තායිලන්තයේ විස්මයජනක බෞද්ධ පුදබිම්

තායිලන්තය සහ ලංකාව බුද්ධාගම නිසා සහෝදරත්වයෙන් බැඳුණු රටවල් දෙකක්. වතාවන් කීපයකදීම මේ දෙරට අතරින් එක රටක උපසම්පදාව අතුරුදහන් වෙලා ගියාම භික්ෂූන්වහන්සේලා අනෙක් රට වෙත වැඩම කරවලා උපසම්පදාව නැවත ප්‍රතිස්ථාපනය කරන්න කටයුතු කරලා තියෙනවා. අවසානතම උදාහරණය වෙන්නේ මහනුවර රජ සමයේදී සියම් නිකාය ලංකාවේ ස්ථාපනය කිරීම. අපි අද කතා කරන්න යන්නේ තායිලන්ත බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක්වන පුදබිම් කීපයක් පිළිබඳව.

 

1. වට් අරුන් (Wat Arun)

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් මහාමේරු පර්වතයේ ආකෘතියට නිර්මාණය කරලා තියෙන මේ බෞද්ධ විහාරය නම් කරලා තියෙන්නේ හින්දු දෙවියෙකු වන අරුණ නමින් වීම විශේෂත්වයක්. කෙසේ නමුත් ඇතැම් මූලාශ්‍රවලට අනුව මෙහි තේරුම වන්නේ අරුණෝදයේ විහාරය යන්නයි බැංකොක් අගනුවර පිහිටා තිබෙන මෙම විහාරය චාඕ පර්‍යා නදියේ බටහිර ඉවුර ආසන්නයේ පිහිටා තිබෙනවා.මෙම විහාරයේ මධ්‍යයේ පිහිටා ඇති ප්‍රධාන පුදබිම මීටර් 70ක උසින් යුතු වන අතර එය මැටි වලින් සහ වීදුරු වලින් අලංකාර කොට තිබෙනවා.

 

 

2. වට් රොන්ග් කුන් (Wat Rong Khun)

සුදු පැහැයෙන් බැබලෙන මෙම විහාරය ඒ නිසාම ශ්වේත වර්ණ විහාරය ලෙස තායි වැසියන් විසින් හඳුන්වනු ලබනවා. කෙසේ නමුත් මෙම විහාරයට එතරම් දීර්ඝකාලීන ඉතිහාසයක් නැහැ. එරට ප්‍රවීන කලාකරුවෙකු විසින් මෙම විහාරය නිර්මාණය කොට ඇති අතර එහිදී කලාව සහ බුදුදහමෙහි හර පද්ධතිය මිශ්‍ර කොට සංකේතාත්මකව මෙහි ගෘහ නිර්මාණ ශිල්පයට සුවිශේෂී බවක් එක් කිරීමට ඔහු සමත්ව තිබෙනවා. මෙම විහාරයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙම විහාරය තවමත් නිමා නොවීමයි, දැනට ඇති පුරෝකථන වලට අනුව 2070 දී මෙම විහාරයේ ඉදිකිරීම් නිම වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

 

 

3. වට් ප්‍ර කයිව් (Wat Phra Kaew)

තායිලන්තයේ ඇති  සුප්‍රකට තමා බෞද්ධ පුදබිම වන මෙම පුදබිම ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණයක් බවට පත්ව තිබෙන්නේ මෙහි තැන්පත්ව ඇති මරකත බුද්ධ ප්‍රතිමාව හේතුවෙනුයි. මෙම බුද්ධ ප්‍රතිමාවට පෙරවා ඇති සිවුර මාරු කිරීම එරට රජුගේ මූලිකත්වයෙන් සිදු වන අතර ඒ සඳහා සම්ප්‍රදායට සහ චාරිත්‍රවලට මුල්තැන ලබා දෙනවා. එසේම මෙම පුදබිම තායිලන්තයේ ප්‍රධානම මාළිගාවේ කොටසක්ව පවතිනවා.

 

 

4. වට් පෝ (Wat Pho)

තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන අතරින් රාජකීය අනුග්‍රහය ලැබෙන ප්‍රධාන පෙළේ බෞද්ධ සිද්ධස්ථානයක් විදිහට මේ ආරාමය හදුන්වන්න පුළුවන්. තායිලන්ත වැසියන්ගේ ගෞරවාදරයට පත්වන පළවෙනි රාම රජු විසින් සංවර්ධනය කරන ලද මෙම විහාරය තුළ රජුගේ භෂ්මාවශේෂ කොටසක්ද තැන්පත් කොට තිබෙනවා. ඇතැම් තායිලන්ත මූලාශ්‍ර වලට අනුව තායිලන්තයේ ඇරඹූ පළමු විශ්වවිද්‍යාලය විදිහටත්  මෙම විහාරය සැලකෙනවා.

 

 

5. වට් සිරි සුපෑන් (Wat Sri Suphan)

රිදී කර්මාන්තකරුවන්ගේ ගමක පිහිටා තිබූ මෙම විහාරයේ ඉතිහාසය වර්ෂ 1500 දක්වා දිවයනවා. වර්තමානයේ දී සම්පූර්ණ විහාරයම පාහේ රිදියෙන් අලංකාර කොට ඇති අතර තවත් විශේෂත්වයක් වන්නේ මෙම විහාරය තුළ ථෙරවාද සම්ප්‍රදාය පමණක් නොව, තාඕ සහ සෙන් සංකල්පවල ආභාෂයද පැවතීමයි.

 

 

6. වට් බෙන්චමබොපිට් (Wat Benchamabophit)

චූලාංලකාර රජු විසින් ඉදිකිරීම ආරම්භ කරන ලද මෙම විහාරය සඳහා සම්පූර්ණ පාහේ ඉතාලි කිරි ගරුඬ භාවිතා කොට තිබෙනවා. මෙම විහාරයේ සැලසුම සකස් කරන ලද්දේ රජුගේ අර්ධ සහෝදරයෙකු වන නාරිස්  කුමරු විසින් බව සඳහන් වෙනවා. දැවැන්ත කිරිගරුඬ කුළුණු හතරකින් අලංකෘත වන මෙම විහාරයේ දොරටුව දෙපසින් සිංහයන් දෙදෙනකු ස්ථානගත කොට තිබෙනවා. විහාරයේ සම්මුඛ ශාලාව තුළ බුදු පිළිම පනස් දෙකක් වැඩ වසනවා.

 

7. වට් ට්‍රයිමිට් (Wat Traimit)

ලෝකය පුරා මේ පුදබිම ප්‍රකටව ඇත්තේ ලෝකයේ ඇති අති දැවැන්තම ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාව වැඩ වසන පුදබිම විදිහටයි. අඩි දහයක පමණ උසින් වන මෙය තායිලන්තයේ සුඛෝදය රාජධානි සමයේදී නිර්මාණය කළ බව පැවසෙනවා. එම රාජධානිය බිඳ වැටීමේදී ආක්‍රමණිකයන්ගෙන් සැඟවීමට මෙම බුද්ධ ප්‍රතිමාව වර්ණවත් වීදුරු වලින් වසා දමා වසර දෙසීයක පමණ කාලයක් තබා තිබෙනවා. අවසානයේදී 1955 දී අහම්බයකින් මෙම ප්‍රතිමාව ස්වර්ණමය ප්‍රතිමාවක් බවට සොයා ගැනීමට අවස්ථාව ලැබුණා.

 

ඇතැම් විට ඔබ මේ පුදබිම් වන්දනාමාන කරන්න ගිහිල්ලා ඇති. ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *