළ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ නැගෙනහිර ජර්මනිය තුළ සිදු කිරීමට ඔහු ඉඩ දුන්නේ නැහැ. කෙසේ නමුත් අවසානයේ දී බර්ලින් තාප්පය බිඳ වැටී ජර්මනිය එක්සත් වූ අතර එරික් හොනකර් චිලී රාජ්‍යයේ දේශපාලන රැකවල ලබාගැනීමට උත්සාහ කරනු ලැබුවා. ජර්මනිය විසින් මොහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළත් ඒ වන විට ඔහු පිළිකා රෝගයෙන් පෙළීම නිසා එම අපරාධ චෝදනා ඉවත්කරගෙන චීලී දේශය වෙත යෑමට ඔහුට අවස්ථාව ලබා දුන්නා. 1994 දී ඔහු මිය ගියෙත් කිසිදු දඬුවමක් නොලබාමයි.
6. ඇල්ෆ්‍රෙඩෝ ස්ට්‍රෝසනර් (Alfredo Stroessner)
1954 සිට 1989 දක්වා කාලය තුළ පැරගුවේ දේශය ඒකාධිපතියෙකු ලෙස පාලනය කළ ඇල්ෆ්‍රොඩෝ එරට බලය අල්ලා ගත්තේ හිටපු ජනාධිපතිවරයාව ධුරයෙන් පහ කරමින්. කෙසේ නමුත් ලොවම පුදුමයට පත්කරමින් ඉන් පසුව පැවති සෑම ජනාධිපතිවරණයකින්ම අති දැවැන්ත වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් වුණා. රජයට කැමති ඕනෑම පුද්ගලයෙකු හේතුවක් නොදන්වා අත්අඩංගුවට ගත හැකි වන ආකාරයෙන් නීති සකස් කළ ඔහු එරට වැසියන්ගේ සියළු මානව අයිතිවාසිකම් නැති වන ආකාරයෙන් කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් අවසානයේ දී තවත් කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරනු ලැබූ ඇල්ෆ්‍රඩෝ සිය ජීවිතයේ ඉතිරි වසර 17 බ්‍රසීලයේ දේශපාලන රැකවරණ ලබා ගනිමින් ගත කළා.
7. ෆර්ඩිනන්ඩ් මාකෝස් (Ferdinand Marcos)
ආසියානු කලාපයේ දූෂිතම රාජ්‍ය නායකයෙකු ලෙස සැලකෙන ෆර්ඩිනන්ඩ් මාකෝස් ප්‍රකටව සිටින්නේ තනිව පමණක් නොව පවුලක් ලෙස පිලිපීනයේ මුදල් රිසි සේ අවභාවිතා කළ පුද්ගලයෙකු විදිහටයි. ඔහුගේ බිරිඳ වන ඉමෙල්ඩා මාකෝස්ගේ අධි සුඛෝපභෝගී ජීවිතය පිළිබඳව ලොව පුරා ජනමාධ්‍ය ඇති තරම් කතා කොට තිබෙනවා. කෙසේ නමුත් මැතිවරණ පරාජයකින් පසුව පිලිපීනයේ මාකෝස් පාලනය නිම වූ අතර එතැන් පටන් මරණය දක්වා මාකෝස්ගේ වාසස්ථානය වූයේ හාවායිහි අගනුවර වන හොනලුලුයි. මාකෝස් මිය ගිය ද ඔහුගේ පවුල සතුව පිලිපීනයෙන් කොල්ලකෑ වත්කම් ඒ ආකාරයෙන්ම පවතිනවා.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය කියවල බලල ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply