අත් පොළසන් මැද සමුගත් ජනතාවගේ වීරවරිය – ඇන්ජෙලා මර්කෙල්

පහුගිය දවස්වල සමාජ මාධ්‍ය හරහා හරි අපූරු සටහනක් සංසරණය වුණා. ඒ තමයි ජර්මානු ජනතාව තමන්ගේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කෙල්ගේ සේවය අගය කරමින් සිය නිවෙස්වල සඳලුතලවලට එක් රැස් වෙලා අත්පොළසන් දුන්නා කියන එක. මෙයට ජනතාව එක්රැස් වෙලා තියෙන්නේ ස්වකැමැත්තෙන්. මේ නිසා ජර්මානු ජනතාවගේ පමණක් නොව සමස්ත ලෝකයේම ගෞරවාදරයට පත් වුණු රාජ්‍ය නායිකාවක් වන ඇන්ජෙලා මර්කෙල් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්න අපි තීරණය කළා.

 

1. ඇගේ නම 

ඇන්ජෙලාගේ පවුල පෝලන්ත ජාතික සම්භවයක් සහිත පවුලක්. බටහිර ජර්මනියේ හැම්බර්ග්හි උපත ලැබූ ඇයට ලබාදී තිබූ නම වන්නේ ඇන්ජෙලා ඩොරෙතියා කාසනර්. ඇගේ පියා පාස්ටර්වරයෙකු වුණු අතර මව ඉංග්‍රීසි සහ ලතින් භාෂා ගුරුවරියක්. වයස අවුරුදු 23 දී ඇන්ජෙලා විසින් උල්රික් මර්කෙල් නම් තරුණයෙකු විවාහ කරගත් අතර ඇය එතැන් පටන් තම නම ඇන්ජෙලා මර්කෙල් ලෙස වෙනස් කර ගනු ලැබුවා. කෙසේ නමුත් මෙම විවාහය දික්කසාදයකින් කෙළවර වූ අතර යළිත් වරක් ඇන්ජෙලා තවත් විවාහයක් කර ගත්තත් තම නම වෙනස් කිරීමට උත්සාහ කළේ නැහැ.

 

 

2. ඇගේ ළමා කාලය 

මේ කාලය නැගෙනහිර ජර්මනියේ සිට වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීම සඳහා බටහිර ජර්මනිය වෙත ජර්මානුවන් දස දහස් ගණනින් පලා එන කාලයක්. නමුත් කාසනර් පවුල ඒ වෙනුවට ඇන්ජලාගේ උපතින් මාස කීපයකට පසුව නැගෙනහිර ජර්මනියේ පදිංචියට ගියා. ඊට හේතුව වූයේ පාස්ටර්වරයෙකු වූ ඇගේ පියාට නැගෙනහිර ජර්මනියේ පල්ලියක සේවය කිරීමට සිදුවීමයි.

 

 

3. සමාජවාදී ඇන්ජලා 

නැගෙනහිර ජර්මනිය තුළ ගත කරන කාලයේදී ඇය එරට තුළ පැවති සමාජවාදී තරුණ ව්‍යාපාරයේ සාමාජිකාවක් බවට පත්වන්නට සිදු වුණා. එම ව්‍යාපාරය තුළ ඇය සක්‍රීය සාමාජිකාවක් නොවුණත් එරට පැවැති තත්ත්වය අනුව එහි සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්යය කරුණක් වුණා. එසේම ඇය සමාජවාදයේ මූලික සංකල්ප හැදෑරීම සඳහා පාඨමාලා කීපයක් සඳහාත් ඇතුළත් වුණා.

 

 

4. උසස් අධ්‍යාපනය 

ලීප්සිග්හි කාල් මාක්ස් සරසවියෙන් භෞතික විද්‍යාව හැදෑරූ ඇය ඊට අමතරව ගණිතය විෂයයට සහ රුසියානු භාෂාවට වැඩි සමත්කමක් දක්වනු ලැබුවා. ඒ කාලයේ දී ඇය සහකාර කථිකාචාර්ය ධූරයක් සඳහා ඉල්ලුම් කළත් එම තනතුරු සඳහා ඇයව තෝරාගතහොත් ඇයගේ රැකියා ස්ථානයේ නිලධාරීන් පිළිබඳව රහසිගත වාර්තා බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු බවට නියමයක් ඇය වෙත පැනවුණා. නමුත් තමන්ට රහස් රැකීමට අපහසු බව පවසමින් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළා. කෙසේ නමුත් අවසානයේදී ඇය සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කරගත් අතර පර්යේෂිකාවක ලෙස පත්‍රිකා කීපයක් පළ කරනු ලැබුවා.

 

 

5. දේශපාලනයේ ආරම්භය 

බර්ලින් තාප්පයේ බිඳ වැටීමත් සමඟ ඇතිවුණු නව බලාපොරොත්තු නිසා වෙනස් දේශපාලනයක් කිරීමට ඇය පෙළඹුණු බව කියවෙනවා. එහිදී ඇය ප්‍රජාතන්ත්‍රවාදී පුබුදුව නම් පක්ෂයේ සාමාජිකාවක් බවට පත්වූ අතර එහි සහකාර මාධ්‍ය ලේකම්වරිය බවට ඇය පත්වුණා. 1991 වසරේදී ඇය කාන්තා හා තරුණ අමාත්‍යවරිය බවට පත්වූ අතර 1994 දී පරිසර අමාත්‍යවරිය බවට පත්වුණා. 1998 වනවිට ඇය සාමාජිකත්වය ලබාගෙන සිටි ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ එක්සත් ජර්මනියේ මහලේකම් ධූරය සහ සභාපතිධූරය ලබා ගැනීමට සමත් වුණා. අනතුරුව ජර්මානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව බවට පත් වන්නට ඇය සමත් වුණා.

 

 

6. චාන්සලර්වරිය

2005 වසරේදී හිටපු චාන්සලර් ජෙර්හාඩ් ෂූරූඩර් පරාජයට පත් කරමින් එරට පළමු චාන්සලර්වරිය බවට පත්වීමට ඇන්ජෙලා මර්කෙල් සමත් වුණා. එතැන් පටන් 2021 දක්වා එක දිගට මැතිවරණ ජයග්‍රහණය කරමින් චාන්සලර් ධුරයේ රැඳී සිටින්න ඇයට හැකි වුණා. ඇයගේ පාලන කාලය තුළ නැවත වතාවක් යුරෝපයේ  ආර්ථික වශයෙන් ප්‍රබල ස්ථානයකට ජර්මනිය පත්වුණා. ඇතැම් අවස්ථාවල ආන්දෝලනාත්මක තීරණ පවා ගැනීමට ඇය දෙවරක් සිතුවේ නැහැ. විශේෂයෙන්ම සිරියානු සරණාගත අර්බුදයේදී එම පිරිස් වලට තම රටේ රැකවරණය ලබාදීමට ඇය තීරණය කළේ දේශීයව සහ ජාත්‍යන්තරව එල්ල වූ පීඩනයන් පවා නොතකමින්.

 

 

7. ධූරය අත් හැරීම 

2018 වසරේදී තම පක්ෂයේ නායකත්වය සඳහා යළි තරඟ කිරීමෙන් වැළකීමට තමන් තීරණය කළ බවත් 2021 දක්වා චාන්සලර් ධුරය පමණක් හෙබවීමට තමන් තීරණය කළ බවත් ඇය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඇය විසින් මේ දක්වා තම අනුප්‍රාප්තිකයා ලෙස වෙනත් තැනැත්තෙකු නම් කර නොමැති අතර බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ඇන්ග්‍රෙට් ක්‍රැම්ප් නම් ආරක්ෂාව භාර අමාත්‍යවරිය මර්කල්ගෙන් පසුව රටේ අනාගතය බාර ගනු ඇති බවයි.

 

ඇන්ජෙලා මර්කෙල් වැනි විශිෂ්ට ජනතා නායකයන් පිළිබඳව ඔබේ අදහස් සඳහා කමෙන්ට් සෙක්ෂන් එක විවෘතව ඇති අතර මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් ඔබ අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *