පොත් කියවන්න ඉතින් සෑහෙන්න දෙනෙක් කැමතියිනේ. සමහරු පොත් කියවන්න වගේම, පොත් එකතු කරන්නත් කැමතියි. සමහරු පොත් කියවන්නෙ නැතුවත් එකතු කරනවා. හරි, ඔය කොයි විදියට වුණත්, පොත් එකතු කරන එකෙත් වෙනම ආට් එකක් තියෙනවා. විශේෂයෙන්ම අලුතෙන්ම පොත් කියවන විනෝදාංශය ඇති කරගත්තු, අලුතෙන්ම තමන්ටම කියලා පොත් එකතුවක්, ගෘහ පුස්තකාලයක් නිර්මාණය කරන්න කැමති කෙනෙක්ට මෙන්න මේ අපි දෙන්න යන උපදෙස් ටික වටිනවා.
1. තැනක්
මේක ඇත්තටම වැදගත් හිතනවට වඩා. ඇයි? කෙනෙක්ට ඕන නම් සාලේ මුල්ලක වුණත් තමන්ගේ පොත් කබඩ් එක තියන්න පුළුවන්. හැබැයි ඒකෙන් නොහිතන ප්‍රශ්න එන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට ගත්තොත්, ගෙදරට එන හැම මනුස්සයම පොත් ඉල්ලන්න පටන් ගන්නවා. ඒ හැම මනුස්සයටම පොත් දෙන්න ගියහම පුස්තකාලේ අතුරුදන් වෙන්න මාස දෙකකුත් ඇති.
කොහොමහරි, අපි හැමෝටම පුස්තකාලයක් පවත්වාගෙන යන්න වෙනම කාමර නැහැනේ. වෙනම කාමරයක් වෙන් කරන්න පුළුවන් කෙනෙක් එහෙම කළාට කමක් නෑ. ගොඩක් වෙලාවට එහෙම වෙනම කාමරයක් නැතුව තමන්ගේ ඔෆිස් රූම් එකත් පුස්තකාලය කරගන්න පුළුවන්. එහෙමත් නැතිනම් ආරක්ෂිත, තෙමෙන්නේ එහෙම නැති, සුවපහසු මුල්ලක් තෝරගත්තට කමක් නෑ. එතනම කිට්ටුවෙන් පොත් කියවන්න තැනකුත් තියෙනවා නම් මරු.
2. පොත් රාක්ක ටිකක්
පොත් රාක්ක ගන්න කලින් පොඩ්ඩක් හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි, විවෘත පොත් රාක්ක ගන්නවද, වහන්න පුළුවන් වීදුරු පොත් කබඩ් ගන්නවද කියන එක. සාමාන්‍යයෙන් ලංකාව කියන්නෙම දුහුවිල්ල, තෙතමනය එහෙම තියෙන රටක්නේ. අන්න ඒ නිසා, විවෘත රාක්ක හොඳයි, ගෙදර දුහුවිලි එන්නෙ නැති, තෙතමනය අල්ලන්නෙ නැති, පොඩි පොඩි සත්තු එන්නෙ නැති පරිසරයක් තියෙන තැනක පුස්තකාලය හදනවා නං.
එහෙම නැතිනම් ඇත්තටම හොඳ වීදුරු පොත් කබඩ් තමයි. විශේෂයෙන්ම වටිනා පත පොත තියෙනවා නං, විවෘත පොත් රාක්ක ගැන හිතන්නවත් එපා. කෙලින්ම වීදුරු පොත් කබඩ් වලට යන්න. ඒ වීදුරු පොත් කබඩ් වුණත් ගන්නකොට හොඳට දොරෙන් සම්පූර්ණයෙන්ම වැහෙනවද වගේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න.
3. පොත් පරිස්සම් කරන විදියක්
පොත් පරිස්සම් කරන්න ඉතින් පළවෙනිම දේ තමයි හරි විදියට පොත් අසුරන එක. ඒ කියන්නේ පොත් එක උඩ එක තියන්නෙ නැතුව, උස අතට අහුරන තරමට පොත් වලට හොඳයි. හැබැයි එහෙම උස අතට අහුරලා, ඒ උඩින් තව පොත් අට්ටි ගහන්න එපා. ඊලඟට, පොත් අහුරන්න කලින් පොත් කබඩ් එකේ පොත් අහුරන මතුපිටට බ්‍රවුන් පේපර් දාන්න පුළුවන් නම් හොඳයි.
ඒ එක්කම පොත් කබඩ් එකේ තියෙන පොත් ආරක්ෂා කරගන්න කරන්න පුළුවන් තව බේතක් තියෙනවා. ගන්න පොඩි බෙහෙත් කුප්පි ටිකක්. දැන් ඒවල මතුපිට පියන් වල පොඩි හිල් කීපයක් විදින්න. ගන්න හාඩ්වෙයාර් එකකින් මැලතීන් කුඩු සහ කපුරු ටිකක්. දැන් කපුරු කුඩු කරලා, මැලතියන් සහ කපුරු සම සමව අරගෙන මිශ්‍ර කරගන්න. දැන් අර කුප්පි වල බාගයක්, හතරෙන් තුනක් විතර පිරෙන්න මේ කුඩු මිශ්‍රණය දාලා, හිල් විදපු මූඩියෙන් වහලා, පොත් රාක්කේ ඇතුළත හතරකොණේ තියලා සෙලෝටේප් කරගන්න. ආයෙ සත්තු එන්නෙ නෑ.
4. කෝ පොත්?
දැන් ඇත්තටම මේකනේ ප්‍රශ්නේ. ඔය පොත් රාක්ක හදලා, පුස්තකාලෙට මුල්ලක් එහෙම සෙට් කරල ඔක්කොම කළාට පස්සේ, පුස්තකාලේ පුරවන්න පොත් ඕනැනේ. මුලින්ම කලබල වෙන්න එපා. රෝමෙ එක දවසින් ගොඩනැගුනෙ නෑ. හොඳ පුස්තකාලයක් සතියෙන් පොත් වලින් පිරෙන්න ඕනැත් නෑ. මුලින් හිතලා බලන්න තමන්ට පුස්තකාලෙක තියාගන්න අවශ්‍ය කරන පොත් මොනවද කියලා. ඊට පස්සේ හෙමිහෙමිහිට අන්න ඒ අවශ්‍ය පොත් එකතු කරන්න පටන් ගන්න. දකින දකින හැම පොතම අරගෙන ගොඩගහගන්න එපා. වැඩක් නෑ. ඒ නිසා පුස්තකාලෙක තියෙන්න අවශ්‍ය කරන, තමන්ට ආයෙ පාරක් කියවලා ආස්වාදයක් ලබන්න පුළුවන්, ආයෙ කියවලා දැනුමක් ලබාගන්න පුළුවන් පොත් එකතු කරන්න.
ඕන නම් මාසිකව බජට් එකක් හදාගෙන, මාසෙකට එක පොතක් ගන්න පුළුවන්. ඔය බුක් ෆෙයාර් එහෙම ආවහම ටිකක් වැඩියෙන් පොත් ගැනෙනවනේ කොහොමත්. බොහොම හෙමිහිට, හැබැයි ස්ථාවරව තමන්ගේ පුස්තකාලයට වැඩෙන්න ඉඩ දෙන්න.
5. පොත් සූචිගත කරන විදියක්
සාමාන්‍යයෙන් ඔය පුස්තකාල වල එහෙම පොත් සූචිගත කරලා තියෙන ක්‍රම තියෙනවනේ. ඇත්තටම පුස්තකාල විද්‍යාව කියලා වෙනම විෂයක් පවා තියෙනවා. හැබැයි ඉතින් අපේ පුස්තකාලය අතිශයින්ම දැවැන්ත එකක් නෙවෙයි නම්, එහෙම ලොකු පුස්තකාල වල තියෙන විදියට ඩූවි ඩෙසිමල් සිස්ටම් අවශ්‍ය වෙන්නෙ නෑ. තමන්ට පහසුවෙන් පොතක් හොයාගන්න පුළුවන් විදියේ සිස්ටම් එකක් හදාගත්තා නං හරි. ඒක සිංහල, ඉංග්‍රීසි විදියට බෙදලා, සිංහල එව්වත් ස්වතන්ත්‍ර, පරිවර්තන, ප්‍රබන්ධ නොවන වගේ කාණ්ඩ කීපෙකට බෙදලා කාරිය හදාගත්තැහැකි. තමන්ට පොත් හොයාගන්න ලේසි වෙනවා නං, පොත් වල පාට අනුව කාණ්ඩගත කරලා තිබ්බත් කාරි නෑ ඕං!
6. පොත් කැටලොග් එකක්
දැන් ලයිබ්‍රියත් හදාගත්තා නං, පොත් ටිකත් තමන්ට අවශ්‍ය පිළිවෙලකට ගාණකට අඩුක් කරගත්තා නං, පොත් කැටලොග් එකක් හදාගන්න එකත් ඉතාම අවශ්‍ය වැඩක්. එතකොට ආයෙ මොකක් හරි පොතක් හොයන්න ලයිබ්‍රිය ඇද ඇද ඉන්න ඕන නෑ. කැටලොග් එකෙන් බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම පුස්තකාලය ලොකු වෙනකොට වෙන්න පුළුවන් දෙයක් තමයි අපිට අමතක වෙලා එක පොතෙන් කොපි දෙක දෙක වගේ සෙට් වෙන එක. එහෙම ප්‍රශ්න වෙන්නෙ නෑ කැටලොග් එකක් තියෙනකොට.
දැන් ඔය කැටලොග් එක ඕන නං සරලවම කොපි පොතක පොත් ටික බෙදලා තියෙන වර්ගීකරණය ඔස්සේ ලියලා හදාගන්නත් පුළුවන්. එහෙම නැතිනම් දැන් කාලේ ඕකට ඕන තරම් ඇප්ස් සහ සොෆ්ට්වෙයාර්ස් එහෙමත් තියෙනවා. Calibre කියන්නේ අන්න එහෙම ෆ්‍රී ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. තව ඊට අමතරව Koha, Evergreen, BiblioteQ, Invenio, CodecAchi වගේ සිස්ටම් තියෙනවා.
7. පුස්තකාලයකට තව මොනවද ඕන?
ඇත්තටම මේකත් අර පළවෙනිම කාරණාවේ කියපු විදියට, තමන්ට දරන්න පුළුවන් පිරිවැය එක්ක තමයි තීරණය වෙන්නේ. සමහර විට අවම වියදමකින් නිර්මාණය කරන පුස්තකාලෙකට හුරුබුහුටි පොත් රාක්කයක් දෙකක් එක්ක, ඒක උඩ තියපු මල් පැලේකුයි, පොත් කියවන්න අතේ මහපු කවරයක් එක්ක කුෂන් එකක් දාපු වේවැල් පුටුවකුයි තිබ්බත් මදැයි. සල්ලි බාගෙ තියෙනවා නං ඔය සුවපහසු රික්ලයිනර් පුටුවක්, බීන් බෑග් එකක් එහෙම ගන්නත් පුළුවන්. පුස්තකාලේ ගොඩක් වෙලා ඉඳන් පොත් කියවනවා නං ඔය වතුර දාපු ගුරුලේත්තුවක් එහෙමත් තිබ්බට කමක් නෑ. ඇත්තටම පුස්තකාලෙකට ඕන කරන්නේ පොත් රාක්ක, පොත් සහ පොත් කියවන්න පුළුවන් තැනක්. ඒ වගේම හොඳ වාතාශ්‍රයක් සහ හොඳ ආලෝකයක්. එතනින් එහාට ඒකට අවශ්‍ය දේවල් තමන්ගේ වුවමනා එපාකම් වල හැටියට තමා.
හැබැයි අපි ඇඩ්වයිස් කරන එක දෙයක් තමයි, තමන්ගේ පුස්තකාල කාමරය හෝ පුස්තකාල මුල්ල අනවශ්‍ය විදියට ගොඩක් දේවල් වලින් තදබද කරගන්න එපා කියන එක.
8. දැන් ඒ පුස්තකාලෙට මොකද කරන්නේ?
ආන්න වැදගත් ප්‍රශ්නයක්. මෙහෙම පුස්තකාලයක් හැදුවට පස්සේ මොකද කරන්නේ? අවශ්‍ය නම් ඒ පුස්තකාලේ තියෙන පොත් පරිස්සමට තියාගෙන ඉන්න පුළුවන්. අවශ්‍ය නම් ඒ පොත් තමන්ගේ පෞද්ගලික පරිහරණයට, ඒ කියන්නේ කියවන්න ගන්න පුළුවන්. අවශ්‍ය නම් ඒ පුස්තකාලය තවත් අයගේ ප්‍රයෝජනයට විවෘත කරන්න පුළුවන්. හැබැයි ඉතින් එක දෙයක්: පුස්තකාලේ බැහැර දෙන පුස්තකාලයක් බවට පරිවර්තනය කරනවා නම්, ඒකට වෙනම සිස්ටම් එකක් හදාගන්න ඕන. ඒ කියන්නේ කෙනෙක්ට පොතක් ගෙනිහින් නොදී ඉන්න, පොත් නාස්ති කරන්න ඉඩක් නොලැබෙන විදියේ සිස්ටම් එකක්.
Leave a Reply