Potty Training හෙවත් පුංචි දරුවෙකුව නිවැරදිව වැසිකිළි යන්න හුරුකරන එකේ වැදගත්කම

මේක අපි අතරේ සෑහෙන්න කතාබහට වගේම විවාදයටත් ලක්වෙන කාරණාවක්. පුංචි බබෙක් ඉපදුන දා ඉඳලා පෙර පාසල් යනකන් පසුකරන විවිධ වර්ධන අවධි වල තවත් අවධියත් කිව්වත් වැරදි නැහැ. හැබැයි මේ ගැන හුඟක් අම්මලා දරන වැරදි මත අපි නිතරම සමාජ මාධ්‍ය වල දකිනවා. ඒ නිසාම ඒ ගැන නිවැරදි තොරතුරු ඒ කියන්නෙ ලෝකයේ අනිත් රටවල මේ පුංචි දරුවන්ට වැසිකිළි පුහුණුව සිදුකරන විදිහ, ලෝකයේ සම්මත ක්‍රමය, වෛද්‍යවරු අනුමත කරන විදිහ වගේ විවිධ කරුණු ගැන ටිකක් කතා කරන්න අපි හිතුවා. බබාලාගේ වැසිකිළි පුහුණුව ගැන සැහැල්ලුවෙන් හිතාගෙන ඉන්න, හිතුමතේට කටයුතු කරන හැමෝම ඔන්න මේ තොරතුරු කියවල දැනුවත් උනොත් හොඳයි. මොකද නිවැරදි potty training එකකින් බබාට යහපතක් වෙනව වගේම වැරදියට මේ කටයුත්ත සිදුකළොතින් බබාගේ සෞඛ්‍යයට ඒ මඟින් අයහපතක් සිදුවෙන්නත් පුළුවන්. 

 

 

1. මොකක්ද මේ Potty Training?

අපි හැමෝම දන්නවනෙ පුංචි බබෙක් ඉපදුන දවසේ ඉඳල එයාගේ බහිශ්‍රාවීය කටයුතු ඒ කියන්නෙ මුත්‍රා සහ මළපහ කිරීම එයාගේ අනුදැනුමක් නැතුව අවශ්‍යතාවය ඇතිවුණ සැණින් සිදුකරනව කියන එක. ඉතින් බබා ටික ටික ලොකු වෙලා පෙර පාසල් වයසට එළඹෙන්න කලින්, ඒ කිව්වෙ තනියම සමාජයට යන්න කලින් මේ මළ මුත්‍රා කිරීම නිවැරදිව පාලනය කරගන්න හැටි, වැසිකිළියක් භාවිතා කරල ඒ කටයුතු සිදුකරන හැටි කියන කාරණා බබාට හුරු කරන එක තමයි වැසිකිළි පුහුණුව කියල කියන්නෙ. මේක ඉබේම සිදුවෙන දෙයක් නෙමෙයි. බබාගේ දෙමව්පියන් හෝ රැකබලාගන්නන් විසින් එයාට ක්‍රමානුකූලව හුරු කරන්න ඕන කාරණාවක්. 

 

 

2. ඇයි Potty Training වැදගත් වෙන්නෙ?

මතුපිටින් බැලුවමත් පැහැදිළිවම මේ වැසිකිළි පුහුණුව බබෙක් වයසින් වැඩෙනවත් එක්කම හරිම වැදගත්. මොකද බබා ලොකුවෙලා පාසල්, පෙරපාසල් එහෙම යනකොට පුංචිම කාලෙ වගේ ඇඟේම මළ, මුත්‍රා කරගන්න ගියෝතින් ඒක හරිම කැතයිනේ. ඒ වගේම තමා අපි වැඩිදුර නොහිතුවට මේ නිවැරදි වැසිකිළි පුහුණුව මඟින් බබාගේ මානසික වර්ධනයටත් ලොකු උදව්වක් ලැබෙනවා. හැබැයි ඒ වගේම තමයි නිසි වයසට කලින් හිතුමතේ, වෛද්‍ය උපදෙස් වලට එරෙහිව කරන වැසිකිළි පුහුණුව නිසා බබාගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යයට යම් යම් ගැටළු ඇතිවෙන්නත් පුළුවන්. 

 

 

3. Potty Train කරන්න සුදුසුම වයස

මේ කාරණාව තමයි අපේ ලංකාවේ අම්මලා Potty Training සම්බන්ධයෙන් වරද්දා ගන්න ලොකුම කාරණාව. හුඟක් අය හිතුමතේට සහ පහසුවට බබාට තනියම ඉඳගන්න පුළුවන් වුණ හැටියේම potty එක ඒ කිව්වෙ බබාලට හදපු baby commode එකේ බබාව ඉන්දවල බලෙන් වැසිකිළි යාම පුරුදු කරනව. ඒත් ලෝකයේ විවිධ පර්යේෂණ කණ්ඩායම් විසින් සිදුකරපු පරීක්ෂණ වලින් පස්සෙ මේ වෙනකොට බබාලව Potty Training වලට යොමුකරන්න සුදුසුම වයසක් වෛද්‍යවරු විසින් අනුමත කරනවා. ඒ තමයි වයස මාස 18 ත් මාස 36ත් ඒ කිව්වේ අවුරුදු එකහමාරත් 3ත් අතරේ කාලසීමාව. සාමාන්‍යයෙන් බබෙක් වයස අවුරුදු 3ට පස්සෙත් නොදනී ඇඟේ මළ මුත්‍රා පිටකරගන්නෙ නැහැ. හැබැයි ඊට කලින් ඒ කිව්වෙ වයස අවුරුදු 3ට කලින් බල කරල වැසිකිළි පුහුණුව සිදුකරන්න අනවශ්‍ය බවත් එහෙම කරන එක බබාලට අහිතකර බවත් තමයි වෛද්‍යවරු කියන්නෙ. 

 

 

4. Potty Train කරන්න සම්පූර්ණ වෙන්න ඕන කාරණා

වයස අවුරුදු 1.5 සම්පූර්ණ වුණ බබෙකුට වැසිකිළි පුහුණුව ආරම්භ කරන්න සලකා බලන්න පුළුවන් කියල අපි කිව්වනේ. හැබැයි මේ පුහුණුව ආරම්භ කරන්න කලින් සම්පූර්ණ වෙන්න කාරණා කිහිපයක් තියෙනවා. ඒ කියන්නෙ Potty Traning එක පටන් ගන්න බබා ශාරීරිකව සහ මානසිකව සූදානම් කියල අපිට දැනගන්න පුළුවන් වෙන බබාගේ වෙනස්කම් තියෙනවා. ඒ මෙන්න මේ දේවල්.

  • වැසිකිළි යන්න ඕන බව, ඒ කියන්නෙ “චූ හෝ කක්කා” කියලා වචනයෙන් අවශ්‍යතාවය කියන්න තියෙන හැකියාව.
  • පුංචි කාලයේ වගේ නිතර නිතර මුත්‍රා නොකර වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කම. 
  • දිනපතා නිශ්චිත වෙලාවක් තුළ මළපහ කිරීම.
  • අපිරිසිඳු ඩයපර්ස්, නැපි හෝ කලිසම් ඇඳ සිටීමට ඇති අකමැත්ත. 
  • Baby Commode Seat එකක පහසුවෙන් ඉඳගන්න හැකිවීම.
  • Commode Seat එකේ ඉඳගන්න ඇති කැමැත්ත.
  • වැඩිහිටියන් වැසිකිළි භාවිතා කිරීම ගැන කුතුහලයෙන් ප්‍රශ්න කිරීම.
  • ඒ චර්යාවන් අනුකරණය කිරීමට ඇති කැමැත්ත.

 

5. බබාගේ මානසික සංවර්ධනය සහ නිවැරදි වැසිකිළි පුහුණුව

අපි කලිනුත් කිව්ව වගේ නිසි වයසට කලින් වැසිකිළිය හඳුන්වා දෙන්න උත්සාහ කිරීම මඟින් බබාගේ සෞඛ්‍යට හානිවෙන්න පුළුවන්. මොකද පුංචි ළමයින්ගේ විතරක් නෙමෙයි වැඩිහිටියන්ගේ පවා මළ මුත්‍රා පහකිරීම සම්බන්ධව මොළය හා සම්බන්ධ ස්නායු බොහොම සංඛ්‍යාවක් ක්‍රියාකරනවා. අවශ්‍යතාවය ඇතිවීම සහ වැසිකිළි යාම අතර ඉතාම සුළු කාර්යයක් විතරක් අපි දැක්කට ඒ ක්‍රියාවලිය ඇතුළේ අවශ්‍යතාවය දැනීම, සිදුකළයුතු කාර්යය වටහා ගැනීම, වැසිකිළියට යාමට තීරණය කිරීම, ඒ අතරතුර කාලය මනසින් ගණනය කිරීම වගේ ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ සියලු දේ අනිච්ඡානුගව සිදුවෙන දේවල්. හැබැයි නිසි වයසට පෙර ඒ කියන්නෙ මාස ගාණක බබෙකුට වැසිකිළි පුහුණු කිරීමේදී මේ සියළු දේවල් ඒ නොමේරූ මනසට පීඩනයක් වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි නිවැරදි වැසිකිළි පුහුණුව මඟින් බබාගේ පෞරුෂ සංවර්ධනය තහවුරු කෙරෙනවා. තමාට තනිව ක්‍රියාවන් සිදුකළ හැකි බවට විශ්වාසයක් බබා තුළ ඇතිවෙනවා. ඒ මඟින් ස්වාධීනව කටයුතු කරන්න අවශ්‍ය විශ්වාසය බබාට ලැබෙනවා.  

 

 

6. කොහොමද බබාව Potty එකට පුහුණු කරන්නෙ?

බබාට වයස අවුරුදු 1.5ට වඩා වැඩියිනම්, කලින් කියපු සංඥා බබා තුළ දකින්න තියෙනවනම්, ඔන්න අම්මට පුළුවන් බබාව ක්‍රම ක්‍රමයෙන් වැසිකිළි පුහුණුවට යොමු කරන්න. මේක ලේසියෙන් විස්තර කරන්න පුළුවන් කාරණයක් නම් නෙමෙයි. වෙනම ලිපියකින් ඒ ගැන කතා කරන්න ඕන. හැබැයි සරලව කිව්වොත් තමන්ගේ බබාගේ දින චර්යාව, එයාගේ සන්නිවේදන ක්‍රම, බබාගේ රුචි අරුචිකම් දන්නෙ අම්මනේ. ඉතින් බබාට පොටි එක පෙන්වලා හඳුන්වාදීම, අවශ්‍යතාවය ඇතිවීම හඳුනාගැනීම, පොටි එක සහ අවශ්‍යතාවය සම්බන්ධ කරලා කියල දීමේ ඉඳලා සරලව බබා කැමති දේවල් එක්ක පොටි එකට හුරු කිරීම අම්මට කරන්න පුළුවන්. හැබැයි කිසිම වෙලාවක බලකරලා පුහුණු කරන්න උත්සාහ කරන්න එපා.

 

 

7. වැරදි Potty Training එකක අතුරු විපාක

අපි කලින් පැහැදිළිව කිව්වනේ වයසට කලින් වැරදි විදිහට කරන Potty Training එකක මානසික බලපෑම කොහොම වෙන්න පුළුවන්ද කියල. ඒ වගේම තමයි වැරදි potty training එකක ශාරීරික බලපෑමත්. බබාගේ බඩවැල් නිසිලෙස වර්ධනය වෙන්න කලින් බලෙන් වැසිකිළි යාම හුරු කරන්න ගියහම ඒ පුංචි බඩවැල් වලට අභ්‍යන්තරයෙන් හානිවෙන්න පුළුවන්. ඒ වගේම වැසිකිළි යාම පීඩනයක් විදිහට බබාට දැනීම නිසා පසුකාලීනව මල බද්ධය වගේ තත්ත්වයන් ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම මුත්‍රා මාර්ගය හරි විදිහට සකස් වෙන්න කලින් මුත්‍රා කිරීම රඳවාගෙන සිටීම මඟින් අසාදන තත්ත්වයන් ඇතිවෙන්නත් පුළුවන්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *