ඉස්කෝලේ ගණන් පීරියඩ් එක එපා වුණාද? එහෙමනම් එදිනෙදා ජීවිතේට ඕන වෙන ගණිතය ටිකක් දැන්වත් ඉගෙනගමු

දැන් සමහරුන්ට නං ගණිතය කියන්නේ එපාම කරපු සබ්ජෙක්ට් එකක්. තව සමහරුන්ට ගණිතය මාරම රසවත්. හරි, ඒකේ අරුමයක් නෑ. හැබැයි අපි එක වසරේ දෙක වසරේ ඉඳලම ගණිතය ඉගෙන ගන්නවනේ ඕලෙවල් වලටවත් එනකල්. ඊට පස්සේ ඉතින් සමහරු ගණිතය කියලා දෙයක් දෑහැටවත් දකින්නෙ නෑ. හැබැයි කේස් එක මේකයි. උසස් ගණිතය පැත්තකින් තිබ්බත්, අපි හැමෝම යම් තාක් දුරකට ඉගෙන ගන්න ගණිතය කියන්නේ නිකම්ම පොතේ තියෙන එකතු කිරීම්, අඩු කිරීම්, සමීකරණ නෙවෙයි. ඇත්තටම එව්වා ප්‍රායෝගික ජීවිතේදී උපකාරී වෙන එව්වා. ඒ කියන්නේ සමහර වෙලාවට අපි ගණිතය ඕනවෙයි කියලා හීනෙකින්වත් හිතන්නෙ නැති රස්සා එහෙමත් තෝරගන්නවා. හැබැයි අන්න ඒ වගේ රස්සා වලටත් ගණිතය ඕන වෙනවා. මේ කියන එක වැරදියි කියලද හිතන්නේ? ගිනින් අහන්න වඩු ශිල්පී මහත්තයෙක්ගෙන් කොයි තරම් ඒ රස්සාවට ගණන් ඕන වෙනවද කියලා!

 

ඉතින් ඒ නිසා, අපිට තාමත් ගණන් වලට ආසාවක් නැති වුණත් ගැටළුවක් නෑ. එදිනෙදා ජීවිතේදී අඩුම තරමින් වුවමනා වෙන ගණිත දැනුම හරි තියෙන එක වටිනවා. ආන්න ඒ විදියට හිතලා ගණං ටිකක් ඉගෙන ගන්න උදවුවක් තමයි මේ.

 

 

1. එකතු කරලා, අඩු කරලා

එකතු කිරීම් අඩු කිරීම් බැරි වෙනවා කියන්නේ සීරියස් ප්‍රශ්නයක්. අපි කියන්නේ සංකීර්ණ ගණන් නෙවෙයි, අඩු තරමින් සරල එව්වා මනෝමයෙන් අඩු කරගන්න එකතු කරගන්න බැරි වෙන එක ප්‍රශ්නයක්. උදාහරණයක් ගමු. ඔන්න බස් එකට නගිනවා අපි. බස් ගාස්තුව රුපියල් දාහතයි. අපි දෙනවා විස්සක්. කොන්දොස්තර අතේ මාරු රුපියල් තුනක් නෑ. කොන්දොස්තර අහනවා රුපියල් දෙකක් තියේද කියලා. අපි රුපියල් දෙකක් දෙනවා. කොන්දොස්තර අපිට රුපියල් පහේ කාසියක් දෙනවා. ඔන්න දැන් එකතු කිරීම් අඩු කිරීම් බැරි ඩයල් එකක් නම් ඔලුවේ අත ගහගෙන කල්පනා කරනවා මොකද්ද හත්තිලව්වේ වුණේ කියලා!

 

ඇත්තටම ප්‍රායෝගික ජීවිතේදී සමහර විට අපිට වැඩියෙන්ම මුහුණ පාන්න සිද්ධ වෙන ගණිත කර්ම වෙන්නේ ඔය එකතු කිරීමයි අඩු කිරීමයි වෙන්නැති!

 

එකතු කිරීම්, අඩු කිරීම් ඉගෙනගමු: 

 

 

2. වැඩි කරලා, බෙදලා

ඒ වගේම තමයි හැබැයි වැඩි කිරීම සහ බෙදීමත්. ඔන්න අපිට කෙලවල්ලෝ කිලෝ දෙකක් ගන්න වෙනවා. මුදලාලි කියනවා කෙලවල්ලෝ ග්‍රෑම් සීයක් රුපියල් 120 යි, ග්‍රෑම් පන්සීයක් ගත්තොත් රුපියල් 550 යි කියලා. දැන් ඉවෙන් වගේ අපිට හිතාගන්න පුළුවන් ග්‍රෑම් සීයේ ඒවා පහක් ගන්නවට වඩා ග්‍රෑම් පන්සීයට මුදලාලි කීයක් හරි අඩු කරලා ඇති කියලා. හැබැයි ඉතින් කිලෝ දෙකක් ගන්නකොටත් මුදලාලි ඒ වාසියම දෙයිද? ඒක හොයන්න දැං ඉතින් ගණන් හදපංකෝ! ග්‍රෑම් සීයේ එව්වා විස්සක් කිලෝ දෙකයි. ඒ කියන්නේ රුපියල් 120 එව්වා 20 ක් තමයි ගාණ. ඒ කියන්නේ රුපියල් 2,400 යි. හැබැයි ග්‍රෑම් පන්සීයේ ගාණෙන් බැලුවොත්, ග්‍රෑම් පන්සීයේ එව්වා හතරක් කිලෝ දෙකයි. ඒ කියන්නේ රුපියල් 550 එව්වා 4 ක් තමයි ගාණ. ඒ කියන්නේ රුපියල් 2,200 යි. ආන්න ඒක තමයි එහෙනං මුදලාලි අපිට දෙන්න ඕන සාධාරණ ගාණ. ආන්න දැක්කද වැඩි කිරීම්, බෙදීම් ඉගෙන ගෙන තිබීමේ වටිනාකම!

 

වැඩිකිරීම්, බෙදීම් ඉගෙනගමු: https://www.khanacademy.org/math/arithmetic/arith-review-multiply-divide 

 

 

3. යුනිට් කන්වර්ට් කරමු

මේ යුනිට් කන්වර්ට් කිරීම කියන එක නම් සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදී අපිට සෑහෙන්න මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක්. මීටරේකට සෙන්ටිමීටර් කීයද? ඒක වැදගත්ද? නැහැයි කියලා හිතනවා නං, පොඩ්ඩක් රෙදි ගන්න එහෙම කඩේකට ගිහින් බලන්න, එහෙම නැතිනං වයර් එහෙම ගන්න හාඩ්වෙයාර් එකකට ගිහින් බලන්න. එතකොට සමහර වෙලාවට අපිට අඩි සහ අඟල් සෙන්ටිමීටර් සහ මීටර් වලට හරවන්න එහෙමත් වෙනවා. අන්න එව්වා සෑහෙන අමාරු වැඩ. එතකොට සෙල්සියස් අංශක ෆැරන්හයිඩ් වලට හරවන්න එහෙමත් වෙනවා. එතකොට ග්‍රෑම් ලීටර් වලට හරවන්න එහෙමත් වෙනවා! හෙක්‍ටයාර් වර්ග කිලෝමීටර් වලට හරවන්න, කිලෝබයිට් මෙගාබයිට් වලට ගිගාබයිට් වලට හරවන්න, පැය හෝ මිනිත්තු තත්පර වලට හරවන්න එහෙමත් වෙනවා! එතකොට පිස්සු කොර වෙනවා!!

 

ඒකක පරිවර්තනය ඉගෙනගමු: https://www.khanacademy.org/math/cc-fifth-grade-math/imp-measurement-and-data-3/imp-unit-conversion/e/converting-units 

 

4. ප්‍රතිශත ගණනය

ප්‍රතිශත කියන්නේ අපිට සෑහෙන්න එදිනෙදා ජීවිතේදී හම්බෙන සීන් එකක්. හැමදාම නං මේ සපත්තු කුට්ටම රුපියල් 500. හැබැයි අවුරුදු සේල් හින්දා අපි දෙනවා 20% ක් අඩු කරලා, රුපියල් 400 යි! දැන් ඕන නං මුදලාලිව විශ්වාස කරලා සපත්තු කුට්ටම ගන්න පුළුවන්. එහෙම නැතිනම් අපි රුපියල් 500 න් 80% කියන්නේ කීයද කියලා ගණන් හදලා බලලා, “ආ රුපියල් 400 හරි” කියලා සපත්තු කුට්ටම ගන්නත් පුළුවන්. හැබැයි මේ කිව්වේ සරල සිද්ධියක්. මීට වඩා ප්‍රතිශත ගණනය කිරීම් අවශ්‍ය වෙන සිරා සිද්ධි අපිට එදිනෙදා ජීවිතේදී වෙනවා. ආන්න ඒ නිසා සූදානම් ශරීරෙන් ඉන්න එක හොඳා!

 

ප්‍රතිශත ඉගෙනගමු: https://www.skillsyouneed.com/num/percentages.html

https://www.mathsisfun.com/percentage.html 

 

5. ප්‍රස්තාර කියැවීම

මේකත් ඉතින් මූලික ගණිත දැනුමටම තමයි අයිති වෙන්නේ. විශේෂයෙන්ම, ප්‍රස්තාර කියවන්න දන්නෙ නැති අය, ටීවී එකේ නිව්ස් කියන මනුස්සයා මොන විදියට ඔළුවෙන් හිට්ටෝලා ප්‍රස්තාරයක් ඇඳලා පෙන්නුවත් අහුවෙනවා. ඇත්තටම මෙතනදී වැදගත් වෙන්නේ දත්ත විෂුවලි පෙන්වා දීම සහ එහෙම විෂුවලි පෙන්නලා දෙන දත්ත අවබෝධ කරගැනීම. අපි මේවා මත පදනම්ව තීන්දු තීරණ ගන්නවා. උදාහරණයක් විදියට කිවුවොත්, අපිට පෙන්ෂන් ප්ලෑන් එකක් විකුණන්න එන රක්ෂණ නියෝජිතයා අපිට පෙන්නයි අපි දාන සල්ලි වලට පොලිය හැදිලා අපි තැන්පත් කරන ගණන් ඉහළ යන්නේ මෙහෙමයි කියලා ප්‍රස්තාරයක්. එතකොට අපි ප්‍රස්තාර හරියට කියවන්න දන්නවා නං, එතන හොරයක් බොරුවක් තිබ්බොත් පටස් ගාලා අල්ලගන්න පුළුවන්.

 

ඒ වගේම අතුරු කාරණාවක්. අපිට ඉකොනොමික්ස් ගැන එහෙම සාමාන්‍ය දැනීමක් තියෙනවා නං, අපිට ප්‍රස්තාරේ හරි වුණත් අහන්න පුළුවන් දැන් ඇයි මේකට උද්ධමන වේගය ගණන් අරගෙන නැත්තේ කියලා!

 

ප්‍රස්තාර ඉගෙනගමු: 

 

 

6. ජ්‍යාමිතිය

දැන් ඔය අපි ගෙදර දොරේ පොඩි පොඩි වැඩ එහෙම කරනවනේ. උදාහරණයක් විදියට ගත්තොත් අපි සිමෙන්තියෙන් පඩියක් බඳිනවා කියමු. ආන්න එතකොට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ජ්‍යාමිතික මූලධර්ම පාවිච්චි කරනවා. සිමෙන්ති පඩිය හරි අංශක 90 ක කෝණයකට හදනවා කියන්නෙම ඒකනේ. සමහර වෙලාවට අපිට සමකෝණී ත්‍රිකෝණයක් අඳින්න හරි හදන්න හරි අවශ්‍ය වෙන්න පුළුවන්. අන්න එතකොට, සමකෝණී ත්‍රිකෝණෙක කෝණයක් අංශක කීයද කියලා දැනගෙන ඉන්න එක වටිනවා. එච්චර ඕන නෑ. ඔන්න අපි ගෙදර සාලේ අතුගාලා අස්පරස් කරනවා. එතකොට සාලේ බිම දාලා තියෙන කලාලෙත් එක්ක ගාණට සමපාත වෙන්න අපි පුටු සෙට් එක, කොෆී ටේබල් එක එහෙම තියන්න උත්සාහ කරනවා නේද? ඒත් පාවිච්චි වෙන්නේ ජියෝමෙට්‍රි හෙවත් ජ්‍යාමිතිය තමයි සහෝ.

 

ජ්‍යාමිතිය ඉගෙනගමු: https://www.mathsisfun.com/geometry/ 

 

 

7. සරල ගණිත මූලධර්ම

මේ සරල ගණිත මූලධර්ම ඉතින් අපිට සමස්තයක් විදියට එදිනෙදා ජීවිතේදී හම්බුවෙන ගණිතය අවශ්‍ය වෙන වැඩකටයුතු වලදී ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට පොලිටික්ස් වල එහෙම අපිව අන්දන්න එන පොලිටික්කොන්ගේ එහෙම සැබෑ පෙනුම අවබෝධ කරගන්නත් උපයෝගී වෙනවා. අපි සරලම උදාහරණයක් ගමු. එක එකෙන් බෙදුවහම බිංදුවයි කියලා පොලිටික්කෙක් කිව්වහම, අපි සරල ගණිත මූලධර්ම දන්නවා නං අපිට තේරෙනවා එක එකෙන් බෙදුවහමත් උත්තරේ එකයි කියලා. ඒක දැනගත්තා කියලා පොලිටික්කට වැඩක් නැති වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම අපිට ඒකෙන් වැඩක් තියෙනවා. 

 

සරල ගණිත මූලධර්ම ඉගෙනගමු: https://www.ipracticemath.com/learn/basicmath

 

මතක තියාගන්න. ගණන් ඉගෙන ගන්න අපි පොඩි එවුන්ද කියලා අහන්න එපා. ඉගෙන ගන්න වයස් සීමාවක් නෑ. විශේෂයෙන්ම ගණිතය වගේ දෙයක් ඉගෙන ගන්න කිසිසේත්ම වයස් සීමාවක් නෑ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *