ලොවෙන් අතුරුදහන් වූ ශිෂ්ටාචාර – ඇස්ටෙක් ශිෂ්ටාචාරය

ඇස්ටෙක් ශිෂ්ටාචාරය ව්‍යාප්ත වෙලා  තිබ්බෙ වර්තමානයේ මෙක්සිකෝව විදිහට හඳුන්වන භූමිභාගය තුළයි. ඉතිහාසඥයන් විශ්වාස කරන විදිහට සංක්‍රමණිකයන් ලෙස මේ ප්‍රදේශයට ආපු ඇස්ටෙක්වාසීන් සියවස් කිහිපයක් තුළ දියුණු ශිෂ්ටාචාරයක් සහ අධිරාජ්‍යයක් ගොඩනගා ගැනීමට සමත් වුණා. අපි අද දැන කියාගන්න යන්නේ ඒ සුවිශේෂී ශිෂ්ටාචාරය ගැනයි.

ලොවෙන් අතුරුදහන් වූ ශිෂ්ටාචාර – මායා ශිෂ්ටාචාරය

ලොවෙන් අතුරුදහන් වූ ශිෂ්ටාචාර – ඉන්කා ශිෂ්ටාචාරය

 

 

 

 

1. ඇස්ටෙක්ලා ආවෙ කොහෙන්ද? 

ඇස්ටෙක්වරුන්ගේ පුරාණ ඇදහිලිවල විදිහට ඔවුන් මෙක්සිකෝව වෙත සංක්‍රමණය වෙලා තියෙන්නේ ඇස්ට්ලාන් නමැති ගුප්ත භූමිභාගයක ඉඳලා. නමුත් මේ ශිෂ්ටාචාරය ගැන ගවේෂණය කරන විද්වතුන් කියන විදිහට වර්තමානයේ ඇමරිකානු එක්සත් ජනපදය පවතින භූමිභාගයේ ඉඳන් නියඟයක් නිසා සංක්‍රමණය වූ ගෝත්‍ර ප්‍රජාවකගෙන් ඇස්ටෙක් ශිෂ්ටාචාරයට පදනම වැටිලා තියෙනවා.

 

 

2. ඇස්ටෙක්වරුන්ගේ අගනුවර

යුරෝපීයයන් ඇස්ටෙක් අගනුවර වෙත පැමිණීමෙන් පසුව එම නගරයේ සුවිශාලත්වය සහ විධිමත්භාවය දැක පුදුමයට පත් වූ බව කියවෙනවා. එවැනි දියුණු තත්ත්වයේ නගරයක් යුරෝපය තුළ පවා තිබුණේ නැහැ. මේ නගරය විනාශ කිරීමටත් යුරෝපීයයන්ට බලපෑවේ මෙම ඉරිසියාව බව සඳහන්. ටෙනෝක්ටිට්ලාන් ලෙස හැඳින්වුණු මෙම අගනුවර පිහිටීම තෝරාගැනීමට ඇස්ටෙක්වරුන් පෙළඹුණේ දේව නියමයක් අනුවයි. කෙසේ නමුත් මුල් කාලයේදී වගුරු බිමක්ව පැවති මෙම ප්‍රදේශය මහත් පරිශ්‍රමයකින් අනතුරුව සංවර්ධනය කිරීමට ඇස්ටෙක්වරුන් සමත් වී තිබුණා.

 

 

3. ඇස්ටෙක්වරුන්ගේ අධිරාජ්‍යය 

ඇස්ටෙක්වරුන්ගේ අධිරාජ්‍යයේ සම්පූර්ණ ශක්තිය රඳා පැවතුනේ ඔවුන් තුළ පැවති සංග්‍රාමික ශක්තිය සහ උපාය මාර්ගික තීරණ මතයි. වර්තමානයේ මෙක්සිකෝව පැතිර ඇති ප්‍රදේශයේ ගොඩනැගුණු ගෝත්‍රික ප්‍රජාව නගරවලට එක්රැස් කරමින් අඛණ්ඩ පාලනයක් ගෙන යෑමට ඔවුන් සමත්වුණා. එසේම  තමන්ගේ යටතට පත් ප්‍රදේශ වලින් අයබදු නිසි පරිදි එක්රැස් කරගැනීමෙන්  අධිරාජ්‍යය තවත් ශක්තිමත් වුණා.

 

 

4. ඇස්ටෙක්වරුන්ගේ ආර්ථිකය 

ඔවුන්ගේ ආර්ථිකය රඳා පැවතියේ සාධක තුනක් මතයි. ඒවා නම් භාණ්ඩ හුවමාරුව, බදු ගෙවීම සහ කෘෂිකාර්මික නිෂ්පාදනයයි. අධිරාජ්‍යය තුළ දියුණු මට්ටමේ වෙළඳපළ ක්‍රමයක් පැවති අතර දුර බැහැර ප්‍රදේශවල සිට පවා වෙළෙන්දන් මෙම වෙළෙඳපොළ කරා ඇදී ආවා. එසේම සංචාරක වෙළෙන්දන් විවිධ දුර්ලභ භාණ්ඩ සොයා රටපුරා ඇවිදිනු ලැබුවා. රාජ්‍යය වෙත ගෙවිය යුතු අය බදු මුදල් වැඩි කරගැනීමට ඇස්ටෙක්වරුන් වැඩි වශයෙන් අසල්වැසි ප්‍රදේශ යටත් කර ගැනීමට පෙළඹුණා. 

 

 

5. ඇස්ටෙක්වරුන්ගේ සමාජය 

ප්‍රභූවරු සහ සාමාන්‍ය ජනතාව වශයෙන් ඇස්ටෙක්වරුන්ගේ සමාජය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුණා. රාජ්‍යයේ වැදගත් තනතුරු ප්‍රභූවරුන් සඳහා වෙන් වුණු අතර ඔවුන් අය බදු වලින් නිදහස් පුද්ගලයන් වුණා. නමුත් සාමාන්‍ය ජනතාව සිය ශ්‍රමයෙන් සහ නිෂ්පාදනවලින් අය බදු ගෙවීමට කටයුතු කළා. එසේම සාමාන්‍ය ජනතාවද තවත් අනු කොටස්වලට බෙදී ගියා. සමාජයේ පහළම කොටස වහලුන් ලෙස සැලකුණු අතර සිරකරුවන්ගෙන්, ඒ බදු ගෙවීමට නොහැකි වුණු පුද්ගලයන්ගෙන් සහ දඬුවම් ලැබූ අපරාධකරුවන්ගෙන් මෙම කොටස් සමන්විත වුණා.

රාජ්‍යයේ උසස්තම පුද්ගලයා වූයේ අධිරාජ්‍යයා වූ අතර එම තනතුර සඳහා අයෙක් තෝරා පත්කර ගැනීම සිදුවූයේ  ප්‍රභූවරුන්ගේ මණ්ඩලයක තීරණයක් හරහායි. මේ නිසා අධිරාජ්‍ය පදවිය ලේ උරුමයක් වුණේ නැහැ.

 

 

6. ඇස්ටෙක්වරුන්ගේ ඇදහිලි සහ විශ්වාස 

පුරාණ ඇමරිකා මහද්වීපයේ පැවති අනෙකුත් ශිෂ්ටාචාර මෙන්ම ඇස්ටෙක්වරුන්ද බහු දේව වන්දනාවට යොමු වී සිටියා. ස්වභාව ධර්මයේ විවිධ ශක්තීන් සහ වෙනස්වීම් දේවත්වයේලා සැළකීමට ඔවුන් පුරුදුව සිටියා. නමුත් මේ සියළු දෙවියන්ට ඉහළින් සර්වබලධාරී එක් දෙවියෙකු සිටින බව ඔවුන් විශ්වාස කරනු ලැබුවා.

එසේම ඔවුන්ට අනුව ඔවුන්ගේ දේව මණ්ඩලය කොටස් තුනකට බෙදී  තිබෙනවා. ඒ අහසට අධිපති දෙවිවරුන්, වැස්සට, කෘෂිකර්මයට අධිපති දෙවිවරුන් සහ යුද්ධයට අධිපති දෙවිවරු ලෙසයි. මේ දෙවිවරුන් සඳහා පැවැත්වෙන විවිධ උත්සව නිසි වේලාවට සිදු කිරීම සඳහා ඔවුන්ටම ආවේණික ක්‍රමයකට දින දර්ශනයක් සකස් කර ගැනීමට ඇස්ටෙක්වරු සමත් වුණා.

 

 

7. ඇස්ටෙක්වරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පය 

අද දක්වාම ඇස්ටෙක්වරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය මුළු ලෝකයම විස්මයට පත් කිරීමට සමත්ව තිබෙනවා. ඔවුන් ඇතැම් අවස්ථාවල පාරවල් තනා තිබුණේ උස්ව තැනූ වේදිකා මතයි. එසේම ජල මට්ටම පාලනය කිරීම සඳහා සාර්ථක ජලාපවාහන පද්ධතියක් සකස් කිරීමට ඔවුන් සමත් වී තිබුණා. රාජ්‍ය පරිපාලනයට සහ ආගමික කටයුතු වලට වෙන් වුණ ගොඩනැගිලි වර්ණ ගන්වා තිබුණු අතර මේ බොහෝ නිර්මාණ සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර තිබුණේ පාෂාණයි.

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *