ලෝකේ තියන දැක්කම පිස්සු හැදෙන ස්ථාන 7ක්

මේ ලෝකෙ ගැන අපි දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් අප්‍රමාණයි. ඔන්න අදත් අපි ගෙනාවෙ ලස්සන අතින් කියලා නිමකරන්න බැරි ලෝකේ තියන ඉතාම අලංකාර සිත් ඇදගන්නා සුපිරි තැන් ටිකක්.  මේ තැන් වලට ගිය අයත් ඇති. ඒ වගේම මේ සංචාරක ප්‍රශ්න කවද හරි නැති වුණාම යන්න හිතන් ඉන්න අයත් ඇති. ඔක්කොමලා එහෙනම් බලන්න මේ තැන් කොච්චර වටිනවද කියලා.

 

1. රෙට්බා විල (Lake Retba) 

දකුණු අප්‍රිකාවේ සෙනෙගල්හි කැප් වර්ට් අර්ධද්වීපයට උතුරින් වගේ පිහිටලා තියන විලේ වතුර රෝසපාටින් බලාගන්න පුළුවන් ඉතා අලංකාර තැනක් තමයි මේ. මේ විලේ වතුර රෝස පාට වෙන්න හේතුව Dunaliella Salina බැක්ටීරියාව නිසා කියලයි කියන්නෙ. මෙම ඇල්ගී විශේෂය ආලෝකය අවශෝෂණය කර නිපදවන රතු වර්ණකය තමා මේ විදියට දිස් වෙන්නෙ. මේ වර්ණය ගොඩක්ම දකින්න පුළුවන් නොවැම්බර් ඉඳලා ජූනි වෙනකල් කාල වකවානුවෙදියි. දිගින් කිලෝ මීටර 4.2ක් හා වර්ග කිලෝමීටර 3ක් පුරා විහිදිලා තියන මේ ප්‍රදේශය අත්ලාන්තික් සාගරයෙන් වෙන් වෙලා තියෙන්නෙ පොඩි ගොඩබිම් තීරුවකින්. මේ විලේ ලුණු ප්‍රතිශතය 40% ක් වගේ ඉහළ අගයක් ගන්න නිසා ගොඩක් අය මෙහි ලුණු කර්මාන්තයේ යෙදිලා ඉන්නවා. 

 

2. රේන්බෝ කන්ද (Rainbow Mountain) 

දේදුන්නක පාට වගේ දිස්වෙන මේ අලංකාර කඳුවැටිය පිහිටලා තියෙන්නෙ චීනයේ ශැන්හයි වල ඩැන්ශියා ලෑන්ඩ්ෆෝම් භූ විද්‍යාඋද්‍යානය ඇතුළෙ. මේක ගොඩක් සංචාරක ආකර්ෂණය දිනාගත්තු ස්ථානයක්. වසරකට දහස් ගණනක් සංචාරකයො එනවා මේක බලන්න. දැක්කම බලාගෙනම ඉන්න හිතෙන ගොඩක් මනරම් කඳුවැටියක් තමයි මේ. මේක ලෝක භූ විද්‍යාත්මක පුදුමයක් විදියටත් නම් කරලා තියනවා. වසර ගණනාවක් තිස්සෙ ඇතිවූ භූමිකම්පා, දේශගුණික තත්ත්වයන්, පාෂාණ වල වෙනස්වීම් නිසා මේ වගේ වර්ණයන්ගෙන් මේ කඳුවැටිය දිස්වෙන්න හේතුවෙලා තියනව කියලයි පර්යේෂකයින් කියන්නෙ. මේ වගේම ලස්සන කඳුවැටියක් පේරු රාජ්‍යයේත් තියනවා. කඳු තරණය කරන්නන් ජීවිතයේ යන්නම ඕන තැනක් තමයි මේ. 

 

3. විස්ටේරියා මල් උමඟ (Wisteria Flower Tunnel) 

ඉතා අලංකාර විස්ටේරියා මල්වලින් වටවුණු පාරක ගමන් කරන්න තියනවා නම් ඒක කොච්චර සුන්දර අත්දැකීමක් වෙයිද? ජපානයේ Kitakyushu වල තියන කවාචි උද්‍යානයේ තියන මේ මල් ඇතිරූ මාවත දකින්න නම් ඇත්තටම ඇස් පිං කරලා තියෙන්න ඕනේ. අප්‍රේල් හා ජූනි අතර පිපෙන විස්ටේරියා මල් වලින් අලංකාර වෙන මේ වගේ ෆ්ලවර් ටනල්ස් තව තුනක් ටෝකියෝ ප්‍රදේශය පුරා දකින්න පුළුවන්. ඇත්තටම දිව්‍යලෝකේ ගියා වගේ අත්දැකීමක් ගන්න පුළුවන් මේ ටනල්ස් හරහා ගියාම. ජපානයේ ගිය වෙලාවක යන්න අමතක කරන්න එපා. 

 

4. හුවකචීනා (Huacachina) 

දකුණු ඇමරිකාවේ පේරු කියන ඉතාමත් ලස්සන රටේ පිහිටලා තියන කාන්තාරයක් මැද්දෙ තියන ලස්සන ගමක් තමයි මේ. ඇත්තටම මේක සුවිශේෂී වෙන්නෙ සංචාරකයන් විශාල පිරිසක් මෙහි එන්නෙ වැලි මත ලිස්සා යාම සඳහා නිසයි. ඒ වගේම මෙහෙ තියන අලංකාර විලේ පිහිනන්නත් හැකියාව තියනවා. 1960 ගණන් වල ඉඳලා සංචාරක ආකර්ෂණය දිනාගත්තු ස්ථානයක් තමයි මේ. මෙහි ගොඩක් හොටෙල්ස්, සමාජ ශාලා වගේ දේවල් තියනවා. යන ඕනම කෙනෙක්ට මේ ගමේ සුන්දරත්වය විඳිමින් විලේ කාලය ගත කරලා කාන්තාරයෙත් සුපිරි අත්දැකීමක් අරන් එන්න පුළුවන්. 

 

5. සලාර් දෙ උයුනි (Salar de Uyuni) 

බොලිවියාවේ තියන ලෝකෙම විශාල ලුණු ලේවාය තමයි මේ. වර්ග කිලෝමීටර 10,000කට එහා පැතිරිලා තියන මේ ස්ථානයට ගියාම ලෝකෙ මෙහෙම තැනක් තියනවද කියලා හිතාගන්න බැරි වෙනවා. වැහි කාලෙට ඒ කියන්නෙ නොවැම්බර් ඉඳන් මාර්තු වගේ කාලයේදි විශාල කණ්ණාඩියකින් බලන් ඉන්නවා වගේ එක්ස්පීරියන්ස් එකක් මේ ලුණු ලේවායට ගියාම බලාගන්න පුළුවන්. විශාල ලුණු තට්ටු, ඉමක් නොපෙනෙන මුහුද මනරම් දර්ශනයක් මවනවා. සමහරුන්ට අහසෙ ඉන්නවදෝ කියලත් හිතෙයි. ඉතාමත් අලංකාර අද්විතීය ජායාරූප ගන්න නම් නියම තැනක් තමයි මේ. මෙහි ජීවී විශේෂයන් නම් අඩුයි. ඒ වගේම මෙහි සංචාරයට ලොකු මුදලක් වැය වෙන්නෙත් නෑ. එහෙ යනවනම් දුම්රියේ, බස් වල ගමන් කරන්න පුළුවන්. 

 

6. සොන් ඩුන්ග් ගුහාව (Son Doong Cave) 

වියට්නාමයේ පිහිටලා තියන Phong Nha Ke Bang ජාතික උද්‍යානයේ පිහිටි ලොව විශාලතම ස්වභාවික ගුහාව වන මේ ස්ථානය සංචාරකයන් ගොඩක් ආස තැනක්. දිගින් කිලෝමීටර 9ක් හා ගැඹුරින් මීටර් 150ක් වෙන මේ ලෙන දැක්කම ඒක ඇතුළට නොයා ඉන්න නම් බැරිවෙයි. ඒ තරම් සිත් ඇදගන්නාසුළු ස්ථානයක්. 2009දි සොයා ගත්ත මේ ලෙන සංචාරකයන්ට විවෘත උනේ 2013 ඉඳලා. කෑම්පින් යන අය රෑ ගත කරන්න මේ ස්ථානය යොදා ගන්නවා. ඒක නම් සුපිරිම අත්දැකීමක් වෙනවා නොඅනුමානයි. මේ ලෙන ඇතුළෙ තියන හුණුගල් ගුහා, අලංකාර විල්, විශේෂ ජෛව පද්ධතිය ඇත්තටම වචනවලින් කියලා නිම කරන්න බෑ. 

 

7. මොරේන් විල (Moraine Lake) 

කැනඩාවේ Banff ජාතික උද්‍යානයට අයත් මේ විල දැක්කම ඒ දිහා බලන් ඉන්න හිතෙන තරමට ලස්සන තැනක්. හෙක්ටයාර 50ක් වගේ වෙන මේ විලේ පිහිනුම් හා මාළු ඇල්ලීමට නම් අවසර නෑ. එහෙ යන අයට සපයන බෝට්ටුවෙන් මේ වැව වටේ ගමන් කරන්න පහසුකම් තියනවා. මේ විලේ ජලය ලස්සන නිල් පැහැයක් ගන්න හේතුව ග්ලැසියර් වලින් වටවෙලා තියන විලේ තියන පාශාණ වලට වැටෙන ආලෝකය පරාවර්තනය වීමයි. මේ විලේ වතුර අධික ශීතලකින් යුක්තයි. මේ වෙනකොට තියන කොරෝනා වසංගතය නිසා මේ අලංකර ස්ථානය තාවකාලිකව වහලා තියෙන්නෙ. 

 

අද අපි ගෙනාවේ ලෝකේ තියන විශ්වාස කරන්න බැරි තරම් අද්විතීය ලස්සනක් තියන ස්ථාන. මේ වගේ තව ගොඩක් තැන් තියනවා මුළු ලෝකෙම පුරාම. තවත් දවසක අපි ඒවා ගැනත් කතා කරමු. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *