ඩයනා කුමරියගේ ජීවිතය වෙනස් කළ කාන්තාවෝ

ඩයනා කුමරියගේ මරණයත් එක්ක මුළු ලෝකය වගේම ලංකාවෙත් ජනමාධ්‍ය  සම්පූර්ණයෙන්ම වගේ වෙන් වුණේ ඛේදාන්තයකින් අවසන් වුණ ඇගේ ජීවිත කතාවට.මේ කතාවෙදි ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරපු පුද්ගලයා විදිහට චාල්ස් කුමාරයා හංවඩු ගැහුනා. හැබැයි ඩයනා කුමරියගේ ජීවිත කතාව පරිස්සමින් කියවගෙන යද්දි ඇගේ ජීවිතයේ හැලහැප්පීම් සහ ජීවිතය යායුතු තැන තීරණය කිරීමට තව බොහෝ දෙනෙක් දායක වෙලා තිබ්බා. අපි අද කතා කරන්න යන්නේ ඇගේ ජීවිතයට බලපෑ කාන්තාවන් කීපදෙනෙක් ගැන.

 

 

1. ෆ්‍රාන්සස් ෂාන්ඩ්

ඩයනා කුමරියගේ ළමා කාලය අඳුරු එකක් බවට පත් වුණේ ඇගේ මව සහ පියාගේ දික්කසාදයේ ප්‍රතිඵලයක් විදිහටයි. ෆ්‍රාන්සස් නම් වූ ඩයනා කුමරියගේ මව එංගලන්තයේ ප්‍රබල රදළ පවුලක සාමාජිකාවක්. ඇයගේ සහ ඩයනාගේ පියා, ජෝන් ස්පෙන්සර්ගේ විවාහ මංගල්‍යය සඳහා දෙවැනි එළිසබත් රැජින ඇතුළු රාජකීයයන්ද සහභාගි වී තිබුණා. කෙසේ නමුත් මෙම විවාහය සාර්ථක එකක් වූයේ නැහැ. අවසානයේදී දෙදෙනාම දික්කසාදයෙන් පසුව වෙනත් විවාහ කරගත්තා. කුඩා කාලයේ සිට  මවගේ ආදරේ නොලැබීම ඩයනා කුමරිය පසු කලෙක සිය දරුවන්ට දැඩි ලෙස ආදරය කිරීමට එක් හේතුවක් වූ බව කියවෙනවා.

 

 

2. රෙයිනේ ස්පෙන්සර්

ඩයනා කුමරියගේ පියාගේ දෙවැනි විවාහයේ බිරිඳ වූ රෙයිනේ ස්පෙන්සර් පවුලේ දරුවන්ට කිසිසේත්ම ප්‍රියජනක තැනැත්තියක වුණේ නැහැ. කුඩා කාලයේදී ඩයනා කුමරිය ඇයට දැඩි ලෙස වෛර කළ බව ප්‍රසිද්ධ රහසක්. පියාගේ මිය යෑමෙන් පසුව ඩයනා කුමරියගේ සහෝදරයා විසින් රෙයිනේව නිවසෙන් එළියට ඇද දමනු ලැබුවා. කෙසේ නමුත් ඩයනා කුමරිය සිය ජීවිතයේ අවසාන භාගයේ දී රෙයිනේ සමග යහපත් සබඳතාවක් ගොඩනගාගෙන සිටි බවට සාක්ෂි හමු වී තිබෙනවා.

 

 

3.රූත් රොෂේ

ෆර්මෝයිහි බැරන්වරිය වන රූත් රෝෂේ ඩයනා කුමරියගේ මව් පාර්ශ්වයෙන් මිත්තණියයි. දෙවන එළිසබත් රැජනගේ  මව වන එළිසබත් බිසවගේ පරිවාර සේවිකාවක වූ ඇය ඇතැම් මූලාශ්‍රවලට අනුව චාල්ස් ඩයනා විවාහයට ආධාර අනුබල දුන් තැනැත්තියක්. නමුත් රජ පවුලට සමීප ආරංචි මාර්ග නම් පවසන්නේ චාල්ස් සමග විවාහ වීම කෙරෙහි යළිත් සිතා බලන ලෙස ඇය විසින් ඩයනාට අවවාද දුන් බවයි. ඩයනා හැදී වැඩුණු පරිසරය සහ රජ පවුලේ ස්වභාවය අහසට පොළොව වැනි බව ඇය කියා තිබෙනවා.   

 

 

4. සාරා ස්පෙන්සර් 

ඩයනා කුමරියගේ වැඩිමහල් සොහොයුරිය වූ සාරා ස්පෙන්සර් කලක් චාල්ස් කුමරුගේ පෙම්වතියකව සිටියා. කෙසේ නමුත් ඇය විසින් ලබා දුන් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක් නිසා එම පෙම් සබඳතාවයට නැවතීමේ තිත තැබුණා. පසුව හෙළිවූ පරිදි ඩයනා කුමරිය සහ චාල්ස් කුමරු පළමුවර මුණ ගැසී තිබෙන්නේ සාරා චාල්ස් පෙම් සබඳතාවය පැවතෙන අතරතුරයි. ඇතැම් අය චාල්ස් කුමරු විවාහ කරගැනීම නිසා සාරා ඩයනා කුමරියට ප්‍රිය නොකළ බව පැවසුවත් එහි සත්‍යයක් නැහැ. ඩයනාට සමීප ආරංචි මාර්ග වලට අනුව ඇය විශ්වාස කළ අතළොස්සක් වූ පුද්ගලයන් අතරින් මුල්ම තැන සාරාට වෙන්ව තිබෙනවා.

 

5. සාරා ෆර්ගියුසන් 

රජ පවුල තුළ විවාහය නිසා අසහනයට පත්වී සිටි එකම තැනැත්තිය තමන් නොවන බව ඩයනා කුමරිය වටහා ගත්තා. චාල්ස් කුමරුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘ කුමරුගේ බිරිඳ වන සාරා ෆර්ගියුසන් තමන් හා සමානව විවාහය නිසා ප්‍රීතියෙන් තොර ජීවිතයක් ගත කරන බව දැනගත් ඩයනා ඇයට වඩාත් සමීප වුණා. අවසානයේ දී එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් දෙදෙනාම 1992දී සිය සැමියන්ගෙන් වෙන්ව දික්කසාද කරා යෑමට තීරණය කිරීමයි.

 

 

6. කැමිලා පාකර් 

ඩයනා කුමරිය විසින්ම පවසා ඇති ආකාරයට සෑම විටම ඇගේ විවාහ ජීවිතය තුළ තුන්වැන්නියක සිටියා. ඒ තුන්වැන්නිය වන්නේ චාල්ස් කුමරුගේ පෙම්වතිය වන කැමිලා පාකර්. මුල් කාලයේදී චාල්ස් කුමරුට දැඩිලෙස ප්‍රේම කළ ඩයනා ඔහුට වෛර කිරීමට පෙළඹුණේ කැමිලා නිසායි. කෙසේ වෙතත් ඩයනා කුමරි‍යගේ මරණයෙන් පසුව කැමිලා පාකර් විසින් තම පෙම් සටන ජයග්‍රහණය කිරීමටත් සමත් වුණා. අද වන විට ඇය චාල්ස් කුමරුගේ නීත්‍යානුකූල බිරිඳයි.

 

7. දෙවැනි එළිසබෙත් රැජින

ඩයනා සහ චාල්ස්ගේ විවාහ ජීවිතය  අසාර්ථක වීමට යන මොහොතේදී මව ලෙස දෙවන එළිසබත් රැජින එම සබඳතාවය යථා තත්ත්වයට පත් කිරීමට බොහෝ උත්සාහ දරා තිබුණා. අවසානයේදී ඔවුන් දෙදෙනාට දික්කසාදයක් වෙත යෑමට ඇය විසින් අවසර දුන්නේ එතරම් කැමැත්තකින් නොවන බව කියවෙනවා.

 

අපි හිතනවා මේ ආටිකල් එක තුළින් ඩයනා කුමරිය පිළිබඳව ඔබේ මතකය යළිත් අලුත් කරන්න අපි සමත් වුණා කියලා. එහෙමනම් එසේම මේ ගැන අදහස් දක්වන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *