“අහසින් තරුවක් කඩා වැටීලා… තරුව කතා නැහැ…” කියලා මාලනී බුලත්සිංහල ගායනා කරන ගීතයක් තියෙනවා. ඒ වගේ පහුගිය දවසේ අහසින් යමක් කඩා වැටෙයි කියලා ලාංකිකයින් බලා සිටියා. ඇමරිකාව, අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව වගේ තැන් ගණනාවක් ගැන මත පළ වුණත් ඒ චීන රොකට්ටුව අපේ ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්න මූදට දොග් ගාල වැටුණා. කාටවත් අනතුරක් නැහැ. ඒත් ඒ ගැන කතාබහ ලොව පුරා ඇතිවුණා.
1. ලෝන්ග් මාච් 5බී (Long March 5B) රොකට් එක වැටුණ හැටි
චීනයෙන් ගුවන්ගත කළ ලෝන්ග් මාච් 5බී කියන රොකට් එක මැයි මුලදී ගුවන් ගත කළේ අනාගත ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකට අඩිතාලම දාන අදහසින්. එහෙත් අවාසනාවන්ත විදිහට ඒ රොකට් එක සහ ආම්පන්න අදාළ තැනට කක්ෂගත කරන්න බැරි වුණා. කාර්මික දෝෂයක් නිසා අඩපණ වුණු දෙවනි අදියරේ කොටසක් පෘථිවියට කඩා වැටෙන්නට නියමිත වුණා. එය කඩා වැටෙන තැන ගැන විවිධ අදහස් පළ වුණා. ඒ වැටෙන තැන් අතර සමකාසන්න තැන් වලට වැඩි ප්‍රමුඛතාවයක් ලැබුණා. කොහොම වුණත් මැයි 9 වැනිදා රොකට් එක මාලදිවයිනට නුදුරු මූදට කඩා වැටිලා තිබුණා.
2. මොකටද චීනේ ලෝන්ග් මාච් 5බී හැදුවේ?
චීන අභ්‍යාවකාශ මෙහෙයුමේ එක් අදියරයක් තමයි අඟහරු තරණය කිරීම. අඟහරු ග්‍රහයා වෙත යානාවක් යවලා පස් සාම්පලයක් ගෙන්වා ගන්නත් චීනය දැනට සමත් වෙලා තියෙනවා. එතනින් එහාට ගිහින් අඟහරු ගවේෂණයට චීනය ක්‍රියාත්මක වෙද්දි ඔවුන්ට අඟහරු වෙත යවන යානා එක්ක සන්නිවේදන කටයුතු කිරීම ප්‍රශ්නයක්. ඒ සඳහා භූ ස්ථාවර චන්ද්‍රිකා වගේම මේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙනුත් යම් කාර්යයන් කරන්නට නියමිතව තිබුණා. එහෙත් හදිසියේ ඇතිවූ දෝෂයකින් මේ 2021 මැයි මස නිකුත් කිරීමට තිබූ කොටසක් කඩාගෙන වැටුණා. මෙතනදි ඇත්තටම ගෙනගිය ස්පේස් ස්ටේශන් එකට අදාළ කොටස් ගාණට කක්ෂගත කරලා තියෙනවා. ඒත් ඒ බඩු ගෙනගිය යානාව කිසිදු මෙහෙයවීමක් නැතුව කඩාගෙන වැටිලා තිබුණා.
3. ලෝන්ග් මාච් වැඩසටහන
මේ මෑතකදි වැටුණු රොකට් එක කියන්නේ ඒ අදාළ රොකට් වැඩසටහනේ එක් රොකට්ටුවක් පමණයි. මුලදී කියා තිබූ කාරණා අනුව මෙම වැඩසටහනට විශාල රොකට් ගුවන්ගත වීම් 11ක් පමණ ඇතුළත් වුණා. චීනය 2003 දී චීන ජාතිකයෙකු ඔවුන්ගේ තාක්ෂණයෙන් අභ්‍යාවකාශයට යැව්වා. අභ්‍යාවකාශයට මිනිසුන් යවලා හුරු පුරුදු කරන වැඩසටහනකුත් මේ එක්කම ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ අභ්‍යාවකාශයේ දී හැසිරෙන, වැඩකරන හැටි හුරු කරන්න චීනය දැනටම අභ්‍යාවකාශගාමීන් හුරු කරමින් සිටිනවා. අනාගත පර්යේෂණ කටයුතු සඳහා වගේම අභ්‍යාවකාශ ගමන් සඳහා පුහුණු කටයුතු කරන්නත් මේ ලෝන්ග් මාච් වැඩසටහන හේතු වෙනවා.
4. චීන ස්පේස් ස්ටේශන් එක
මෙතෙක් කලක් වසර ගණනාවක් තිස්සේ (1998 සිට) ක්‍රියාත්මක වුණ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අපේ පෘථිවියෙන් පිට තිබූ මිනිසාගේ වටිනාම අවකාශයක් වුණා. ඒ වෙනුවෙන් දැරූ වියදම එක්ක ඒ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය මිනිසාගේ ලොව මිල අධිකම නිවහන බවට නම් කෙරුණා. ඇමරිකාව, රුසියාව, ජපානය සහ යුරෝපා රටවල් ඒ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හදන්න මහන්සි වුණා. ඒ රටවල පර්යේෂණ කටයුතුත් කෙරුණා. ඒක දැන් පරණයි. ඒ එක්ක චීනය නව ස්පේස් ස්ටේශන් එකක් හදන්න යනවා එයාලගේම. ඒක සාපේක්ෂව කුඩා අභ්‍යාවකාශගාමීන් 3 දෙනකුට පමණක් ඉඩ තියෙන එකක්. ඒක 2022 දී ගුවන්ගත වෙන්නට නියමිතව තිබුණත්, තාක්ෂණික අසාර්ථකවීම් එක්ක ඒ වැඩේ කල්යන්නට ඉඩ තියෙනවා. මේ නව අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ටොන් 66කට වඩා බර බව සඳහන්.
5. චීනය සහ අභ්‍යාවකාශ නීති
මීට කලින් චීනය විසින් නිකුත් කළ රොකට්ටුවක් අප්‍රිකානු රටකට කඩා වැටුණා. ඒ වගේ අසාර්ථක වුණු චීන ව්‍යාපෘති ගෙන හැර පාමින් චීන අභ්‍යාවකාශ ව්‍යාපෘතිය අභ්‍යාවකාශ කසල එකතු කරන ව්‍යෘපෘතියක් ලෙසින් ඇමෙරිකාවෙන් දකිනවා. ඒ වගේම අභ්‍යාවකාශ මෙහෙයුම් ගැන වැඩි විස්තර සඳහන් නොවීම ගැනත් ජාත්‍යන්තර අභ්‍යාවකාශ වැඩසටහන් වල ඉන්න අය සැක මතු කරලා තියෙනවා. ඇමරිකාව විසිනුත් නාසා ආයතනය සහ ස්පේස් එක්ස් මගින් යානා, රොකට්ටු යැව්වත් ඒවා ගැන මූලික තොරතුරු රැසක් අන්තර්ජාලයේ තියෙනවා. ඒත් චීන වැඩසටහන් ගැන තියෙන්නේ චීනයෙන් පළකරන රාජ්‍ය පුවත් පමණයි. ඒ නිසා චීන අභ්‍යාවකාශ වැඩසටහනට එරෙහි නීතිමය පැත්තෙන් බලපෑම් එල්ල කරන්න නාසා සහ ජාත්‍යන්තර අංශ ලෑස්ති වෙලා ඉන්නවා. මෙය මෑත ඉතිහාසයේ චීන සමාගම් වලට ඇමරිකානු නීති බලපෑ ආකාරයට බලපාන සිදුවීමක් විදිහට මැදහත් විචාරකයින් දකිනවා.
6. රොකට් තාක්ෂණය සහ චීනය
රොකට් තාක්ෂණය අතින් චීනයේ යම් යම් ඉදිරිගාමී පැති තියෙනවා. ඒ වුණත් ස්පේස් එක්ස් සහ ඇමරිකානු වැඩසටහන් තරම්ම ඇතැම් පාර්ශව දියුණු නැහැ. ස්පේස් එක්ස් ලගේ ඩ්‍රෝන් ශිප් තාක්ෂණය චීනුන්ට නැහැ. ඒ ඩ්‍රෝන් ශිප් තාක්ෂණය මගින් රොකට්ටුව මුහුදේ බත්තලකට නැවත බාන්නට පුළුවන් වීම එහි තිබෙන වාසියක්. එසේම චීන රොකට් වැඩසටහන් වලදී මහජන ආරක්ෂාව ගැනත් සැක මතුවී තිබෙනවා. චීන රොකට් යවන ඇතැම් පළාත් ජනාවාස වලට වඩාත් සමීපව තිබීම ඇමරිකානු මාධ්‍ය වලත් අවධානයට ලක් වෙලා තියෙනවා. ඇතැම්විට ඔවුන් අභ්‍යාවකාශ යානා කොටස් නැවත පෘථිවියට වැටීම ගැන වැඩිපුර තාක්ෂණික අවධානය යොමු නොකළේ හිතාමතාමද යන්න ගැනත් ගැටළු ඇතිවී තිබෙනවා.
7. ටියන්හ සහ අනාගතය
අලුත් චීන ස්පේස් ස්ටේශන් එක හඳුන්වන්නේ ටියෙන්හ (Tianhe) නමින්. එහි හැඩය සහ අභ්‍යන්තර සැකසුම රුසියානු ස්පේස් ස්ටේශන් මාදිලිය ගන්නවා. එහි ඇතැම් විශේෂාංග ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හා සමානයි. මේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සාර්ථක වුනොත් චීනය ඒ හරහා විවිධ පර්යේෂණ කටයුතු වලට ඒ අවකාශය පාවිච්චි කරන්නට දීලා යම් තැනක් ඒ පැත්තෙන් හදාගනීවි කියලා මත පළවෙලා තියෙනවා. චීනය දැනටම තාක්ෂණික අතින් ඉදිරියට ගිහින් ඉවරයි. ඒ වගේම අභ්‍යාවකාශ තාක්ෂණය පැත්තෙනුත් ඔවුන්ට ඉදිරි ගමනක් යන්න මේ ටියන්හ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය උදව් වේවි.
චීනය විසින් ඉදිකරන ලද නගරයක් අපිට චීන වරාය නගරය විදිහට කොළඹදී බලන්න පුළුවන්. ඒ වගේම චීන සහාය මත හැදුන විශාල ලෝටස් ටවර් එකත් කොළඹට චීන පෙනුමක් ගෙන එනවා. දැන් ඒ මදිවට අහස බැලුවත් චීන කෑල්ලක් පේන විදිහට චීනෙන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකුත් ගුවන්ගත කරලා. කොයිහැටි වුණත් හැම අතින්ම දියුණු වන චීනය අභ්‍යාවකාශයත් තරණය කරයි කියන විශ්වාසය ලෝක මාධ්‍ය තුළ පළවෙලා තිබුණා.
Leave a Reply